Thursday, July 6, 2017

නගර ගොඩනගන්නෝ සහ වින කටින්නෝ - 1






මහනුවර නගරය සෙංකඩගල නගරය ලෙස පටන් ගැනෙන්නේ 15 වන ශත වර්ෂයේ බව පෙනේ. ජයවීර අස්ථානගේ පුතෙකු සේනාසම්මත වික්‍රමබාහු (1473 - 1511)  සාමන්තයෙකු ලෙස කෝට්ටේ අධිරාජ්‍යයේ නාමික ප්‍රාදේශීය පාලකයෙකු ලෙස මෙය අගනුවර කරගත් බව පෙනේ. 

මොහුගේ නමට ඉදිරියෙන් ‘සේනා සම්මත‘ යනුවෙන් සඳහන් වීමෙන් එක්කෝ මොහු කැරලි කාරයෙකු ඒසේත් නැත්නම් සාමාන්තකයෙකුව සිට අධිරාජ්‍යයකින් වෙන්වුනු පාලකයෙකු බව පෙනී යයි. ඔහු රාජ්‍ය පාලනය කරන්නේ සේනාවේ අනුමැතිය මත මිස වෙනත් අයිතියක් නිසා නොවන බව හෝ එසේත් නැත්නම් ඔහුට රාජ්‍ය බලයට හිමිකම් කීමට ඇති ප්‍රධාන අයිතිය සේනාවේ ඔහුට ඇති අනුමැතිය බව විශේෂයෙන් පෙන්වා දෙයි. මොහු දුම්බර ජීවත් වූ බෝධි වංශයේ කුමරෙකු බව පොත්පත් කියයි. මෙවැනි ප්‍රාදේශීය රජවරු බොහොමයක් එකල වරින් වර දුම්බර විසූහ. පහල පිටියේ තුනයා සහ නාපාන ඈපා මෙවැනි නායකයන් ගෙන් දෙදෙනෙකි. 

මෙකල මහනුවර ඉතිහාසය විශේෂයෙන්ම, කරල්ලියද්දේ ජයවීර බංඩාර; අප ඉතිහාසයේ ප්‍රසිද්ධම චරිතයක් වන දෝන කතරිනා කුමරියගේ පියා, රජවන තෙක් එතරම් පැහැදිලිව ලේඛන ගතව නැත. මහනුවර නගරය පිලිවෙලකට රාජකීය අගනුවරක් වන්නේ (1590 - 1604) පලවෙනි විමලධර්මසූරිය රජුගෙන් පසුවය. ඔහු මහනුවර ආසියාවේ විශිෂ්ඨ අගනුවරක් බවට පත් කලේය. ඔහු සීතාවක රාජසිංහ රජු සහ පෘතුගීසීන් පිලිවෙලින් පරාජය කර කන්ද උඩරට රාජධානිය ලංකාවේ එකම රාජධානිය බවට පත්කර මහනුවර එහි අගනුවර බවට පත් කලේය. එපමනක් නොව ඔහු පෘතුගීසීන් හා බලන දී කල අවසන් සටනේදී මහනුවර රාජධානියට නියම හිමිකාරිය වූ වයස 14 ක් පමණ වූ දෝන කතරිනා කුමරිය සටන් බිමෙන්දීම විවාහ කරගෙන කන්ද උඩරට ඔටුන්නට දෙපැත්තකින් හිමිකම් ස්ථාපිත කර ගත්තේය.  

