Wednesday, November 23, 2016

අසාධාරණයන්ට ඇස් වසා සාධාරණයන් අසාධාරණයන් බවට පත් කිරීම; guns versus butter












ලංකාවේ සමහර දේශපාලඥයන් සාධාරණය සහ අසාධාරණය වෙන් කර ගැනීම විශාල අවුලක් කරගෙන ඇති බව පෙනේ. ඔවුන් සාධාරණය සහ අසාධාරණය දකින්නේ පොදු ජනතාවගේ පැත්තෙන් නොවේ. තමන් කැමති කණ්ඩායමක ලබැඳියාවන්ගේ අවශ්‍යතාවයන් අනුකූලවය. 

දේශපාලන පක්ෂයකට ජනතාව ඡන්දය දී පාර්ලිමේන්තුවට යවන්නේ ජනතාවගේ ඕනෑ එපාකම් ජනතාවට වඩාත්ම වාසිදායක පරිදි කළමනාකරණය කිරීමටය. ජනතාව කෙලින්ම හෝ වක්‍රාකාරයෙන් බඳු ගෙවා ලබා දෙන මුදල් ජනතාවට වඩාත්ම ප්‍රතිලාභ ඇතිවන පරිදි වියදම් කිරීමටය. දේශපාලන පක්ෂ තමන්ගේ ඊනියා ජාති මාමකත්වය අනුව දිනූ දේශය, ජාතිය, මව් රටසහ මාතෘ භූමිය යන නොයෙක් අලංකාර සහ ලොමු ඩැහැ ගැන්වෙන වචන වලින් හඳුන්වන්නේ මේ පොදු ජනයාය. රටේ කුදු මහත් දුප්පත් පොහොසත් සියලු දෙනාම අයිති වන්නේ මෛ් ප්‍රධාන කුලකයටය. එසේ නැතුව ජාතිය නැමැති කුලකයේ කුඩා උප කුලක වන රියදුරන්, ගුරුවරු, ගොවියන් හෝ වෛද්‍යවරුන් වැනි කුඩා උප කුලකවල අවශ්‍යතාවයන් ආරක්ෂා කර ගැනීමට නොවේ. 

නමුත් අපගේ රටේ දේශපාලන පක්ෂ; බලයට පැමිණි පක්ෂය පමණක් නොව සියලුම පක්ෂ වලට මෙය පොදුය. ඡන්දයෙන් පසු හැසිරෙන්නේ පොදු ජනයාගේ අවශ්‍යතාවයන් ඔවුනට කිසිසේත්ම දැනෙන්නේවත් නැති ආකාරයටය. 

මෙයට හොදම උදාහරණය මම ඊයේ ප්‍රවෘත්ති බලද්දී පාර්ලිමේන්තුවේ කතා කරන මන්ත්‍රී වරුන්ගෙන් දැක්කෙමි. ඒ පුද්ගලික වෛද්‍ය විද්‍යාල සම්බන්ධවය. මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ම පුද්ගලික වෛද්‍ය විද්‍යාල නොතිබිය යුතු යැයි එහිදී කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කලහ. නමුත් එහෙත් ඇත්තෙන්ම තර්කානුකූල සිතන කෙනෙකුට පැහැදිලිව පෙනෙන්නේ රටෙහි පොදු ජනතාවට ප්‍රයෝජනයක් වීමට නම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තව තවත් ඇතිකල යුතු බවයි. එසේ ඇතිකල යුත්තේ කුමක් නිසාදැයි අප අපගේ දේශපාලන මති මතාන්තර, යල් පැනගිය පන්තිවාදී හැඟීම් සහ මන්ද මානසිකත්වය පැත්තකින් තබා බැලුවහොත් පහත ආකාරයට පෙල ගැසෙනු ඇත. 



