Friday, October 7, 2016

කොටි පොල්ලේ පහරදීම













කොටි පොල්ලේ පහරදීම

අවුරුදු 30 ක මුහුදු යුද්ධයේ නාවික හමුදාව විසින් උත්සාහ කරන ලද නොයෙකුත් යුද්ධෝපක්‍රම අතරින් කොටි පොල්ල එක් වකවානුවක ප්‍රධාන තැනක් ගත්තේය. එය සම්පූර්ණයෙන්ම අසාර්ථක වුවත් එය ක්‍රියාත්මක කරද්දී දැන් පසුපස බලා සිනාසිය හැකි බොහෝ දෑ සිදුවිය. 
වර්ෂ 1987 පමණ මම කොළඹ නැව් තටාංකාගනයෙහි නිපදවන ලද දීර්ඝ මුර සංචාරක යාත්‍රාවක අණභාර නිලධාරියා වශයෙන් කටයුතු කළෙමි. මීටර් 20 ක් දිගින් යුත් මෙම යාත්‍රා ප්‍රමාණයෙන් හා අනෙකුත් පහසුකම් වලින් එම කාර්යය කිරීමට හොදින් ගැලපුනද, ඒවායේ වේගය - පැයකට නාවික සැතපුම් 15 ක් පමණ - ත්‍රස්තවාදී යාත්‍රා හඹා ගොස් අල්ලා ගැනීමට ප්‍රමානවත් නොවූ හෙයින් පසුව සේවයෙන් ඉවත් කෙරුනද, අසූ ගණන්වල වේග ප්‍රහාරක චීන ගන් බෝට්ටුවලට කෙලින්ම පහතින්, නාවික හමුදා නැව් පෙල ගැස්මේ තිබූ යාත්‍රා වර්ගය විය.

අණභාර නිලධාරියා ඇතුළුව සාමාන්‍යයෙන් දොලොස් දෙනෙකු ගෙන් පමණ සමන්විත නැව් කණ්ඩායමක් මෙම යාත්‍රාවකට අයිති විය. නැව් මුළුවට දවස් තුන හතරකට සෑහෙන්නට ආහාර හා ජලය ගෙන යා හැකි මෙම යාත්‍රාවල, යාපනය ප්‍රදේශයේ මුර සංචාරය කිරීමේදී එකල සාමාන්‍ය සංචාර කාලය දින දෙකකට සීමා විය. දින දෙකක් මුහුදේද, ඉන්පසු කරෙයිනගර් නාවික කදවුරේ, දින දෙකක විරාමයකකින් පසු නැවත දින දෙකක මුර සංචාරයක් දිගින් දිගටම ක්‍රියාත්මක වුනි. සාමාන්‍ය චර්යාව මෙය වුවද, මුහුදේ යම්කිසි කලබැගෑනියක් හෝ  සිදුවන්නට තිබෙන යම් සිද්ධියක් පිළිබදව රහස් තොරතුරක් ලැබුනොත්; බොහෝ විට සිදුවුනු පරිදි, විරාමයෙහි තිබෙන යාත්‍රාද මුහුදට යැවීම සිදුවිය.