මෙකල ඕලන්දයෙන් ලංකාවට පැමිණි තානාපති වරයෙකු වූ අද්මිරාල් ස්පීල්බර්ගන් ඔහුගේ ගමන් විස්තරයේ මහනුවර ගැන කර ඇති ලියා ඇති සඳහනේ මහනුවර තිබෙන පූජනීය ස්ථාන යුරෝපයේ ප්‍රධාන දේවස්ථාන හා සමාන බවත්, රජුගේ මිදි වතු වලින් සාදන ලද වයින් ලෝකයේ හොඳම වයින් හා සමකල හැකි බවත් ලියා ඇත. 
                            ස්පීල් බර්ගන් හා විමලධර්මසූරිය රජු 

                                                         වැව සෑදීමට පෙර මහනුවර
 විමලධර්මසූරිය රජුගේ අකල් මරණය නිසා (මෙතරම් දේවල් ඉෂ්ඨ සිද්ධ කරගත් ඔහුගේ රාජ්‍ය කාලය අවුරුදු 14 ක් පමණක් විය.) මහනුවර නැවතත් දරුණු යුද්ධ කිහිපයකින් හෙම්බත් විය. ඉන්පසු රජ වූ විමලධර්මසූරියගේ ඥාති සොහොයුරු වූ සෙනරත් රජු බොහෝ විට තම රාජ සභාව පවැත්වැව්වේ කඳුකරයේ වනගතව සිටය. ඉන්පසු මහනුවර යම් අස්වැසිල්ලක් ලැබෙන්නේ දෙවෙනි රාජසිංහ රජු ඕලන්දයින් හා එකතුව පෘතුගීසීන් සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවෙන් 1658 දී එලවා දැමුනු පසුවය.  

මෙලෙස මහනුවර නගරය අලංකාර ලෙස ගොඩනගන විමලධර්මසූරිය රජු ඒ සදහා බොහෝ විට යොදා ගත්තේ සටන් වලදී අල්ලා ගත් පෘතුගීසී සිරකරුවන්ය. සමහර විට ඔහු විසින් ගොඩනගන ලද ගොඩනැගිලි වල යම් යුරෝපීය ආභාෂයක් දකින්නට පුලුවන් වන්නේ මේ නිසාය. ඔහුගෙන් පසු යම් සුලු වෙනස්කම් මහනුවර සිදුවුවද ඔහුගේ රාජ පරම්පරාවේ කුණ්ඩසාලේ නරේන්ද්‍රසිංහ රජු දළදා මාලිගාවට අලුත් අංගයන් කිහිපයක් එකතු කරන තුරු නගරයේ එතරම් වෙනස් කිරීම් සිදුවූ බවක් නොපෙනේ. මෙයින් පසු රටේ අනෙක් බොහෝ තැන්වල මෙන් නගරය අවට වෙහෙර විහාර බොහෝ ගණනක් අලුතින් ගොඩනංවන්නේ කිත්සිරි රජුය. දෙගල්දොරුව, ගල්මඩුව වැනි විහාර ඔහු විසින් තැනුනු ඒවාය. 

මෙයින් පසු මහනුවරට අලුත් එළියක් එක්කරන්නේ එහි අවසාන රජ වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුය. ඔහු නගරයේ රජයට අයිත්ව තිබූ කුඹුරු යායක් 1807 දී හෙක්ටයාර් 19 ක වැවක් බවට පත්කරයි. වැවේ බැම්ම කිලෝ මීටර් 3.4 ක් දිග වෙයි. මේ වැවට පහලින් ඇති දෙයියන්නේ වෙල යැයි ප්‍රසිද්ධ භූමියෙහි තිබී ඇත්තේද රජුගේ කුඹුරු යායක්ය; දෙයියන්නේ වෙල (රජුගේ කුඹුරු යාය.) රජු මෙම වැව සාදන්නට ඇත්තේ කුමන හේතුවකට දැයි හරියටම සිතාගන්නට බැරි වුවත් එය පහත හේතු සාධක තුනෙන් එකක් විය යුතුය. 