  1. ලෝකයේ දියුණු රටවල් වල බහුතරයක් විශ්ව විද්‍යාල රජයේ ඒවා නොවේ. (රජයට විශ්ව විද්‍යාල වලට වියදම් කිරීම හැර පොදු ජනයා වෙනුවෙන් කරන්නට බොහෝ දෑ තිබේ.)
  2. ලෝකයේ තිබෙන හොඳම විශ්ව විද්‍යාල; ඕනෑම ක්ෂේත්‍රයකින් බැලූ විට, රජය නොවන විශ්ව විද්‍යාලය.
  3. ලංකාවේ මිලියන ගණනක් තරුණයෝ අ.පො.ස. සාමාන්‍ය පෙල සමත්ව හෝ අසමත්ව හොඳ රැකියාවක් ලබා ගැනීමට පුහුණුවක් නොමැතිව ත්‍රීවීලර් රැකියාව වැනි රැකියා කරති. (රජය තවත් විශ්ව විද්‍යාල විවෘත කරනවාට වඩා පොදු ජනතාවගේ මේ උප කුලකයට  ප්‍රමුඛතාවය දිය යුතු නේද? 
  4. ලංකාවේ බොහෝ මධ්‍යම පන්තියේ ශිෂ්‍යයෝ බිලියන ගණනක් විදේශ මුදල් වියදම් කර පිටරට පුද්ගලික වෛද්‍යවල ඉගෙන ගනිති. (මේවාට විරුද්ධ වන පිරිසට ලංකාවේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට වඩා පිටඑට පුද්ගලික වෛද්‍ය විද්‍යාල ගැන මේ තරම් විශ්වාසයක් ඇති වී ඇත්තේ කෙසේද?)
  5. මෙලෙස දාපු පලවෙනි විශ්ව විද්‍යාලයම විනාශ කරන්නට හදන්නේ නැවත මෙවැනි විශ්ව විද්‍යාල ඇති කිරීම වැලැක්වීමට බව ඔවුනට පෙනෙන්නේ නැද්ද? 
  6. මෙලෙස පුද්ගලික වෛද්‍ය විද්‍යාල බොහෝ ගණනක් ඇති වුවහොත් ඉන්දියාව මැදපෙරදිග සහ චීනය වැනි රට වලින් බොහෝ සිසුන් මෙහි අධ්‍යාපනයට පැමිණ අපට දැනුමේ කේන්ද්‍රස්ථානයක් වන්නට හැකි බව ඔවුනට පෙනෙන්නේ නැද්ද? 
  7. ලංකාව ජනගහන ප්‍රතිශතයක් ලෙසට වෛද්‍යවරු ඉතා අඩු රටකි. ජනතාවගේ මුදල් වියදම් නොකර රටේ වෛද්‍යවරු වැඩිකර ගන්නට හැකි වන්නේ නම් එයට විරුද්ධ වීම ජාති ද්‍රෝහී ක්‍රියාවක් නොවන්නේ කෙසේද? 

(මේ සෑම කරුණක් ගැනම විචාරය කරන විට අප සිත්හි තබාගත යුතු මූලික කරුණු දෙකක් තිබේ. ඒවා නම් 


  • ඕනෑම රටක කොතරම් පොහොසත් රටක් වුවද සම්පත් තිබෙන්නේ සීමිත ප්‍රමාණයකි. 
  • ජාතියක් එක් අවශ්‍යතාවයකට වැඩියෙන් වියදම් කලහොත් ඒ වැඩි වූ වියදම තවත් වියදම් කලයුතු අවශ්‍යතාවයකින් අඩුකල යුතුය. උදා:- අධ්‍යාපනයට යන වියදම වැඩි කලහොත් ආරක්ෂාව, සෞඛ්‍යය වැනි අවශ්‍යතාවයකට කරන වියදම් වලින් අඩුකල යුතුය.)

මෙලෙස පුද්ගලික වෛද්‍ය විද්‍යාල ඇතිකල යුත්තේ ඇයිදැයි පැහැදිලි කරන්නට කරුණු සිය ගණනක් තිබේ. එය නොකල යුතු යැයි කියන්නට එකම හේතුව ඊර්ෂියාව සහ වරද්දා ගත් යල් පැන ගිය දේශපාලන න්‍යායන් පටලවා ගැනීම පමණක් බව මට හැගේ.
for more details 

http://lakshmanillangakoon.blogspot.com/2016/08/blog-post_24.html

   

8 comments:

  1. "ලෝකයේ දියුණු රටවල් වල බහුතරයක් විශ්ව විද්‍යාල රජයේ ඒවා නොවේ. ලෝකයේ තිබෙන හොඳම විශ්ව විද්‍යාල; ඕනෑම ක්ෂේත්‍රයකින් බැලූ විට, රජය නොවන විශ්ව විද්‍යාලය."

    ඇමරිකා එක්සත් ජනපදය සම්බන්ධයෙන් නම් ඇත්තකි. යුරෝපය ( ඇතුලුව ), ඕස්ට්‍රේලියාව, ජපානය, හොංකොං, සිංගප්පූරුව ආදිය සම්බන්ධයෙන්නම් ඇත්ත නොවේ. එසේම මේ " හොඳම විශ්ව විද්‍යාල " මූලික අරමුන මූලික උපාධි ලබාදීම නොවේ.