මුහුද ඉතාමත් රළු අවස්ථාවලදී තරමක් දුෂ්කර වුවද, මේවායෙහි ජීවිතය ප්‍රියජනක එමෙන්ම වික්‍රමපූර්ව සහ අභියෝගාත්මක විය. සාමාන්‍යයෙන් දහවල ආහාරය කඳවුරේදී ගෙන දහවල් දෙකට පමණ කඳවුරෙන් පිට වී, මෙහෙයුම් නිලධාරී විසින් තම යාත්‍රාව සදහා වෙන්කර ඇති මුහුදු ප්‍රදේශය වෙත ගමන් කර, මුළු රාත්‍රියම වාගේ එම ප්‍රදේශයේ රේඩාර් යන්ත්‍ර මාර්ගයෙන් සැක කටයුතු පිළිබද සොයා බලමින්, එමෙන්ම ඉන්දියානු මුහුදු සීමාවේ සිට ශ්‍රී ලංකා මුහුදට ඉස්සන් ඇල්ලීම සදහා පැමිණෙන ඉන්දියානු ට්‍රෝලර් යාත්‍රා නවතාලීම, අප විසින් කෙරුණු ප්‍රධාන කාර්යයන් විය. කරෙයිනගර් සිට බටහිර පැත්තට ඩෙල්ෆ්ට් හෝ තලෙයිමන්නාරම පැත්තටද. එසේත් නැත්නම් කරෙයිනගර් වලින් නැගෙනහිරට කන්කසන්තුරේ හෝ පේදුරුතුඩුව පැත්තටද, මෙම ක්‍රියාකාරී ප්‍රදේශ වෙන්කර තිබුනි.   

සමහර විට දහවල් කාලයේදී එම මුර සංචාර ප්‍රදේශයේ නාවික හමුදාවේ විශාල යාත්‍රාවක් තිබුනේ නම් දහවල් කෑමට එවැනි යාත්‍රාවකට අසබඩ යාමට බොහෝ අණභාර නිලධාරීන් කැමැත්තක් දැක්වූයේ, ටික වේලාවක් හෝ තමන්ගේ යාත්‍රාවට වඩා විශාල යාත්‍රාවක පහසුකම් වූ ලොකු නාන කාමරයක ස්නානය කිරීම වැනි පහසුකම් විදීමටය. මෙහිදී විශේෂයෙන්ම යාත්‍රා දෙකේම පිළියෙල කරන ලද ආහාර එක මේසයක තබාගෙන, දීසි දහයක පමණ පොහොසත් ආහාර වේලක් ගැනීමට ලැබීමද මෙවැනි මුණ ගැසීම්වල තිබූ තවත් වාසියක් විය.

මෙකල ත්‍රස්තවාදීන් විසින්, ඉන්දියාවේ නැගෙනහිර වෙරළේ සිට නොයෙකුත් යුධ උපකරණ සහ සැපයුම්, යාපනය අර්ධද්වීපය වෙත ගෙනාවේ පෝක් සමූද්‍ර සන්ධිය හරහාය. මෙම සැපයුම් ප්‍රවාහනය කිරීම සදහා ඔවුන් මුලදී සාමාන්‍ය ධීවර යාත්‍රා පාවිච්චි කල හෙයින්, අප යාත්‍රාවල වේගය ඒවා ලුහුබැඳ ගොස් අල්ලා ගැනිමට තරම් ප්‍රමාණවත් විය. එහෙත් ඔවුන් එන්ජින් අශ්ව බල ප්‍රමාණය වැඩි කිරීමෙන්, එන්ජින් ගණන වැඩි කිරීමෙන් සහ යාත්‍රාවේ සැලසුම වැඩි දියුණු කිරීමෙන් ඔවුන්ගේ වේගය වැඩිකර ගත්හ. අපට තිබූ මුර යාත්‍රා ප්‍රමාණය සීමා සහිත වීම නිසා, තලෙයිමන්නාරමේ සිට මුලතිව් ප්‍රදේශය දක්වා වූ සැතපුම් සිය ගණනක වෙරළ තීරය වෙත සැපයුම් ගෙන ඒමට උත්සාහ කරන,  දිනෙන් දින වේගය වැඩිකර ගන්නා ත්‍රස්තවාදී බෝට්ටු නැවැත්වීම ඉතාමත් දුෂ්කර කාර්යයක් විය. මෙයට විසදුමක් ලෙස ත්‍රස්තවාදී බෝට්ටු නිතරම පැමිනෙන ස්ථාන අසල ගැඹුරු මුහුදෙහි පැරණි වෙළද නැවක් නැංගුරම් ලා, එම නෞකාවේ සිට වල්ලම් යාත්‍රා දුසිමක් පමණ, මුහුදේ  සැතපුම් දහයක් පමණ ප්‍රදේශයක යෙදවීමට සැලසුම් කෙරිණ.

