Friday, October 28, 2016

නවසීලන්තයෙන් රසල් ක්රෝව්ලා හදන්නට ඉගෙන ගැනීම.









නවසීලන්තයෙන් රසල් ක්‍රෝව්ලා හදන්නට ඉගෙන ගැනීම.

2005 වර්ෂයේ පමණ සිංගප්පූරුවේ තිබුණු යුද්ධායුධ සහ වෙනත් ආරක්ෂක සේවා පිළිබඳ වෙළෙඳ ප්‍රදර්ශනයකට සහ සම්මන්ත්‍රණ මාලාවකට තවත් නිලධාරීන් කිහිප දෙනෙකු සමග මමත් සහභාගි වූයෙමි. මෙයට සමගාමීව පැවැත්වුණු අන්තර් ජාතික නෞකා සංදර්ශනයක් සදහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ නැවක්ද සහභාගි විය.

මෙම සතියක් පමණ පැවැත්වුන පෙලගැස්මේ ප්‍රදර්ශනයට අමතරව සම්මන්ත්‍රණ
 රැස්වීම්, දේශන, භෝජන සංග්‍රහ යනාදිය විදේශ රටවලින් පැමිණි සිටි නිලධාරීන් සහ යුද්ධායුධ සමාගම්වල නියෝජිතයන් සදහා පැවැත්වින.

මා මේ කියන්නට යන කථාවට අමතරව මෙතනදී මාගේ සිතට වැදුනු සිංගප්පූරුවේ වැඩ කටයුතු කරන ආකාරය පිළිබදව තවත් නිරීක්ෂණයක් ලියන්නට සිතේ. ඒ මා හට එහිදී පාවිච්චියට දී තිබූ වාහනයේ රියදුරා පිළිබදවය. ඉතා හොඳට ලෝකය පිළිබද හා තම රට පිළිබද දැනුමක් තිබූ ඔහු, රියදුරෙකුව සිටීම පිළිබදව මම මුලදී පුදුමයට පත්වීමි. එහෙත් අවසාන දිනයේ ඔහු මට රාත්‍රී ආහාරයක් සදහා තම නිවසට ආරාධනා කළේය. එහිදී මට වැටහුනේ ඔහු අන්තර් ජාතික බියර් ආයතනයක සිංගප්පූරුවේ කාර්යාලක කලමණාකරු වන බවත්, මෙවැනි විදේශිකයන් සහභාගි වන රාජ්‍ය උත්සව වලට තමන්ගේම වාහනය රැගෙන එම සේවය සපයා දීමට හොද අධ්‍යාපනයක් ඇති අයට ලියාපදිංචි විය හැකි බවත්, ඔවුනට ඒ සදහා හොඳ ගෙවීමක් කරන බවත්ය. මෙවැනි ක්‍රමයකින් සිංගප්පූරුවට ලැබෙන ප්‍රයෝජන බොහෝය.

පැමිණෙන රාජ්‍ය අමුත්තාට සිංගප්පූරුව පිළිබඳව ඕනෑම විස්තරයක් මෙවැනි පුද්ගලික අංශයේ වැදගත් තනතුරක් දරන පුද්ගලයෙකු ගෙන් වගකීමකින් යුක්තව දැනගන්නට පුලුවන් විය.
සිංගප්පූරුව පිළිබඳව හොඳ ප්‍රති රූපයක් මොහු සමග ගනුදෙනු කිරීමෙන් පැමිණි රාජ්‍ය අමුත්තාට ලැබීම.
පුද්ගලික ආයතනවල කලමනාකරුවන්ට මෙලෙස හමුවන රාජ්‍ය අමුත්තන් මගින් ඒ රටවල් වල සම්බන්ධතා ඇතිකර ගැනීමට අවස්ථාව ලැබීම.
එම කලමනාකරුවන්ට ලෝකය ගැන වෙනත් රටවල ජේෂ්ඨ නිලධාරීන්ගේ අත්දැකීම් හරහා ඉගෙන ගන්නට හැකිවීම.
එවැනි පුද්ගලික අංශයේ කලමනාකරුවන්ට අමතර ආදායමක් ලබා ගැනීමට හැකිවීම.
සිංගප්පූරු රජයට මෙවැනි අවස්ථාවන් සදහා වාහන සංචිත සහ රියදුරන් නඩත්තු කිරීමට අවැසි නොවීම.