    එසේම මේ පුද්ගලික වි.වි. (ලාභ උදෙසා නොවන වි.වි.) රජයේ නොවූ පලියට ඒවා කාටවත් අයිති (ලාභ උදෙසා වන වි.වි. ) වෙළඳ ව්‍යාපාර නොවේ. ලංකාවේ ඇති "පුද්ගලික" වි.වි. මාදිලියේ අධ්‍යාපන වෙළඳ ව්‍යාපාරද ලෝකයේ ඕනෑ තරම් ඇති අතර ඒවා කිසිවකටත් කිසිම ආකාරයේ පිලිගත් රෑන්කින් ලැබීද නැත ( මාස කිසිපයකට පෙර මේ ගැන මම අවසන් වරට සොයා බැලූ කාලය වනවිට ).

    හොඳ තත්වයේ පුද්ගලික වි.වි. (ලාභ උදෙසා වන හො නොවන ) ඇති කිරීම හෝ (නිසි ප්‍රමිතියට ) පවත්වා ගෙන යාම ලෙහෙසි දෙයක් නොවන අතර ලංකාවේ ඇති කිසිම පු.වි.වි. මඟින් තමන්ගේ වන උපාධි ලබා නොදෙන්නේද මේ නිසා වෙන්නට හැක.

    පුද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කිරීම මීටත් වඩා බොහෝ අමාරු වන අතර නිසි ප්‍රමිතිය බැලුවේ නැතිනම් ඉන්දියාවේ වැනි තත්වයක් ඇති විය හැක ( ලංකාවට සමාන නිලධාරීන් හා දේශපාලකයන් සිටින ලංකාව ඉන්දියාවේ තත්වයට වැටීම අමුතු දෙයක් නොවේ. ).
    එසේම ඔබ සිතනා ආකාරයට "පුද්ගලික වෛද්‍ය විද්‍යාල" බොහෝ ගනනක් හද්සියේ ඇති කරන්නට හැකියාවක් නැති අතර එකක් හරිහැටි පිහිටවන්නත් අඩුමගනනේ අවුරුදු 10-15 ගතවනු ඇත.

    දැන් පාර්ලිමේන්තු කොමිටියක් මඟිනුත් සයිටමය (මා දන්නා තරමට ලංකාවේ ඇති වූ හෝ ඇති කරන්න ගිය හත්වන රජයේ නොවන වෛද්‍ය විද්‍යාලය ) රජයට හේත්තු කර යුතුයැයි නිර්දේශ කර ඇත්තේද මේ පැන නැගී ඇති ප්‍රමිති ගැටලු නිසාවෙනි. මේ ගැටළු දැන් 2011 සිට අතර ඒවාට විසඳුම් ලබා දීම ඒ ව්‍යාපාරය අයිතිකරුගේ වගකීම මිස රජයේ වගකීමක් නොවේ. හිමිකරු ලබා දුන් ප්‍රතිකර්ම සාර්ථක ඒවා නොවේ.

    කෙසේ නමුත් බොහෝ දුරට මෙය රජය සමඟ හවුල් ව්‍යාපාරයක් බවට පත්වන්නට ලොකු ඉඩක් තිබේ. ඉන්පසු නියමිත ගනන ගෙවිය හැකි අයවලුන්ට යම් සෙතක් සැලසෙන අතරම සෑහෙන තරමක් වෛද්‍යවරු මෙවැනි වි.වි. තිබීම ගැන පසුකාලයකදී හෝ බොහෝ සතුටු වනු ඇත (තමන්ගේ දරුවන් යැවිය හැකි නිසා ).

    එසේම මෙවැනි සංකීරන කාරනාවක් ගැන කතා කිරීමේදී වි.වි. වර්ග, රෑන්කින් ක්‍රම, අධ්‍යාපනය ලබාන ක්‍රම ආදී මූලික කරුනු ගැන මීට වඩා පසුබිම් අධ්‍යයනයක් කර කතා කරන්නේනම් සංවාදය මීට වඩා ඵලදායී වනු ඇත.