මේ සදහා වල්ලම් යාත්‍රාවල මුහුදු යාමේ පලපුරුද්දක් ඇති ධීවරයන් පිරිසක් නාවික හමුදාවේ ස්වෙච්චා අංශයට බදවා ගැනුණි. මට මතක හැටියට ඔවුන්ට ස්වෙච්චා අංශයේ මෙන් සම්පූර්ණ නිල ඇඳුමක් නිකුත් නොකෙරිණ.ඔවුන් ඇන්දේ නිල් පැහැති ඝන රෙද්දකින් මැසූ අත්කොට කමිසයක් සහ නිල් පැහැති කොට කළිසමකි. මෙම, වල්ලම් යාත්‍රා මගින් ත්‍රස්තවාදී යාත්‍රා ශ්‍රි ලංකා වෙරළට පැමිණීම වැලැක්වීමට උත්සාහ කිරීමේ ප්‍රයත්නය, එකල හැදින්වූයේ ‘කොටි පොල්ල‘ යනුවෙනි. මෙම යෙදුම නිල නාමයක්ද එසේත් නැත්නම් එකල නාවික පුද්ගලයන් අතර පාවිච්චි වුනු අනවර්ථ නාමයක් දැයි මට හරියට මතක නැත. යාපනයේ කලපුවට දකුණින් මෙවැනි කොටි පොල්ලක් ස්ථාපිත කෙරුණි. 

සිංගප්පූරුවෙන් ඒ දිනවල මිලදී ගන්නා ලද, පාවිච්චියෙන් ඉවත් කරන ලද්දාවූ, කොටා සමාගමේ නැව් දෙකක් මේ සදහා යොදා ගැණින. කොටි පොල්ල ක්‍රියාන්විතයේ මෙම නෞකා හදුන්වන ලද්දේ මව් නෞකා නමිනි (mother ship).

