Monday, November 7, 2016

හොරබඩු ජාවාරමට භූගෝලීය හා ආර්ථික පිහිටීමකින් ප්‍රයෝජන ගැනීම.







1982 මම යාපනය අර්ධද්වීපයේ වයඹ කෙලවරට වන්නට පිහිටා ඇති කරෙයිනගර් දූපතේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා එළාර නම් වූ නාවික කඳවුරේ (තම රටට පැමිණ රට අල්ලාගෙන පසුව යුද්ධයකින් පරාජය කල ආක්‍රමණිකයෙකුගේ නමින් පිහිටුවා ඇති ලෝකයේ ඇති එකම හමුදා කඳවුර වන්නට පුලුවන.) නිලධාරියෙකු ලෙස සේවය කලෙමි.

 මෙකල ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර හොර බඩු ජාවාරම අධික ලෙස සිදුවිය. මෙම ජාවාරම සිදුවූයේද අනෙකුත් ආර්ථික සබඳතා මෙන් ඉල්ලුම් සහ සැපයුම් න්‍යාය අනුවය. සාමාන්‍යයෙන් 1977 ජේ.ආර්.ජයවර්ධන රජය පැමිණ ශ්‍රී ලංකාවේ ආර්ථිකය විවෘත කරන තෙක් ඉන්දියාවේ සහ ලංකාවේ ආර්ථික එකම ආකාරයට තිබුණි. ඒ පිටත ලෝකයත් සමග සම්බන්ධතා සම්පූර්ණයෙන්ම වාගේ නවත්වා තමනට අවශ්‍ය දේ තමන්ම සාදා ගත යුතු යැයි සිතා සම්පූර්ණයෙන්ම රටේ සංවෘත ආර්ථිකයක් පවත්වා ගැනීමයි. අන්තර් ජාතික ආර්ථික තරඟයෙන් ඉවත් වී එක තැන පල්වෙන ආර්ථික දිවයින් තත්වයට අප රටවල් පත්වීම එහි ප්‍රතිපලය විය. 

1977 ශ්‍රී ලංකාවේ විවෘත ආර්ථිකයක් ඇතිකල පසුත් ඉන්දියාවේ මෙම දරදඬු ආර්ථික ප්‍රතිපත්තියම ඉදිරියට ගෙන ගිය අතර, මේ නිසා 80 ගණන් වන විට ශ්‍රී ලංකාවේ වෙළෙඳ පොලේ කැසට් ප්ලේයර් සහ වීඩියෝ ප්ලේයර් වැනි නොයෙකුත් ඉලෙක්ට්‍රොනික භාණ්ඩ සුලභ වූ අතර ඉන්දියාවේ මේවාට කළු කඩයේ බලවත් ඉල්ලුමක් තිබුනේ නීතියානුකූලව එවැනි දෑ ඉන්දියාවට ගෙන ඒමට නොහැකි වන ලෙස තද නීති ක්‍රියාත්මක වූ නිසාය. 

දැන් සැතපුම් 15 ක් මුහුදු තීරයක දෙපැත්තේ වෙළෙඳ පොල අති මහත් විභවයක් ඇති වී තිබේ. එක් පැත්තක අතිශය ඉල්ලුමක් සහිත හිඟ භාණ්ඩය, සැතපුම් 15 ක මුහුදු තීරයෙන් එහා නිදහසේ මිළදී ගන්නට හැකිය. මිළ වෙනස භාණ්ඩයේ වටිනාකම මෙන් 4/5 ගුනයක් වෙයි. හොර බඩු ජාවාරමකට ඇණවුම් කර සාදන ලද සන්නිවේශයක් මෙන් විය. 

