Tuesday, February 7, 2017

ප්‍රශස්ති නොගැයුනු වීරයෝ - 3 (අවසාන කොටස)

link for first part  http://lakshmanillangakoon.blogspot.com/2017/02/1.html
link for second parthttp://lakshmanillangakoon.blogspot.com/2017/02/2.html

final episode 

 සමරකොන් මුදලි එක්වරම සිංහල හමුදාව මැදට තම හමුදාව සමග පැන, සිංහල හමුදාවට පහර දෙන්නට පටන් ගත්තේය. මේහිදි එදිරිල්ලේ රාළගේ මස්සිනා වු ඉද්දගොඩ නයිදේ මරුමුවට පත් විය. මෙයින් පසු එදිරිල්ලගේ හමුදාව  හා පෘතුගීසීන් අතර යුද්ධයෙන් ඉතිරි  වු පනහක්  පමණ පෘතුගීසි හමුදාව සමරකොන්ගේ  හමුදාව  සමග කොළඹට  පැමිණියහ.

තම මස්සිනා වන ඉද්දගොඩ නයිදෙගේ මරණයෙන් බලවත් කම්පාවට පත් එදිරිල්ලේ රාළ, බරපතළ තුවාල  ලබා සිටියදී නැවත සටනට අවතීර්ණ වෙමින් දෝලාවක හිඳ තම හමුදාව සමග පෘතුගීසීන් දැඩි ලෙස පීඩාවට පත් කරමින් ඔවුන්ගේ දේවස්ථාන විනාශ කරමින් පෘතුගීසීන්ට බලවත් තර්ජනයක් නැවත ඇති කරන්නට සමත් විය. 

මේ අතර ඔහු විසින් රාජසිංහ රජුගේ ඥාතියෙකු වූත්, කන්ද උඩරට විමලධර්ම රජුගේ විරුද්ධකාරයෙකු වූත්, කෝරකේ බංඩාර අල්ලා ගෙන සිරකරුවෙකු ලෙස ඔහු මහනුවරට එවීය. මෙම අවස්ථාවේ රාජසිංහ රජුගේ මරණින් පසු කන්ද උඩරට හැරෙන්නට ලංකාවේ සෑම තැනම බලය අල්ලා ගෙන සිටි පෘතුගීසීන්ට එදිරිල්ලේ රාළගේ යුධ කටයුතු නිසා කොළඹ හා ගාල්ල කොටුව පමණක් සීමා විය. 

සමරකෝන් මුදලි ඔහුගේ සිංහල හමුදාවත් කොළඹ සිටි පෘතුගීසීන් සහ මන්නාරමින් පැමිණි පෘතුගීසීන් සමග නැවත සීතාවක බලා ගමන් ගත්හ. ඔවූහු හංවැල්ලේදී එදිරිල්ලගේ සහෝදරයාගේ හමුදා සමග සටන් කර ඔහු පරාජයට පත් කලහ. මෙය ආරංචි වූ එදිරිල්ලේ රාළ ඔහුගේ හමුදාව සමග පැමිණ නැවත පෘතුගීසීන් හා සමරකෝන්ගේ සිංහල හමුදා සමග සටන් වැදුනි.  

එහිදී ඇති වූ දරුණු සටන් වලින් පසුව එදිරිල්ලේ රාළගේ හමුදා පරාජය වූ අතර රිදී පටවා ගත් අලි පස් දෙනෙකුත්, රත්තරන් පටවා ගත් අලි දෙදෙනෙකුත්, ඇතුලුව විශාල වස්තු සම්භාරයක් සමරකෝන් මුදලිට හා පෘතුගීසීන්ට ලැබුණි. 

මෙහිදී වූ පරාජයෙන් පසු එදිරිල්ලේ රාළ ඉතිරි වූ හමුදාවත් සමග කන්ද උඩරටට පලා ගොස් කන්ද උඩරට එකල රාජ්‍ය  කල විමලධර්මසූරිය රජතුමා බැහැ දැක්කේය. ටික කලක් විමලධර්මසූරිය රජු සමග මහනුවර ජීවත් වූ එදිරිල්ලේ රාළ කෝට්ටේ සහ සීතාවක යුවරජ තනතුරෙහි හා එදිරිමාන්නසූරිය බංඩාර යන රාජ්‍ය  නාමයෙන් ඔටුනු පලදවන ලදි. ඔහු මෙම යුව රජ තනතුරට පත් කරන ලද්දේ එකල ශ්‍රී ලංකාවේ අධිරාජ්‍යයා වශයෙන් පිලිගත් විමලධර්මසූරිය රජු යටතේය. පසුව සත් කෝරලයේ යුවරජ වරයෙකු වූ වීදිය බංඩාරගේ දියණිය එදිරිල්ලේ රාළට සරණ පාවා දෙනු ලැබීය. 