    ලාභ උදෙසා නොවන පුද්ගලික වි.වි. - https://en.wikipedia.org/wiki/Private_university

    ලාභ උදෙසා වන පුද්ගලික වි.වි. - https://en.wikipedia.org/wiki/For-profit_higher_education_in_the_United_States

    https://en.wikipedia.org/wiki/Public_university

    https://en.wikipedia.org/wiki/National_university

    https://en.wikipedia.org/wiki/Carnegie_Classification_of_Institutions_of_Higher_Education#Basic_classification

    https://www.washingtonpost.com/news/worldviews/wp/2016/04/21/how-bad-are-most-of-indias-medical-schools-very-according-to-new-reports/

    http://www.bmj.com/content/350/bmj.h237/rr-3

    http://www.reuters.com/article/us-india-medicine-education-specialrepor-idUSKBN0OW1NM20150617


    ReplyDelete
    Replies
    1. ඔබ කියන අනෙක් රටවල රජයේ විශ්ව විද්‍යාල තිබුනද ඒවායේ ඉගෙන ගැනීමට ගෙවිය යුතුය. බහුතරයක් ශිෂ්‍යයන් එසේ ගෙවන්නේ බැංකු වලින් ණය අරගෙනය. එම විශ්ව විද්‍යාල නඩත්තු කරන්නේ දුප්පත් ජනතාවගේ මුදලින් නොවේ.
      මා මෙතන පුද්ගලික යනුවෙන් කියන්නේ රජය නොවන විශ්ව විද්‍යාලයන්ය. දුප්පත් අහිංසක ජනතාවගේ මුදලින් යැපෙන විශ්ව විද්‍යාල නොවේ.
      දැන් අපේ ශිෂයයන් දහස් ගණනක් බංගලාදේශයේ, නේපාලයේ, ජෝර්ජියාවේ සහ චීනය වැනි රටවල වෛද්‍ය විද්‍යාව හැදෑරීමට මුදල් ගෙවා යන්නේ රජයේ විද්‍යාලවලටද?
      රජය නොවන වෛද්‍ය විද්‍යාල ඇති කරන්නට අපහසු යැයි ඍණාත්මකව සිතන්නේ නැතිව ඒවා ඇති කිරීමට හැකි තරම් ධෛර්යමත් කලයුතු නේද?
      කෝටි ගණන් මුදල් වැයකර මෙතරම් ශිෂ්‍යයන් පිටරට අධ්‍යාපනයට යන එක වලකා පිටරට ශිෂ්‍යයන් මේ සදහා මෙරටට ගෙන්වීමට හැකියාව තිබියදී කුඩා කණ්ඩායම්වල අවශ්‍යතාවයන් නිසා; වෘතික හෝ දේශපාලනමය අවශ්‍යතාවයන් මත ඒවා කඩා කප්පල් කිරීම ඉතාමත් අසාධාරණ යැයි මගේ හැඟීම.ඔබ සඳහන් කර ඇති පරිදි මේ සම්බන්ධව මම කලක සිට පසුබිම් අධ්‍යයනයක් කර ඇත්තෙමි.
      නමුත් ඒ සියල්ල මෙහි ලියන්නට ගියොත් එම ලිපිය අඩු තරමින් පිටු පනහක්වත් වනු ඇත. කෙටියෙන් ලියන්නට උත්සාහ කලේ ඒ නිසාය.

      Delete
    2. මේ රටවලත් සියලුම වි.වි. වලට රජයෙන් යම් මුදලක් ලැබෙනවා. public, national university වලට රජයෙන් කෙලින්ම මුදල් ලැබෙන අතරම private university වලට පවා පර්යේෂන සඳහා මුදල් ලැබෙනවා. පර්යේෂන සඳහා ලැබෙන මුදලින් කෙලින්ම නැති උනත් වක්‍රාකාරයෙන් සිසුන්ට සෙත සැලසෙනවා.

      උදාහරන ලෙස එංගලන්තයේ වෛද්‍ය උපාධි වලට යන වියදම රජය විසින් සහනාධාර මඟින් අඩු කර තිබෙනවා. එසේ නැතිනම් එයින් බිහි වන වෛද්‍යවරුන්ට එරට රැකියා කර ලැබෙන සාපේක්ෂ ලෙස අඩු පඩියෙන් ජීවත්වීම අමාරු නිසා.

      ඒ නිසා මම හිතන හැටියට මහජනතාවට අඩුම වියදමක් යන්නේ ලාභ උදෙසා වන වි.වි. (for-profit) වලින්. නමුත් ගැටළුව මේ වර්ගයේ වි.වි. කොතරම් ඇති කලත් යම් මුදලක් හොයා ගැනීම මිස තිරසාර සංවර්ධනයක් ලභා සංවර්ධිත තත්වය ලැබූ රටක් නැති වීම.

