Monday, February 20, 2017

ආපදා කලමනාකරණය කිරීමට ආපදාවක් එනතුරු බලාසිටීම.




පසුගියදා කළුතර කටුකුරුන්දේ සිදු වූ ඛේදවාචකය ඉතාමත් අවාසනාවන්ත සිදුවීමකි. අනතුරු කොතරම් වැලැක්වීමට උත්සාහ කලද  ඒවා කෙසේ හෝ සිදුවන්නේ යැයි අපට මේ වගකීමෙන් වලකින්නට බැරිය. එලෙස වගකීමෙන් ගැලවෙන්නට බැරි හේතුව මෙවැනි අනතුරු වලක්වාලන්නට පොදුජනයාගේ මුදල් වියදම් කර අපි දැනටමත් ක්‍රමවේදයන් නියමිත ස්ථානයන්හි ස්ථාන ගතකර ඇති නිසාය. 

අපි කුඩා කාලයේ සිදු වූ "ආසයි බයයි" බෝට්ටුව මීට අවුරුදු 37 කට පෙර නිල්වලා ගඟ දිගේ වෙසක් බලන්නට ගොස් පෙරලී 36 දෙනෙකු මියගිය විට ඒ පිළිබඳ ශෝක වී ඇන්ටන් ජෝන්ස්ගේ සිංදුවක් කියා සිද්ධිය අමතක කරන්නට අපට හැකියාව තිබුනේ එකල මෙවැනි සිදුවීම් වලක්වන්නට ක්‍රමවේද නියමිත ලෙස ස්ථාන ගත නොකර තිබූ නිසාය. 

නමුත් දැන් තත්වය එසේ නොවේ. මුලු රට පුරාම ආපදා කලමනාකරණයට නිලධාරීන් යොදවා ව්‍යුහයක් ඇතිකර අප බොහෝ මුදලක් ආයෝජනය කර තිබේ. ඇත්තෙන්ම මේ සදහා ඇමතිවරයෙකුද අප විසින් පත් කරගෙන ඇත්තේය. ඔහුටද ලොකු අමාත්‍යංශයකුත් අමාත්‍යාංශ ගොඩනැගිල්ලකුත්, ලේඛම්වරු, අධ්‍යක්ෂකවරු වැනි මෙකී නොකී නිලධාරීන්ද පත්කර අපි ඔවුනටද වැටුප් ගෙවන්නෙමු. දැන් ආසයි බයයි සිදු වූ ලෙසටම ශෝකය පලකර, සිංදු කියා අවසන් කිරීම සුදුසු නොවේ. 

මක්නිසාද එසේ වුවහොත් අප විසින් ඒ ආයෝජනය කල මුදල් වලින් ජනතාවට ප්‍රතිඵලයක් ලැබී නොතිබීමය. ආපදාව සිදු වූ පසු ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ කෙනෙකු රූපවාහිනියට පැමිණ මියගිය අයගේ සහ තුවාල කරුවන්ගේ ප්‍රමාණයන් අපට දැන්වීමෙන් පලක් නැත්තේය. අප වුවමනාවෙන් අසා සිටින්නේ ඔවුන්ගේ ආපදා වැලැක්වීමේ ක්‍රියා තුලින් කොතරම් පිරිසක්ගේ ජීවිත බේරා ගැනීමට එසේත් නැත්නම් කොතරම් වටිනාකමක දේපලක් බේරා ගැනීමට ඔවුනට හැකි වූයේදැයි දැනගන්නටය. අප ඒ සදහා යොදවන මුදල් වලින් ප්‍රයෝජනයක් ඇත්දැයි දැනගැනීමටය. 

එසේ අපට යහපත් ප්‍රතිඵල අරගෙන දෙන්නට නම් එවැනි ආපදා කලමනාකරණයට යොදවා ඇති නිලධාරීන් තමන්ගේ ආපදා බල ප්‍රදේශයේ සිදුවන්නට ඉඩ තිබෙන ආපදාවන් ලැයිස්තුවක් සාදා ගත යුත්තේය. එම ලැයිස්තුවේ ඇති ආපදාවන් සිදුවීමට තිබෙන ඉඩ ප්‍රස්ථාව (likelyhood) මීට පෙර ඒවා සිදු වී ඇති ආකාරය (pattern) අනුව ශ්‍රේණි ගත කල යුත්තේය. ඉන්පසු එම ආපදාවන් වැලැක්වීමට කුමක් කල යුත්තේදැයි විශේෂඥයින් සහ අත්දැකීම් ඇත්තන් සමග සාකච්ඡා කර මෙහෙයුම් සැලැස්මක් (action plan) සාදාගත යුත්තේය. 