විශාල පිරිසක් සහභාගි වූ මෙම උත්සවය රනින් හා රිදියෙන් සරසන ලද අලි ඇතුන්ගෙන්ද, ඇත් දළ හා රනින් කරන ලද දෝලා වලින්ද, යුක්ත විය. එදිරිල්ලේ රාළ අලි ඇතුන් පෙරටු කොට ගෙන රනින් සරසන ලද ඇතෙකු පිට නැගී රන් ඔටුන්න හිසලා පෙරහැරේ ඉදිරියෙන්ම ගමන් කලේය. මෙම සරණ මංගල්‍යය උත්සව දින එදිරිල්ලේ රාළගේ හමුදාවේ උප ප්‍රධානීන්ට හා හමුදා නිලධාරීන්ට නොයෙකුත් තාන්න මාන්න හා පදක්කම් විමලධර්මසූරිය රජු විසින් පිළිගන්වන ලදි. 

සරණ මංගල්‍යයෙන් දින කිහිපයකට පසු, කන්ද උඩරටින් එදිරිමාන්න සූරිය බංඩාර රජුන් සදහා හමුදාවක් සූදානම් කෙරුණි. මෙම හමුදාව සීතාවකට පැමිණි අතර එහිදී පෘතුගීසී හමුදාවේ මුදලිවරයෙකු වූද, සීතාවක රාජසිංහ රජුගේ ලඟ ඥාතියෙකු වූද, දොන් කොන්ස්ටන්ටීනෝ නවරත්නගේ හමුදා හා ගැටී ඔවුන් අන්ත ලෙස පරාජයට පත් කලහ. මෙම සටනින් පසු එදිරිල්ලේ නැවත මහනුවරට පැමිණියේය. කෙටි කලක් එදිරිමාන්න සූරිය බංඩාර රජුට සාමයෙන් කල්ගත කරන්නට ලැබිණ. 

මේ අතර පෘතුගීසීන්ට ඉන්දියාවේ ගෝවේ නගරයේ සිට විශාල වශයෙන් උපකාරක සේනා ලැබුණි. මෙම සේනාවන් ගෙන් කොටසක් ගාල්ල හා මාතරට යැවූ අතර, සමරකෝන් මුදලි ප්‍රධාන විශාල පෘතුගීසී හා සිංහල හමුදාවක් කළුතර කොටුව ඉඳිකිරීම සදහා යවන ලදි. 

සමරකෝන් මුදලිගේ හමුදාව කළු ගඟ අද්දර කඳවුරු බැඳ එම ස්ථානයේ විශාල බලකොටුවක් ඉඳිකරමින් සිටියේය. මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ පෘතුගීසී ජෙනරාල්වරයාද කළුතරට පැමිණ සිටියේය. 

මෙම බලකොටුව ගැන ආරංචි වූ විමලධර්මසූරිය රජු, එදිරිමාන්න සූරිය බංඩාරට පන්දහසක හමුදාවක් සමග ගොස් මෙය විනාශ කිරීමට නියම කලේය. කොටුව විනාශ කිරීමට සිදු කල සටන එදිරිමාන්න සූරිය බංඩාර විසින් පෙරමුනේ සිට මෙහෙය වන ලද අතර, හදිසියේ ඇඳ හැලුනු විශාල වර්ෂාවක් නිසා කළුඟඟ උතුරා යාමෙන් ඔහුගේ හමුදාව බලවත් කරදරයට පත්විය. 

එකල තිබූ තුවක්කු වර්ෂාවකදී එලිමහනේ පාවිච්චි කල නොහැකි ඒවා වුවත්, වර්ෂාවෙන් තම තුවක්කු නොතෙමී ආරක්ෂා කරගැනීමට  නොහැකි විය. නමුත් සමරකෝන් මුදලිගේ හමුදාව බලකොටුව තුල සිටීම නිසා එම හමුදාවට තම තුවක්කු තෙමීමෙන් ආරක්ෂා කර ගත හැකිවිය. මෙම හේතුව නිසා උඩරට හමුදාවේ ඉතිරි කොටස් වෙඩි වැදීම් වලින් දරුණු ඝාතනයකට  ලක්විය. 

හමුදාවේ පසුපස කොටස මෙයින් කලබල වී ඇති බව පෙනී ඔවුන් දිරිමත් කිරීමට එදිරිමාන්න තම හමුදාව පසු පසට ගමන් කලේය. මෙය දුටු අනෙකුත් හමුදා කොටස් ඔහු පසු බසින්නට සූදානම් වෙනවා යැයි සිතා, තමුනුද පසු බසින්නට විය. මෙම අවස්ථාවේදී උඩරට හමුදා දරුණු පරාජයකට ලක්වූ අතර, උඩරට හමුදාවේ කිහිප දෙනෙකු හැරෙන්නට අන් සියලු දෙනාම ජීවිතක්ෂයට පත්විය. 