මෙම කාලය අතරතුර එක් රාත්‍රියකදී සිංගප්පූරුවේ කෞතුකාගාරයේ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්විණ. කොළඹ ජාතික කෞතුකාගාරය වැනි ඉතාමත් අලංකාර උද්‍යානයක් මැද ප්‍රතාපවත් ගොඩනැගිල්ලක තිබෙන මෙම කෞතුකාගාරය මෙවැනි රාත්‍රී භෝජන සදහා කුලියට ගත හැකි බව මට එහිදී විමසූ විට දැන ගන්නට ලැබුණි. ඉහත පෙල ගැස්වූ රියදුරා සම්බන්ධ වාසි මෙන්ම මේ පිළිබඳ වත් වාසි පේලියක්ම ලියන්නට පුලුවන් නමුත් මගේ මාතෟකාවෙන් පිට යන නිසා එය මඟ හරින්නෙමි.

මෙදින භෝජනයට පෙර බොමින් සිටියදී මම සිංගප්පූරුවේ නාවික හමුදාවේ අපි වාගේ කළු පැහැති නිලධාරියෙකු සමග කථාවට වැටුනෙමි. ඔහු සිංගප්පූරුවේ තුන්වෙනි පරම්පරාවේ දකුණු ඉන්දියානු දෙමළ සම්භවයක් ඇති කෙනෙකු වූ අතර, බීම වීදුරු කිහිපයකට පසු දිව බුරුල් වී කථාවට වැටුණි. ඔහු ඔහුගේ දරුවන් අධ්‍යාපනය ලබන්නේ ඔස්ට්‍රෙලියාවේ බව මා හට පැවසූ විට සිංගප්පූරුවේ මේ තරම් හොඳ විශ්ව විද්‍යාල තිබියදී ඔවුන් ඔස්ට්‍රෙලියාවේ අධ්‍යාපනයට යැව්වේ ඇයි දැයි මම ඇසුවෙමි.

එවිට ඔහු කියා සිටියේ සිංගප්පූරුවේ බොහෝ තැන්හි විශේෂයෙන්ම විශ්ව විද්‍යාල වලට ඇතුලු වීමේදී චීන සම්භවයක් ඇති පුද්ගලයන්ට නොගැලපෙන වාසි ලබාදෙන බවත්, අනෙකුත් සම්භවයක් ඇති පුද්ගලයන්ට කුඩම්මාගේ සැලකිලි දැක්වෙන බවත්ය. මින්පසු තරමක් ආවේගශීලී වු ඔහු මගෙන් ප්‍රශ්නයක් ඇසුවේය.

“ඔබ හිතනවාද මේ රටේ මිනිසුන් ඔබ රටේ දැනට සිදුවන යුද්ධය නවත්වන්නට උදව් කරයි කියා?, නැහැ, කවදාවත්ම නැහැ, ඔබලාගේ රටේ මේ වගේ ප්‍රශ්න තියෙන කොට ඒ රටවලට යන්නට තිබෙන ව්‍යාපාර ආයෝජන මේ රටවලට එනවා, ඉතින් ඔවුන්ට ඕන ඔබ රට වැනි ආයෝජන ආකර්ශනය කරගත හැකි රටවල් හැමදාම ප්‍රශ්න වලින් පැටලී තිබීමයි.“

මටත් ඔහු කිවූ දේ ඇත්තදැයි සිතුණි.

මට මේ සිද්ධිය සහ දෙබස මතක් වුනේ නවසීලන්තයෙන් අපට චිත්‍රපට කර්මාන්තය දියුණු කර ගැනීම සහ කිරි නිෂ්පාදනය වැඩිකර ගැනීමට ආධාර දෙන්නට කැමති බව ප්‍රකාශ කලේ යැයි ලඟකදී රූපවාහිනියේ ප්‍රවෟත්ති දුටු වේලාවේදීය.

නවසීලන්තයෙන් කිරිපිටි මිලදී ගන්නා රටවල් අතුරින් ශ්‍රී ලංකාව ප්‍රධාන තැනක් ගනී. ඒ අපේ කිරි නිෂ්පාදනය අපේ අවශ්‍යතාවයට ඉතා අල්ප බැවිනි. මෙවැනි තත්වයක් යටතේ අපේ කිරි නිෂ්පාදනය වැඩිකර දෙන්නට ඔවුන් උත්සුක වෙනවා නම් එය පුදුම සහගතය. පෙරකදෝරුවන් නඩු ඉක්මනින් ඉවර කර ගැනීමට වලි කනවා වාගේය.