ලංකාව විදුලි උපකරන සදහා ඉන්දියාවේ කොතරම් ප්‍රසිද්ධව සිටියේද යන්න පෙන්වීමට හොඳම උදාහරණයක් වරෙක අපට ඉන්දියාවේදී සිදු වූවා මට මතකය. අපි නිලධාරීන් දස දෙනෙකු පමණ වර්ෂයක පමණ තාක්ෂණික පුහුණුව සදහා ඉන්දියාවට ගොස් සිටියෙමු. මෙම වර්ෂයෙන් වැඩි කාලයක් අප ගතකලේ කේරලයේ කොචින් (කොච්චි) නගරයේය. අපි එහිදී පාවිච්චි කිරීමට පාඟන බයිසිකල් මිළට ගෙන රාත්‍රියේ ගමන් කිරීම සදහා බැටරි දෙකක් ඇතුලට දැමිය හැකි කුඩා ප්ලාස්ටික් කොටු හැඩය ඇති බයිසිකලයේ ඉදිරියට ක්ලිප් කල හැකි ටෝච් වර්ගයක් මිළදී ගත්තෙමු. මේවා එකල ඉන්දියවේ එතරම් ප්‍රචලිත නොවූ අතර, ඉන්දියාවේ නිෂ්පාදන වලට වඩා නවීන පෙනුමක් ගත්තේය. 

අප දෙදෙනෙකු කොචින්වල ටිකක් ඇතුලට ගමකට ගොස් තේ බීමට කඩයක් ලඟ නවත්වා සිටිද්දී, අප ශ්‍රී ලංකාවේ බව දැනගත් එතන සිටි පිරිස් සතුටු සාමීචියේ යෙදී සිටියදී, කෙනෙකු මේ විදුලි පන්දම් දැක මේවා ශ්‍රී ලංකාවේ සිට රැගෙන පැමිණියේ දැයි ඇසුවේය. අපි ඔව් කිවූ විට ඔහු ඒවා මිළදී ලන්නට කැමැත්ත පල කළේය. අපි කොචින් වලින් ගත් මුදල මෙන් දෙගුනයකට ඒවා ඔහුට විකුණා කලුවරේ හෙමින් හෙමින් කොචින් නගරයට බයිසිකල් පැද පහුවෙනිදා අලුත් විදුලි පන්දම් දෙකක් කොචින් නගරයෙන් මිළට ගත්තෙමු.   
මෙම හොර බඩු ජාවාරම බොහෝ විට සිදුවූයේ යාපනය අර්ධද්වීපයේ උතුරු පැත්තේ මැද හරියේ පිහිටි වැල්වැටිතුරෙයි ප්‍රදේශය හා අර්ධද්වීපයේ හොම්බේ දකුණු පැත්තේ මන්ඩතිවූ දූපත් ආශ්‍රිතවය. 

මෙයිනුත් හොර බඩු ජාවාරම තදින්ම සිදුවූයෙත් එසේ සම්බන්ධීකරණය වූයේත් වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් සමූහයකිනි. එම ප්‍රදේශයේ වෙරළ අයිනේ නිවෙස් බොහෝ ගණනක මුහුදෙන් බෝට්ටුවකට කෙලින්ම ඇතුලට පැමිණ, ගේට්ටුව වසාගත හැකි ආකාරයේ කුඩා තටාකාංගන තිබෙන බව මා එකල ඇසූ බව මතකය. යුද්ධයෙන් පසු ඇත්තෙන්ම නටබුන් වූ එවැනි ස්ථාන මම දැක්කෙමි. වෙරළෙන් මොබ්බට මීටර් 100/200 ක් කොරල්පර මත විහිදී තිබුණු කුඩා ඇලවල් වැනි ජල මාර්ග කෘතීමව වැඩිදියුණු කිරීමෙන් මෙවැනි පෞද්ගලික තටාකාංගන සාදා තිබිණ. 