මෙයින් එකක් නැංගුරම්ලා තිබුනේ, මන්ඩතිවු දුපතට දකුණින් සැතපුම් 15 – 20 පමණ දුරිනි. මට මතක හැටියට, වල්ලම් යාත්‍රා පහලොවක් පමණ, මෙම නෞකාවට අනුයුක්ත කර තිබුණි. ස්වෙච්චා නාවික හමුදාවට මේ සදහා බදවා ගත්, ධීවරයන් හතර පස් දෙනෙකු ආයුධ සන්නද්ධව, හවස් වරුවේ නැවෙන් පිටත් වී, නැවේ දෙපැත්තේ නැගෙනහිර - බස්නාහිර අක්ෂයෙහි සැතපුම් තුන හතර පරතරයකින්, මෙම වල්ලම් ස්ථාන ගතකර, මුළු රාත්‍රියේම පරීක්ෂාවෙන් සිට, ආපසු උදෑසන නෞකාවට පැමිණීම, ඔවුන්ගේ දෛනික රාජකාරිය විය. සැලසුම් අවධියේදී මෙය පහසු කාර්යයක් සේ පෙනුනද, සැර මුහුදේ මෙවැනි පද්ධතියක් පවත්වා ගැනීම, ඉතාමත් දුෂ්කර වූ අතර, මෙලෙස එතරම් හමුදා පුහුණුවක් හා පසුබිමක් නොමැති, ධීවරයන් ගෙන් මෙවැනි දුෂ්කර රාජකාරියක නිරතවීම, බලාපොරොත්තු වීමටද අපහසුය.
විශේෂයෙන්ම මුහුද අධික ලෙස චන්ඩ දිනවල වල්ලම්වල ඇතිවූ යාන්ත්‍රික ප්‍රශ්ණ, නැංගුරම් කැඩීයාම් සහ නියමිත ස්ථානයෙන් වෙනත් ප්‍ර‍දේශ වලට ගසාගෙන යාම් වැනි ප්‍රශ්ණ නිසා ගුවන් විදුලි සංඥා වලින් අපගේ සන්නිවේදන ජාල පිරී ගියේය. මේ අතර සන්නිවේද ජාලයන්හි පැවතිය යුතු විනයද, බිදෙන්නට පටන් ගත්තේය. අවසානයේ මෙම කොටි පොලු පවත්වා ගැනීම භයානක සිහිනයක් බවට පත්විය. රාත්‍රියේ සමහර විට බියට හෝ කෝපයට, එසේත් නැත්නම් පුරුද්දට තමන්ගේ බෝට්ටුවල ඇති රේඩියෝ උපකරන වල බොත්තම් ඔබා නරක වචන කියන්නටද සමහරෙකු පෙලඹුනහ. 
මෙම අවුල් සහගත තත්වයේ ප්‍රතිඵලයක් ලෙස, එක් වැසි දිනෙක රාත්‍රියක මෙම නෞකාවේ නිලධාරියෙකු හට පහරදීමක් සිදුවිය. හොල්මන් නෞකාවක් මෙන් විශාල වූ, එමෙන්ම අදුරෙන් බරවූ නැවේ, මෙම නිලධාරියා රාත්‍රී යම් කාර්යයක් සදහා ඇවිදිද්දී, ඔහුට පොල්ලකින් පහර දී තිබිණ. කරාටේ සූරයෙකු වූ එම නිලධාරියා, සැගවී සිටි පොල්ලෙන් පහර දෙන විට, පහරින් බේරීමට අතක් ඔසවද්දී පොලු පහරින් අතේ අසථියක් කැඩී, බරපතල ලෙස තුවාල සිදුවුණි. මෙලෙස හමුදාවක නිලධාරියෙකුට පහරදීම, බරපතල විනය කඩකිරීමක් වෙයි. මෙම පහරදීම සම්බන්ධව පරීක්ෂණයක් සිදුකිරීමට පරීක්ෂණ මංඩලය ලෙස, එකල මුර සංචාරක යාත්‍රාවක අණභාර නිලධාරියාව සිටි මාද, කරෙයිනගරි කඳවුරේ තවත් නිලධාරීන් දෙදෙනෙකුද පත් කෙරිණ.
අප දෙදෙන, මෙම විභාගය සදහා මව් නෞකාවට පැමිණෙන විට, එහි අණභාර නිලධාරියා බියට පත්ව සිටියේ නෞකාවේ විනය පවත්වා ගැනීමේ, යම් අඩු පාඩුවක් ඇතැයි, අප විසින් අපගේ වාර්ථාවේ අඩංගු කලහොත්, ඔහුටද ප්‍රශ්ණ වලට මුහුණදීමට සිදුවන නිසාය. විභාගය පටන් ගැනීමට පෙර, මෙම පහරදීම සිදුකරන ලද්දේ, එතරම් පුහුණුවක් නොමැතිව බදවා ගන්නා ලද, ධීවරයන් විය හැකියැයි බොහෝ දෙනෙකු අතරේ හැඟීමක් විය. එහෙත් පරීක්ෂණය කරගෙන යද්දී, අපට වැටහුනේ නැවේ සේවය කල ස්වෙච්චා නාවිකයන් හා ස්ථීර නාවික හමුදාවේ නැවියන් අතර යම් ඝට්ටනයක් පවතින අතර, පහර දීමට ලක්වුනු නිලධාරියාද, ස්වෙච්චා නිලධාරියෙකු වූ හෙයින්, සමහර විට ඔහු ස්වෙච්චා නැවියන්ට වැඩිපුර සලකන බව සැකකර, ස්ථීර නාවික හමුදාවේ නැවියන් මෙම පහරදීම සිදු කර ඇති බවයි.

