Tuesday, October 11, 2016

මේඝවර්ණාභයට අප කෘතගුණවේදී විය යුතුද?






















ශ්‍රී ලංකාව ථේරවාදී බෞද්ධාගමේ කේන්ද්‍රස්ථානය යැයි කියනු ලැබේ. අපට ලෝකයට ලබාදිය හැකි වටිනාම දෙයද අප මෙතෙක් කල් සුරක්ෂිතව ආරක්ෂා කරගෙන ඇති ථේරවාදී බුද්ධ ධර්මය යැයි අප නායකයන් බොහෝ වර කියනු මා අසා තිබේ.
මෙලෙස ථේරවාදී බුදු දහම  අපේ රටේ පවතින්නේ එය ඉන්දියාවෙන් මෙරටට මිහිඳු හිමියන් විසින් රැගෙන ආ නිසාය. එසේම මිහිඳු හිමි ධර්මාශෝක රජුගේ ලඟම නෑයෙකු වූ නිසාය. (හිමිඳු හිමි අශෝක රජුගේ පුතෙකු බව මහා වංශය කියන අතර, ඔහු අශෝක රජුගේ බාල සහෝදරයෙකු බව සමහර ඉතිහාසඥයෝ සැක උපදවති.)
මිහිදු හිමි අශෝක රජුගේ නෑයෙකු නොවූනානම් දේවානම්පියතිස්ස උන් වහන්සේට මෙතරම් ගෞරව කර පිලිගන්නේවත්, ඔහු රැගෙන ආ බුද්ධාගමේ පණිවිඩය මෙතරම් පහසුවෙන් පිලිගන්නේවත් නොමැති බව නොඅනුමානය. ශ්‍රි ලංකාවේ මෙලෙස පැමිණි ථේරවාදී බුද්ධාගම ස්ථාපිත වෙද්දී දකුණු ඉන්දියාවේ මහායාන බුද්ධාගම ප්‍රචලිත වෙන්නට පටන් ගනී. විශේෂයෙන්ම අන්ද්‍රා ප්‍රදේශයේ ක්‍රිෂ්ණා ගංගාව අසබඩ නාගර්ජුන, දිග්නාග, චන්ද්‍රකීර්ති, වැනි ශේෂ්ඨ මහායාන චින්තකයන් ක්‍රිස්තු පූර්ව පලවෙනි ශත වර්ෂයේ පමණ සිට මහායාන බුද්ධාගම ප්‍රචලිත කලහ.
මහායාන බුද්ධාගම ලංකාවේ හිස ඔසවන්නේ ගෝඨාභය ( ක්‍රිස්තු වර්ෂ 309 – 322) රජ කාලයේය. මෙකල අනුරාධපුරයේ විහාරයක මෙලෙස මහායාන ආගම වැලදගන්නා භික්ෂූන් 60 ක් පමණ ගෝඨාභය රජු ඉන්දියාවට පිටුවහල් කරයි. මෙම භික්ෂුන් ඉන්දියාවට ගිය පසු ඔවුන් සමග මිත්‍රවන දකුණු ඉන්දියානු භික්ෂුවක වන සංඝමිත්‍ර ලංකාවට පැමිණ ගෝඨාභය රජු සමග කොතරම් මිත්‍ර වන්නේ යත් රජු ඔහුගේ දරුවන් දෙදෙනාගේ අධ්‍යාපනයද සංඝමිත්‍ර භික්ෂුවට බාර කරයි.
රජුගේ දරුවන් දෙදෙනා වන ජේට්ඨතිස්ස සහ මහසෙන් මොහුගෙන් අධ්‍යාපනය ලබන අතර, සංඝමිත්‍ර තෙර මහසෙන්ට වඩා කැමති නිසා වැඩිමහල් ජෙට්ඨතිස්ස කුමරු සංඝමිත්‍ර තෙර සමග වෛර බදී. ගෝඨාභය රජුගේ චිතකය වටා ඔහුගේ ඇමතිවරුන්ගේ බෙලි කපා ඔලු උල සිටුවා ජෙට්ඨතිස්ස කුමරු තම රාජ්‍ය ආරම්භ කරන විට සංඝමිත්‍ර තෙරට ලංකාවේ සිටීම එතරම් ප්‍රවේශම් නොමැති බව තේරී ඔහු රජ වූ විට තමා ආපසු එන බව මහසෙන් කුමරුට පවසා ඉන්දියාවට යයි.
ජෙට්ඨතිස්ස රජුගේ අවුරුදු 10 ක රාජ්‍ය කාලයෙන් පසු මහසෙන් කුමරු රජ වේ.මේ ආරංචිය කන වැකුනු වහාම සංඝමිත්‍ර තෙර ලංකාවට පැමිණේ.
මහසෙන් රජුගේ රාජාභිෂේකය සම්පූර්ණයෙන්ම සංවිධානය කරන්නේ සංඝමිත්‍ර තෙරය. ශ්‍රී ලංකාව මහායානීකරනය ඇරඹේ.
මහා විහාරයේ සිටින භික්ෂූනට කෙනෙහිලිකම් ඇරඹෙන අතර, එම විහාරයේ වැඩවසන හාමුදුරුවනට දන් දුන්න හොත් කහවනු 1000 ක දඩයක් පැනවෙන බවට මහසෙන් රජු නියෝග කරයි. මහා විහාරයේ සිටින භික්ෂූහු කඳුරටට පැනයති. අවුරුදු නවයක් මෙලෙස කාලය ගතවන අතර සංඝමිත්‍ර තෙර රාජ්‍ය නිලධාරීන් සහ තම අනුගාමිකයන් යොදවා ගෙන මහා විහාරයේ තිබෙන මනරම් ලෝමහාපාය ඇතුලු ගොඩනැගිලි ගලවා අභයගිරියට ගෙනවිත් සවිකර ගනී.
දැන් ශ්‍රී ලංකාව ථේරවාදී රටක්ව පවතින්නේද, එසේත් නැත්නම් මහායාන රටක් වන්නේද යන කරුණ තීරණය වන්නේ එක් පුද්ගලයෙකු මතය. රාජ්‍ය අනුග්‍රහය ලැබෙන්නේ මහායානයටය. ථේරවාදී භික්ෂූහූ අසරණ වී පන්සල් හැරදමා පැන ගොසිනි.
ඒ මහසෙන් රජුගේ ලගම මිතුරෙකු වූ එසේම ඔහුගේ සෙන්පතියෙකුද වූ මේඝවර්ණාභයය. ඔහු මහායානීකරනයට විරුද්ධ වී කඳුරටට ගොස් හමුදාවක් ගොඩ නඟාගෙන පැමිණ අනුරාධපුරයේ දුරතිස් වැව අසලට පැමිණ කඳවුරු බැඳගනී. මෙය ඇසූ මහසෙන් රජුද තම හමුදාව රැගෙන ගොස් එය අසල කඳවුරු බඳියි. මේඝවර්ණාභය කඳුරටින් ගෙනා රසවත් ආහාර; එකලත් රටේ රසවත්ම කෑම බීම තිබී ඇත්තේ කඳුරට බව පෙනේ, ආහාරයට ගන්නට යන විට තම මිත්‍ර මහසෙන් රජු තමා අසලම කඳවුරු බැඳ සිටින බව මතක් වේ. ඔහු ඒ කෑම බීමත් රැගෙන රජු හමුවීමට යයි.
දෙදෙන ඒ කෑම බීම වලින් සන්තර්පණය වී සතුටු සාමීචියේ යෙදේ. දෙබසේ කොටසක් පහත පරිදිය.
“කවර හෙයකින් තෝ මා කෙරෙහි දාමරික වූයේද?“ රජු අසයි.
“තොප විසින් මහා විහාරය නැසූ නිසාය,“ මේඝවර්ණාභය කියයි.
“විහාරය පිහිටුවන්නෙමි, මාගේ වරදට සමා කරව,“ ඔවුන් යම් එකඟතාවයන්ට පැමිණේ.
යුද්ධයකුත් සිදු නොවී ප්‍රශ්නය විසඳේ. රජු ඉතාම ප්‍රිය කරන ඔහුගේ බිසවක් වඩුවෙකුට කොන්ත්‍රාත් එකක් දී සංඝමිත්‍ර තෙර ඝාතනය කරවයි. මේඝවර්ණාභය මහසෙන් රජුගේ උදව්වෙන් ආපසු මහා විහාරය යථා තත්වයට පත්කරයි. මහා විහාරයේ භික්ෂූහූ ආපසු පැමිණෙති.
මෙම මේඝවර්ණාභය සෙනවියා එදා රජු සමග ගත් රාත්‍රී භෝජනය අප ජාතියේ අනාගතය සම්පූර්ණයෙන්ම වෙනස් කලේය. ඔහු එයට විරුද්ධ වූයේ නැත්නම් ලංකාව මහායාන බුද්ධාගම අදහන රටක් වීමට බොහෝ ඉඩ තිබිණ. එසේ වූයේ නම් අප සංස්කෘතියද වෙසෙසින්ම වෙනස් එකක් වීමද නොඅනුමානය.