      එසේම මම දන්නා තරමට ලංකාවෙ සිසුන්, රජයේ හා ලාභ උදෙසා වන පුද්ගලික වි.වි. යන දෙකටම යනවා. ලංකාවේ පවා රජයේ වි.වි. වල වෛද්‍ය පීඨ වලට විදේශ සිසුන් එනවා මුදල් ගෙවා ඉගෙන ගන්න.

      මම හිතන්නේ දැනට රජයෙන් පු.වි.වි. පිහිටුවන්නන්ට සෑහෙන ආධාර ලබා දෙනවා. නමුත් එසේ ආධාර ලබා දෙනවා කියා රජයේ සම්පත් ලබා දිය යුතු නෑ.

      පුද්ගලික වෛද්‍ය විද්‍යාලයකට තිබෙන ලොකුම ගැටලුව එයට අවශ්‍ය රෝගීන් ගෙන්වා ගැනීම. මොකද ලංකාවේ මුදල් වියදම්කර පුද්ගලික රෝහල් වලට යන රෝගීන්, වෛද්‍ය සිසුන්ගෙන් හිරිහැර ( එන්නත් දීම, සේලයින් ගැසීම, කුඩා තුවාල මැසීම වැනි රෝගීන්ට වේදනා දෙන බොහෝ දේ රෝගීන්ට කර තමා පුහුනු වෙන්නේ. ඒ නැතත් නිරන්තරයෙන් පරීක්ෂාවට ලක්වීම කරදරයක් ) වලට ලක් වෙන්න කැමති නැහැ.

      සයිටමයටත් තිබෙන ලොකුම ගැටලුව එයයි. එයට පිලිතුර ලෙස තමා රජයේ රෝහල් මුදලට ලබා ගන්නා කතා ඇවිත් තියෙන්නේ. නමුත් කවුරුන් හෝ පුද්ගලික ව්‍යාපාරිකයකුගේ ලාභය වෙනුවෙන් රජයේ රෝහලක සිටින රෝගීන් හිරිහැරයට පත් කිරීම මමනම් අනුමත කරන්නේ නෑ.

      එසේම සයිටමය පටන් ගත් දා පටන් (එහි නම නිසි පිලිවෙතින් තොරව වෙනස් කිරීමේ ) සිට වැරදි තොරතුරු සහිත පුවත්පත් දැන්වීම් දැමීම දක්වා විවිදාකාරයේ නීතිවිරෝදී දේ කර තිබෙනවා ( ඔබ සමහරවිට නොදන්නවා ඇති එහි සමහර සිසුන්, සයිටමයට විරුද්ධව වන්දි නඩු දැමූ බව ). අපේ රජය හා බලධාරීනුත් මේ සියලු වැරදි වලට සමාව දී ඇත්තේ හරියට බෝධිසත්වයන් වගේ. මේ ගැන සන්ඩේ ලීඩර් පුවත්පතේ වසර ගනනක් සිට ලිපි පල උනා . අනිත් බොහෝ පුවත්පත් හා මාධ්‍ය වලට, සයිටමය විසින් නඩු දමන බවට තර්ජන කර එයට විරුද්ධ ලිපි පලවීම නවත්වා තිබෙනවා ( මෙය මගේ නිරීක්ෂනයක් ).

      තව කල මහා උදව්වක් තමා නේවිල් ප්‍රනාන්දුට රු. මි.2000 රජයේ බැංකු වලින් නයක් ලබා ගන්නට උදව් කිරීම. රජයේම නීති අනුව අවු. 70 වැඩි අයට සාමාන්‍යෙන් මෙවැනි ගනන් නය දෙන්නේ නෑ.

      එසේම සයිටමය සම්බන්ධ ලිපි ලියූ අයට බුද්ධි අංශ යොදවා වක්‍රාකාරයෙන් තර්ජනය කිරීම, සයිටමය ප්‍රමිතිය ගැටලුවට SLMC සභාපතිනියට එල්ලා අස් වන්නට බලපෑම් කිරීම, SLMC නිලධාරියෙක්ට නාදුනන අය විසින් ගුටි බැට දීම ආදී බොහෝ තක්කඩි ක්‍රියා පසු ගිය කාලයේදී සිදු උනා. මටනම් මෙවැනි දේ විදේශ විනිමය ඉපැයීම කියන දේ මත සාධාරනීකරනය කිරීම අපහසුයි.