1. රජයට අයත් දෙයියන්නේ වෙල කුඹුරු සදහා වාරි මාර්ගයක් ඇති කිරීමට; වැවේ සොරොව්වෙන් ජලය ගලා යන්නේත් දෙයියන්නේ වෙල හරහාය. 
2. මහනුවර නගරය අලංකාර කිරීමට; ඔහු මෙම වැව  කිරි මුහුද යැයි නම් කිරීම මෙලෙස හිතන්නට හේතු සාධකයක් වෙයි. 
3. රාජ මාළිගාව හා ඒ අවට ප්‍රදේශය සතුරන් ගෙන් ආරක්ෂා කිරීමට; නගරයේ බෝගම්බර පැත්තේ සිට දැන් පුෂ්පදාන විද්‍යාලය දක්වා  වැවක් සහ වගුරු බිමක් එකල තිබූ හෙයින් එම දිය අගල අම්පිටිය පැත්තට දීර්ඝ කිරීමට ඔහු බලාපොරොත්තු වූවා යැයි සිතන්නට පුලුවන. 

ඉහත කුමන හේතුවකට හෝ සාදන ලද මහනුවර වැව මහනුවර නගරයට විශේෂ අභිලක්ෂණයක් ගෙන දී ඇත්තේය. එහෙත් එයින් නගරයේ දැන් ජීවත් වන්නන්ට සිදුවන්නේ හොඳක්ද නරකක්ද  යන්න පැහැදිලි නැත. රථවාහන ගමනා ගමනය පැත්තෙන් බලන විට නම් මෙය නගර වාසීනට මහත් කරදරයකි.   to be continued....
   


4 comments:

  1. වැවේ බැම්ම කිලෝ මීටර් 3.4 ක් දිග වෙයි ?

    ReplyDelete
    Replies
    1. වැව වටා ඇති බැම්ම ලෙස නිවැරිදි විය යුතුයි. ස්තූතියි

      Delete
  2. අතීතයේ රජ දවස රජවරු වැවු බැන්දේ අලංකාරයටම නොවේ. ඔබේ ලිපියෙසඳහා පරිදිම එය නුවරය. නුවරක් වීමට සෑම නගරකයකටම නොහැකිය. ඒ සඳහා සුවිශේෂී කාරානා තිබිය යුතුය. "අනුරාධ නගරය දැන් පෙනේ ඕසේ" කියා ගේත වලින්ද ගැයුවේ කටකහනවාට නොවේ. අනුරාධ නගරය පුරයක් බවට පත්කළේ පණ්ඩුකාභය රජුය. ඒ සඳහා ඔහු නගරයේ ග්‍රාම සීමා සළකුණු කිරීම, පවුරු වාසල් ඉදි කිරීම, උයන් තැනවීම අභය වැව සෑදීම ආදී කටයුතු රැසක් සිදුකෙරිණි. එමනිසා මහනුවර රාජධානියෙ සුවිශේෂීතාවය වෙනුවෙන් වැවක් තැනවීම සිදුකරන්නට ඇත. වෙනස නම් දැන් එය ජනාකීර්ණ නගරයක් වීම හේතුකොටගෙන භාදා පැමිණවීමයි. එකලා රථවාහන නොතිබීම හේතුවෙන් එවැනි ගැටලුමතුවූයේ නැත.වර්තමානයේද දළදා මාලිගාවේ හා මහනුවර නගරයේ අභිමානය උදෙසා නුවර වැව සුවිශාල මෙහෙයක් ඉටුකරයි

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම මේ වැව හැදෙන්නේ 1807 , යටත්වීමට අවුරුදු 8කට පෙර රජු ඉතාම අපහසුවෙන් රාජ්‍ය කලේ , ඒ වෙනවිට , අලංකාරයට නොවෙයි කියන එකට ඒක ලොකු සාධකයක්

      Delete

කෘෂිකර්ම ඇමතිවරයා වෙත යෝජනාවක් ඉදිරිපත් කිරීම

  කෘෂිකර්ම ඇමතිතුමනි  මම විශ්‍රාම ගත්  රියර් අද්මිරාල්වරයෙක් වන අතර විනෝදාංශයක් වශයෙන්  ගොවිතැනෙහි සහ ගෙවතු වගාවෙහි යෙදෙමි.  මට පවුලෙන් ලැබු...