මෙවැනි සැලැස්මක් සෑදීමේදී අධික මුදලක් වැයවන හෙලිකොප්ටර් සහ දොඹකර වැනි ඒවා ඇතුලත් කිරීමට පෙර වියදමක් නොමැතිව කල හැකි ක්‍රියාදාම වලට ප්‍රමුඛතාවයක් දිය යුත්තේය. 

මෙවැනි ක්‍රමවේදයක් තිබුනේ නම් කළුතර ප්‍රදේශයේ අවුරුද්දකට වරක් මෙවැනි බෝට්ටු පෙරහැරකුත් තිබුනේ නම් මේ සදහා ආපදා වැලැක්වීමේ ක්‍රියා පිළිවෙල කුමන ආකාරයකින් ක්‍රියාත්මක වන්නට ඉඩ තිබුනාද? 

  • මෙම බෝට්ටු පෙරහැර ආපදාවක් වියහැකි ලැයිස්තුවේ ඉහලින්ම තිබේ. 
  • බෝට්ටු කුමන වර්ගයේ ඒවාදැයි වර්ගීකරණය කර මෙවැනි අවස්ථාවක විවිධ වර්ගීකරණයන් ගෙන් යුත් යාත්‍රාවල වන්දනා කරුවන් කීදෙනෙකු යා හැකි දැයි දැනමුත්තන් සමග සාකච්ඡා කර ලේඛන ගතකර තිබීම. 
  • බෝට්ටු වරායෙන් පිටත්වීමට පෙර ඒ නියමිත ගණනට වඩා සිටිනවාදැයි පරීක්ෂා කර අධිකව වන්දනාකරුවන් සිටින යාත්‍රාවලට මුහුදට යැවීමට ඉඩ නොදීම. 


මෙවැනි ක්‍රමවේදයක් තිබුනේ නම් ජීවිත 16 ක් ආරක්ෂා වනු ඇත. දැන්වත්  මෙවැනි දෑ වැලැක්වීමට දැනට තිබෙන ආයතන සහ සම්පත් වඩාත් කාර්යක්ෂම ලෙස සංවිධානය කල යුත්තේ අනාගතයේදීවත් මෙවැනි දෑ සිදුනොවීමටය.  

ඒ අතරම මෙම සංවිධානයන්ගේ නම ආපදා කලමනාකරණය නොව ආපදා වැලක්වීමේ හා කලමනාකරණය කිරිමේ සංවිධානය ලෙස නම් කලහොත් අඩු තරමින් දිනපතා නම දකිත්දීවත් අපට වැලැක්වීමේ වගකීමක් තිබෙන බව දිනපතා මතක්වනු ඇත.   

3 comments:

  1. ඔතෙන්ට හොඳට ඒආර් එෆ් ආර් ගැන දන්න නාකි බුවාල දෙතුන් දෙනෙකුයි කිසි කිසි කලබල කොල්ලො සෙට් එකකුයි ඉන්න ඕනෙ.කොල්ලො ටිකට වැඩ කරන්න කියලා නාකි ටික උන්ව කවර් කලා නම් සහ ඒක අවම අවුරුදු පහක් වත් කන්ටිනිව් කලා නම් රටේ රිද්මයක් ගොඩනඟන්න පුළුවන් පැහැදිලිවම..
    ජයවේවා..!!

    ReplyDelete
  2. ඕවට දාල තියෙන්නෙ ඒ පිළිබඳ විශේෂඥයෝ...සර්ල මොනව දන්නවද ?

    ReplyDelete

අන්දමන් දූපත් සහ සනත් ජයසූරිය.

 මා ශ්‍රී ලංකා නාවික නෞකා ශක්ති නැවේ අණදෙන නිලධාරියාව සිටියදී ඉන්දියාව 1997 වර්ෂයේ බෙංගාල බොක්කේ තදාසන්න රාජ්‍යයන් ගේ නාවික හමුදාවන්ග...