තුවාල වී තම හමුදාවෙන් වෙන් වූ එදිරිමාන්න සූරිය බංඩාර රයිගම් කෝරළයේ දින කිහිපයක් ඇවිදිමින් ගතකල අතර, නිරාහාරව සිටි ඔහු මහලු සිංහල කාන්තාවකගේ ගෙදරට ගොස් කෑමට යමක් ඉල්ලා සිටියේය. පෘතුගීසීන් මොහුව අල්ලා දුන් කෙනෙකුට විශාල මුදලක් ලබා දෙන බවට ප්‍රසිද්ධ කර ඇති බව දැන සිටි මෙම කාන්තාව මොහුට කෙසෙල් හැලියක් තම්බා දී නිවසේ නිදා ගැනිමට සලස්වා කළුතර කොටුවට ගොස් සමරකෝන් මුදලිට මේ පිළිබදව සැලකර සිටියේය. 

මේ කාන්තාව ගෙන් ආරංචිය පිළිගැනීමට නොහැකි තරම් සුභ ආරංචියක් වූ නිසා, සමරකෝන් මුදලි එය බොරු ආරංචියක් යැයි මුලින් සිතුවේය. එහෙත් කාන්තාවගේ බලවත් ඇවිටිල්ල නිසා සමරකෝන් මුදලිගේ මස්සිනා වූ දොන් හෙන්රික් කුඩා හමුදාවක් සමග ආරංචිය පරීක්ෂා කිරීමට යවන ලදි. දොන් හෙන්රික් නිවසට පැමිණ නිදා සිටි එදිරිමාන්න සූරිය බංඩාර අත්අඩංගුවට ගත් අතර, සතුරකු වුවද මොහු මහත් ගෞරව හරසරින් යුක්තව කළුතර කොටුවට ගෙන එන ලදි. 

එදිරිමාන්න සූරිය බංඩාරගේ තුවාල වලට බෙහෙත් කර කළුතර ගංගාතිලක විහාරය කඩා පෘතුගීසීන් එහි ඉඳිකර තිබූ පෘතුගීසී කොටුවේදී ජෙනරාල්වරයාට භාර දුන් අතර, එහිදී ඔහු සිරකරුවෙකු බවට පත්කර, විශාල දම්වැල් වලින් ගැටගසා කොළඹට ගෙන යන ලදි. 
එදිරිමාන්න සූරිය බංඩාර රැගෙන යාත්‍රා කිහිපයකින් කළුතර කොටුව වෙත සමරකෝන් මුදලි පැමිණෙන විට එම කොටුවේ සිටි ඩී.අසවේදු සෙන්පතිවරයා බෝට්ටු අසලට ගියේය. දස දහස් ගණන් ජනයා බලා සිටියදී සමරකෝන් මුදලි ඔහුගේ කරට ගෙන තවත් සෙනෙවියන් දෙදෙනෙකු සමග ගං ඉවුරට ඔසවාගෙන ආවේය. එදිරිල්ලේ රාළ අල්ලා ගැනීම පෘතුගීසීන් හට එතරම්ම ජයග්‍රහණයක් විය. 

මොහු විසින් සඟවා ඇති වස්තුව ගැන අසමින් දවස් හතලිහක් පමණ කාලයක් මොහුට වද දී එම තොරතුරු ලබා ගැනිමට නොහැකි වූ හෙයින්, ඔහුට මරණ දඩුවම නියම කරන ලදි. එදිරිමාන්න සූරිය බංඩාරගේ ශරීරය කොටස් හතරකට කපා ප්‍රසිද්ධ ස්ථානවල එල්ලන ලදි. ඔහුගේ හිස අළුත්ගම දින කිහිපයක් එල්ලා තබන ලදි.

 පෘතුගීසීන් මෙරටින් නෙරපා දැමීමට ජාතික සටනක් මෙහෙය වූ දොන් ඩොමිනිගෝ කොරේයා හෙවත්, එදිරිල්ලේ රාළ හෙවත්, එදිරිමාන්න සූරිය බංඩාර රජු මෙලෙස තම දේශය වෙනුවෙන් ජීවිතය පූජා කලේය. 