පරීක්ෂණය අවසානයේ, තරුණ නැවියන් දෙදෙනෙකු වෙත සැකය ප්‍රධාන වශයෙන් යොමු වුනද, ඇහින් දුටු සාක්ෂි හෝ මෙය සිදු කරන ලද්දේ ඔවුන්මදැයි සැක හැර ඔප්පු කිරීමට, සාක්ෂි ලැබුනේ නැත. පරීක්ෂණ වාර්තා උතුරු ප්‍රදේශයේ ආඥාපතිවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව, සැක කරුවන් කෙසේ හෝ සොයා ගැනීමට බලවත් උනන්දුවක් තිබූ හෙයින්, ඔවුන් දෙදෙනාගෙන් පාපෝච්චරණයක් ලබාගැනීමේ බලාපොරොත්තුවෙන්, කරෙයිනගර් කඳවුරෙහි අත් අඩංගුවට පත් කරන ලදී. සාමාන්‍ය යෙන් එකල ඕනෑම කඳවුරක, මෙලෙස අත් අඩංගුවට පත්වන නැවියන්, රදවා තබන ලද්දේ, ක්වාටර් මාස්ටර් රාජකාරී කල කඳවුරේ ප්‍ර‍වේශ ශාලාවේ පැත්තකය.
එකල කඳවුරේ සිටි ජේෂ්ඨ නිලධාරියෙකු, මෙම නැවියන්ගේ පාපෝච්චාරණය, අප, පරීක්ෂණ මංඩලයට ලබා ගැනීමට නොහැකි වීම නිසා, අප සමච්චලයට පත්කර ඔහු එය ලබාගෙන පෙන්වීමට මෙන්, අප දෙදෙනාත් සමග එම නැවියන් මුණ ගැසීමට පැමිණියේය. 

කුමක් හෝ හේතුවකට, සමහර විට ප්‍රවේශ ශාලාවේ (quarter master lobby) සිටින අයගෙන් මොවුන් තනිකර ගන්නට වන්නට පුලුවන, මේ දෙදෙනා ගෙන් ප්‍රශ්න ඇසුවේ එකල නිලධාරී නිවාසය සහ ප්‍රවේශ ශාලාව අතර හරිමැද වාගේ පාරේ මැද, කොන්ක්‍රීට් ව්‍යුහයක් මත තබා තිබුනු ත්‍රස්තවාදීන්ගේ පිපිරුමකට ලක්වුනු ටෝනි ක්‍රාෆ්ට් වර්ගයේ යාත්‍රාව තිබුනු තැන සිටය. මේ යාත්‍රාව කයිට්ස් ලැගූන් එකේ යද්දී යම් පිපිරුමකට අසුව අකර්මන්‍ය වූ හෙයින් මෙලෙස කලකට පසු ගොඩට ගෙනවිත් ස්මාරකයක් ලෙස සවිකර තිබුනි. එකල මෙය දකින හැම විටකම වාගේ මට මතක් වුනේ ලංකාවේ තිබෙන පරංගි සහ ලන්දේසි බලකොටුය. විශේෂයෙන්ඒම වා දෙස අප බලන සැම විටම අප ලැජ්ජා විය යුතු වුවත් අපි ඒවා අමාරුවෙන් සංරක්ෂණය කරගෙන ඒවා දෙස බලා ආඩම්බර වීමය.     


 ඉන්පසු තර්ජනාත්මක ලෙස ඔවුනට කථාකර, ඔවුන් බිය ගන්නට උත්සාහ කලත්, සාර්ථක පිළිතුරක් ලබා ගැනීමට නොහැකි විය. නාවික හමුදාවේ අවුරුදු දෙකක කෙටි සේවා කාලයක් තිබූ හෙයින්, ඔවුන් රැකියා අහිමි වේයැයි බියකර, පිළිතුරක් ලබාගැනීමට ඊලගට ඔහු උත්සාහ කළේය. විශේෂයෙන් මෙම තරුණයන් අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි කරුවන් වූ බැවින්, ඔවුන් දුප්පත් ගොවි දරුවන් යැයි සිතූ, අප නිලධාරියා ඔවුන්ට රැකියා අහිමි වුවහොත්, ඔවුන් වැටෙන කරදරය වක්‍රාකාරයකින් පෙන්වීමට, සිතා මෙලෙස ප්‍රශ්ණ ඇසීමට පටන් ගත්තේය.