එලෙසම නවසීලන්තයේ චිත්‍රපට කර්මාන්තයත් ඉතාමත් සුළු වශයෙන් සිදුවන කර්මාන්තයකි. උදාහරණයක් වශයෙන් 2011 වර්ෂයේ සාදා ඇත්තේ චිත්‍රපට 19 කි. සමහර විට අපේ මීට වඩා ඉතා අධික චිත්‍රපට ප්‍රමාණයක් නිෂ්පාදනය වන්නට ඇත. ඇත්තෙන්ම චිත්‍රපට කර්මාන්තය නවසීලන්තයට වැදගත් වන්නේ පසුබිම් ලබාදීමටය. මෑත කාලයේ ඉතාමත් ජනප්‍රිය වූ lord of the rings චිත්‍රපට හය, Avatar, Tin Tin සහ last Samurai චිත්‍රපට ගත කෙරුනේ නවසීලන්තයේය. මෙහි මුලු එකතුව චිත්‍රපට 10 ක් පමණ වේ. නවසීලන්තය අපට එතකොට කියා දෙන්නට හදන්නේ location  සැපයීමේ  රහස නම් අපි සාර්ථක වුවහොත් පාඩු වන්නේ ඔවුනට නේද?

මීට අමතරව නවසීලන්තයෙන් ලෝක සිනමාවට ලැබුණු ලොකුම දායාදය ‘රසල් ක්‍රෝව්‘ නළුවාය. ඔවුන් අපට රසල් ක්‍රෝව්ලා හදන්නටවත් කියලා දෙන්නට හිතනවා ඇත්ද?

අප මතක තබාගත යුත්තේ පාමර්ස්ටන් සාමිවරයා වරක් කල ප්‍රකාශයයි.

“ජාතීනට සදාකල් මිතුරන් නැත්තේය. ඇත්තේ ජාතියේ අවශ්‍යතාවයන් පමණි.“

මෙම ගමනේදී සිංගප්පූරුවේ නාවික හමුදාවේ තිබුනු weapon inspectorate  ආයතනය පිළිබඳ දැනගෙන අප ශ්‍රී ලංකාවට ආපසු පැමිණි පසු මම ඒ පිළිබඳව යෝජනාවක් ඉදිරිපත් කර ශ්‍රී ලංකාවේ නාවික හමුදාවේද weapon inspectorate එකක් ඇති කිරීමට කටයුතු කලෙමි.

6 comments:

  1. පුටින් මහත්තයව ඉස්සර කාර් එකක ඩයිබර් කරල තිබ්බලු රාජ්‍ය නායකෝ ආපුවෙලාවට

    ReplyDelete
  2. පුටින් මහත්තයව ඉස්සර කාර් එකක ඩයිබර් කරල තිබ්බලු රාජ්‍ය නායකෝ ආපුවෙලාවට

    ReplyDelete
  3. // එවිට ඔහු කියා සිටියේ සිංගප්පූරුවේ බොහෝ තැන්හි විශේෂයෙන්ම විශ්ව විද්‍යාල වලට ඇතුලු වීමේදී චීන සම්භවයක් ඇති පුද්ගලයන්ට නොගැලපෙන වාසි ලබාදෙන බවත්, අනෙකුත් සම්භවයක් ඇති පුද්ගලයන්ට කුඩම්මාගේ සැලකිලි දැක්වෙන බවත්ය //

    සින්ජ්පූරුවේ Biopolis ආයතනය පටන් ගන්නා කාලයේ මා එහි Genome නැමති කොටසේ සේවය කලා... එකල මුලු Biopolis ආයතනයටම සින්ජොප්පූරු ඉන්දියානු සම්බවය ඇති ද්‍රවිඩයන් එක්කෙනෙක් වත් වැඩ කලේ නැහැ... හැබැයි සිකුරාදා සවස ආයතනය සෝදා පිරිසිදු කරනා කස්ටිය නම්සින්ජොප්පූරු ඉන්දියානු සම්බවය ඇති ද්‍රවිඩයන් !

    ReplyDelete
  4. මමත් තැමතී පාට් ටයිම් රෝඩ් / ට්‍රාෆික් ඉන්ස්පෙක්ටර් කෙනෙක් වෙන්න.

    ReplyDelete
  5. //මා හට එහිදී පාවිච්චියට දී තිබූ වාහනයේ රියදුරා//
    // අන්තර් ජාතික බියර් ආයතනයක සිංගප්පූරුවේ කාර්යාලක කලමණාකර//

    කීයක් දුන්නත් අපේ අයනම් යයි?????

    ReplyDelete
  6. //ඉතින් ඔවුන්ට ඕන ඔබ රට වැනි ආයෝජන ආකර්ශනය කරගත හැකි රටවල් හැමදාම ප්‍රශ්න වලින් පැටලී තිබීමයි.//
    ආයෙත් අපේ නායකයෝ කියන උදවිය පෝලිමට එහේ යයිද දල්ලෑ...ඔලුවෙ කැක්කුමට බෙහෙත් ගන්නත් එක්කම. යන්න කාලෙ නම් හරි වගේ.
    ජයවේවා..!!

    ReplyDelete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...