      තවත් මෙවැනි ආයතන මේ ආකාරයෙන් පිහිටුවීම කලොත් එයින් ඇති වන්නේ දැන් ඉන්දියාවෙ ඇති වී ඇති තත්වයක් (ඉන්දියාවේ තත්වයටත් මුල, ඉන්දියාවේ තිබූ වෛද්‍ය හිඟය. මේ නිසා ඉන්දියන් රජය වෛද්‍ය විද්‍යාල පිහිටුවන්න තිබූ සීමා අඩු කලා. මේ නිසා ව්‍යාපාරිකයන් හා දේශපාලකයන් ලාභ උදෙසා වෛද්‍ය විද්‍යාල පිහිටෙව්වා. ඒවා ප්‍රමිතිය රකින්න බැරිවිට වෛද්‍ය සභාවට පගාව දෙන තත්වයට වැටුනා ). එහි අවසාන ප්‍රතිපලය වෛද්‍ය ප්‍රමිතිය තවදුරටත් පහලයාම.

      එසේම ලංකාවේ ජාතික වි.වි. වල මූලික උපාධි නොමිලේ දීම මහා වැරද්දක් හැටියටයි මම දකින්නේ. මේ නිසා තමා වැඩකට නැති උපාධි පාඨමාල බොහෝ තියෙන්නේ. උපාධි ලැබුවහම ඒ සුදුසුකමට රැකියා සොයා ගැනීම කල නොහැකිනම් ඒ උපාධිපාඨමාලා පවත්වාගෙනයාම ගැටලුවක්. මගේ අදහසනම්, මේ ගැන පියවරක් ගැනීමෙන් දුප්පත් අහිංසක ජනතාවගේ මුදල් නාස්තිය අඩු කල හැකි බව.

      Delete
    3. එකඟයි.ඔබ ගේ මෙම කොමෙන්ටු ගස්ලබ්බා විසින් සැකසූ නෙවිල් ෆර්නෑණ්ඩු කෝලම ලිපියට වඩා බරසාරයි සහ විධිමත්.ඔබ බ්ලොග් එකක් ලියනවාද?

      Delete
    4. @ගස් ලබ්බ:

      අපොයි නැත. නමුත් මේ යන හැටියට ලියන්න වෙන්න පුලුවන්. ;)

      ඔබේ ලිපිය නිසා මමත් මේකෙ වැඩ වෙන හැටි තරමක් දැන ගත්තා.

      Delete
    5. @kh akah
      //නමුත් මේ යන හැටියට ලියන්න වෙන්න පුලුවන්. ;)//
      බොහොම සංතෝශයි.
      සිංහල බ්ලොග් අවකාශයට ඔබ එක්වන දිනය ඉතා ඉක්මන් වේවා..!!

      Delete
  2. I am not trying to contradict you, but medical faculties in most of the first world countries have reasonably high entry requirements. For example to get into a medical faculty in UK ,a student should usually get 3 A PASSES in his or her 6th form exams.There are ways of lateral entry but they are not very popular.Anyone should pay for their university education here.Usually it is about 9000 GBP per annum irrespective of the degree programme .Even though the universities aren't owned by the government they are not owned by businessman too, they are usually run by boards as non profit making bodies.Most of the professional university courses are mooted by the respective professional body.For example medical faculties are very closely monitored by the GMC .I am not in any way against of paying for higher education but all the processes should be transparent which we can't expect in srilanka.I have lot of European coleagues and according to them even in countries like Portugal and germany it is difficult to get into a medical faculty.Other point is most of the doctors coming to UK from countries like India ,pakistan ,bangladesh say it is very difficult to find jobs in their countries.So one has to think about that aspect too .Just Google and check the number of medical faculties countries like australia are having . I know you write with some responsibility so I am not trying to be little you just some thoughts only

    Cheers

    ReplyDelete
  3. yes agree, my argument is that
    1. education should be free, it should not be a monopoly of government
    2. it has been proved time and again that states are very inefficient in managing business
    3. the resources are limited
    4. Public funds shouldn't be spent on investments that do not generate adequate returns to public
    5.if a student can afford she should be able to attempt to become a professorial in any chosen field
    6. why is everybody demanding the present private medical college closed , why dont they ask that to be made not for profit, because these so called protesters do not want non state PMCs ,
    7. why arnt they opposing srilankan students going to PMSCs abroad.?

    ReplyDelete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...