“තමුන්ගේ පියාගේ රැකියාව කුමක්ද?“

“අනුරාධපරයේ ලංකා බැංකුවේ ප්‍රාදේශීය කලමනාකරු“. ඒ අරමුනින් ප්‍රශ්ණ ඇසීම මුල් ප්‍රශ්ණයෙන්ම අවසන් විය.                                  

12 comments:

  1. දැනුම සහ රසය දෙකම අඩංගු ඇත්ත කථාවක්

    ReplyDelete
  2. Replies
    1. they were sent out of the navy < I think on 'service no longer required ' basis

      Delete
  3. ඩොක්යාඩ් බෝට්ටු හා මුල් අවදියේ ෆ්‍රෙන්ච් ඩෝරා කාලේ වෙච්චි සිදුවීම් නැවත කියවන්න ආසයි.. රික්වෙස්ට් කරනව සර්ට ඉඩ තියෙන විදියට ලියන්න කියලා..

    ReplyDelete
  4. සර් ''කොටි පොල්ල'' පටන් ගත්‌තෙ එවකට සිමිත සම්පත් පුමානයකාන් උරිම සේවයක් ලබා ගැනිමෙ හා නාවික හමුදා වේ මුහුදු සටනට කාලය අනුව කෙටිකාලින විසදමක් ලෙසයි සර් ගේ පරිනත අද් දැකිම් සම්භාරයෙන් හැගෙන්නෙ අතිත සිහිවටන රැසකට මෙම 'කොටි පොල්ලේ පහරදිම' හිමිකම් පැමයි 521 හො 526 නෞකාවන් . පොලු පහර සිද්දියෙ නැවියා මා ගේ මිතුරකි , එම නිළධාරියා ද , මා රාජකාරි මත හදුනන අයකි .නාවික හමුදාවට එක් වු දිවරයින් (පිසරිස්) ලෙසයි අප හදුනුයෙ T75, T71 ටොලර් යාතා ද සිහිපත් විම හා අප කුචිචවෙලි අනඛන්ඩයට මුහුදු ගමන් සදහා අපමන සෙවයක් සැලසු කන්ඩායමක් ලෙස විෂ්ශාරාමික මා සිහිපත් කර සිටිමි.

    ReplyDelete
  5. ස්තූතියි. ඔව් ලොකු බලාපොරොත්තුවකින් පටඟත්තෙ , නමුත් අසාර්තක වුනා. ඇත්තෙන්ම මම මේක ලිව්වෙ එහෙම නොකරොත් මේව අමතක වෙල යන නිසා

    ReplyDelete
  6. ලියාගෙන යනකොට ඔක්කොම මතක් වෙයි...දිගටම ලියන්න සර් !. නැත්නම් මේවා අපිත් එක්කම ඉවරයි !

    ReplyDelete
  7. Very valuable information to read and keep on records. I really appreciate Lakshman's effort in sharing his experience with us.

    ReplyDelete
  8. Very valuable information to read and keep on records. I really appreciate Lakshman's effort in sharing his experience with us.

    ReplyDelete
  9. I would like to have your email please.Kindly sent to pra2003@hotmail.com thanks

    ReplyDelete

ස්කිනර් සහ කිරිබණ්ඩා - 1

"තමුන්නැහැ හිතනවද බුට් සපත්තු දැම්මහම වැඩි වේගයකින් දුවන්ට පුළුවන් කියල?" ගිලිමලේ කිරිබණ්ඩා ආරච්චිල  සිනාසෙමින් ඇසුවේය. ...