සමරකෝන් මුදලිට කුමක් වූයේද? එදිරිල්ලේ රාළ මිය ගිය පසු, (1604 – 1605) වර්ෂවලදී පෘතුගීසීන් පාලන ප්‍රදේශවල කාන්ගර ආරච්චි, ඇන්ටෝනියෝ බැරටෝ සහ තවත් නායකයන් කිහිපදෙනෙකු, විමලධර්මසූරිය රජුගේ උදව් ඇතිව පෘතුගීසීන්ට විරුද්ධව කැරලි ගැසූ හෙයින්, පෘතුගීසී කඳවුරු කිහිපයක්ම කන්ද උඩරට රජුට යටත් විය. පනික්කි නැමැති නායකයෙකු යටතේ කැරලි කණ්ඩායමක් මාතර පෘතුගීසී දිසාවට පහර දී අල්ලා ගත් හෙයින්, මාතර දිසාව පෘතුගීසී යටතේ  පාලනය කල සමරකෝන් මුදලි උදව් ඉල්ලා පෘතුගීසී ජෙනරාල්වරයා වෙත පණිවිඩ යැවීය. 

මෙම සටන් වලදී සමරකෝන් මුදලි ක්‍රියාකල ආකාරයෙන් ඔහුගේ පෘතුගීසීනට ඇති පක්ෂපාතිත්වය පිළිබඳව පෘතුගීසී ජෙනරාල්වරයා වූ අසවේදු සැක පහල කලේය. එම නිසා සමරකෝන් මුදලි දම්වැල් වලින් විලංගු ගසා සිරකරුවෙකු ලෙස ගෝව නගරය වෙත පිටත් කර හරින ලදි. එහෙත් සමරකෝන් මුදලි පිළිබඳව හොදින් දැන සිටි ගෝවේහි පෘතුගීසී නිලධාරිහු සමරකෝන් මුදලි ගෝවේ කපිතාන්වරයා ලෙස පත් කලහ. මෙම නිළය පෘතුගීසී රාජ්‍යයක බලයෙන් වයිස්රෝයිවරයාට පමණක් දෙවැනි වූ අතර, කපිතාන්වරයා රාජ්‍ය පාලනයෙහි උත්තරීතර මංඩලයේද සාමාජිකයෙකු විය. 

මින්පසු සමරකෝන් මුදලි ආපසු කිසි දිනක තම මව් බිමට නොපැමිණි 
අතර, ආසියාවේ පෘතුගීසී පාලන ප්‍රදේශයන්හි නොයෙකුත් නිලතල දරමින් වාසය කලේය. ඔහු මිය යන විට පෘතුගීසී වෙළඳ නගරයක් වූ ඉරානයේ  ඔමුස් (Homuz) හි කපිතාන්වරයා ලෙස කටයුතු කලේය. 

    

2 comments:

  1. එදිරිමාන්න කොරෙයා පවුල
    https://en.wikipedia.org/wiki/Edirimanne_Corea_Family_Union

    ලංකාව ආක්‍රමණය කල යුරෝපීය ජාතීන්ගෙන් අඩුවෙන්ම වර්ණ බේදය සැලකුවේ පෘතුගීසින්. ඔවුන්ට වැදගත් වුනේ ජාතියට වඩා කතෝලික වීම හා ඔවුන්ට පක්ශපාතී වීමයි. සමරකෝන් මුදලි වගේ ස්වදේශික ජන්මයක් ඇති නිලධාරීන් යටතේ පෘතුගීසි ජාතිකයොත් සේවය කලා. ලන්දේසි හා ඉන්ග්‍රීසි කාලෙ එහෙම වුනේ නෑ.

    සමහර අය කියනවා ඒ පෘතුගීසින් දකුණු යුරෝපීයයන් නිසා ඉන්ග්‍රීසි ලන්දේසින්ට වඩා ස්වදේශිකයන්ට කිට්ටු වුනා කියලා. උතුරු යුරෝපීයයන් හැමතිස්සෙම පරතරයක් තියා ගත්තා, පෘතුගීසින්ට ඕනෑවුනේ පෘතුගීසි/සිංහල මිශ්‍ර කතෝලික ජාතියක් ඇති කරන්න කියලා.
    කෙසේ වෙතත් පෘතුගීසින් ආ 1500 ගණන් වල ඔවුන් මධ්‍යතන යුගයේ. පරණ විදිහට මුහුණට මුහුණලා ඇතිව සටන් කල කාලයේ. ලන්දේසි පසු යුගයේ හා ඉන්ග්‍රීසි යුගයේ ඔවුන් හා ස්වදේශිකයන් අතර වෙනස්කම් පෘතුගීසිකාලයට වඩා වැඩියි

    ReplyDelete
  2. කියෙව්වත් සතුටුයි. එදිරිල්ලේ රාල ගැන ඉවර උනාට මේ සිරිස් එක ඉවර වෙන්නේ නෑ නේද?

    ReplyDelete

අන්දමන් දූපත් සහ සනත් ජයසූරිය.

 මා ශ්‍රී ලංකා නාවික නෞකා ශක්ති නැවේ අණදෙන නිලධාරියාව සිටියදී ඉන්දියාව 1997 වර්ෂයේ බෙංගාල බොක්කේ තදාසන්න රාජ්‍යයන් ගේ නාවික හමු...