මේඝවර්ණාභයට අප කෘතගුණවේදී විය යුතුද?          

8 comments:

  1. දිවයිනේ තේරවාදය ස්ථාවර කරන්න හේතුවුන ඒ රස ආහර මොනවා වෙන්නැතිද? කැවුම්ද? වැල ද? වරකාද? මගේ වැඩි අනුමානය ඒ කිතුල් රා වෙන්න ඕන කියලයි.

    ReplyDelete
  2. දෙකම හරි හරියට තිබ්බනං දැං ඇතිවෙලා තියන තත්වෙ නැතිවෙන්ඩ තිබ්බ ..

    ReplyDelete
  3. ඕනෑම රටක ඉතිහාසය යනු බිහිසුණු මිණීමැරුම්ය !

    ReplyDelete
  4. ඒක එහමම උනා කියමු. එතකොට තිබ්බබතයේ තියෙන තන්ත්‍ර යානට ලංකාවෙන් ආපු බලපෑම ගැන මොකද කියන්නෙ.තන්ත්‍ර යානය මොකක්ද කියල කෙටියෙන් කිව්වොත් බුදුගුණ අනුව ශාන්තිකර්ම කිරීම. මහා යාණය මොකක්ද කියල කෙටියෙන් කිව්වොත්අපි ඔක්කොම බෝසත්වරු සහ මෙ භවයේදීම බුදු වෙන්න පුළුවන් කියන එක. හීනයානය මොකක්ද කියල කෙටියෙන් කිව්වොත් බුදු වෙන්න කල්ප ගණන් පෙරුම් පුරන්න ඕනෑ. ඒක හැමෝටම කරන්න බැරි අමාරු දෙයක් නමුත් නිවන් යන්න එතරම් පෙරුම් පුරන්න ඕනෑ නැ . ඒක මෙ බවයේදීම අත්පත් කරන්න පුළුවන් කියන එකයි

    ReplyDelete
    Replies
    1. මමත් එකගයි මේ ආත්මයේම නිවන් දකින්නට පුලුවන් කියන අදහසට, හරියට හිතුවොත් අවබෝද කරගන්නට පුලුවන්

      Delete
    2. ඒකට නම මමත් එකඟයි. හැබැයි හරිම අමාරුයි

      Delete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...