මෙම හොර බඩු ජාවාරමේ ධාවකය වූයේ ලංකාවේ වෙළෙඳ පොලෙහි නිදහසේ මිළදී ගන්නට තිබුනු ජපානයෙන් ආනයනය කරන ලද කැසට් ප්ලේයර් සහ වීඩියෝ ප්ලේයර් වැනි වෙළෙඳ භාණ්ඩය. වෙඏඳම වූයේ  ලංකාවෙන් මිළදී ගත් මුදල මෙන් 5/6 ගුනයකට  ඒවා ඉන්දියාවේ ව්‍යාපාරිකයින්ට විකුණා ඉන්දියාවෙන් බීඩි කොළ හා සාරි මෙලෙස ලංකාවට රැගෙන ඒමය. ලංකාවට ගෙනෙන බඩු වලින්ද තුන් ගුනයක ලාභයක් ලැබුණා නම්, මෙලෙස දෙපැත්තෙන්ම ලැබෙන ලාභය බැලූ විට 15 ගුනයක් පමණ වන්නට පුලුවන. ඇත්තෙන්ම පුදුමය හොර බඩු ජාවාරම සිදුවීම නොව යාපනයේ වැසියන් සියලු දෙනා එය නොකිරිමයි.  

සාමාන්‍යයෙන් ලොකු ඩිංගියක මෙවැනි DVD ප්ලේයර් 50 ක් පමණද, කැසට් ප්ලේයර් 100/200 ක් පමණද අඩංගු වූ හෙයින් සෑම බෝට්ටුවකින්ම මිලියන් ගණනක් ලාභ ගන්නා ව්‍යාපාරයක් බවට මෙය පත්විය. 

මෙලෙස ඩිංගි යාත්‍රාවල මෙන් 4/5 ගුනයක ප්‍රමාණයක් වල්ලම් යාත්‍රාවල පැටවුන අතර, ඒවා මගින් හොර බඩු ජාවාරම් කෙරුනේ කලාතුරකිනි. සමහර විට ඒ ඒවායේ වේගය අඩු නිසාත්, රේඩාර් එකට පහසුවෙන් පෙනෙන නිසාත්, හදිසියකදී ලුහු බැන්දොත් වෙරළේ ඔවුනට යැමට හැකි ස්ථාන අඩු නිසාත්, අවධානම වැඩිවීම නිසාවෙන් වන්නට පුලුවන. 

මෙම ජාවාරම පිටුපස ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක් සිටියහ. වරක් මන්ඩතිවුහි එක් ව්‍යාපාරිකයෙකු තමන්ට නාවික හමුදාවෙන් අවහිර නැත්තේ නම්, මිට්ෂුබිසි රෝසා බස් රථයක් මුහුදෙන් ඉන්දියාවට ගෙන ගොස් විකුනන්නට හැකි බව ප්‍රසිද්ධියේ පවසා ඇති බවට අපට එකල ආරංචි විය. 
මෙම ව්‍යාපාරයේ අවධානම අඩුකර ගැනීමට කොටස් වෙළෙඳපොල වැනි ක්‍රමවේදයකුත් තිබුන බව එකල මට ඔත්තුකරුවන් ගෙන් අසන්නට ලැබුනු බව මතකය. මෙම ක්‍රමයේදී හොර බඩු බෝට්ටුවක් ඉන්දියාවට යවන්නට ලෑස්ති වන විට එහි මුලු වටිනාකම ගණන් සාදා එහි කොටස් සීයකින් එකක් මිළදී ගන්නට එම ප්‍රදේශයේ නොයෙකුත් පුද්ගලයන් වෙත ගොස් ආරාධනය කෙරේ. ඔහු එම කොටස රුපියල් 1000 කට මිළදී ගතහොත් යාත්‍රාව එම ගමන අවසන් කර නිරුපද්‍රිතව ආපසු පැමිණිය හොත් මුල් ආයෝජනය සදහා රුපියල් 5000 ක් පමණ ලැබේ. ලාභය 500% පමණ වෙයි. බෝට්ටුව අසුවුන හොත් ආයෝජනය වතුරේ යයි. මෙලෙස සාමූහික ආයෝජන හොර බඩු ජාවාරම් වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ නිතර සිදු වූ බව මා අසා ඇත. බෝට්ටුවක් නිරුපද්‍රිතව පැමිණීමේ සම්භාව්‍යතාවය 50% ක් වුවත්, බෝට්ටු දෙකකට සල්ලි දැම්ම එක අසුවුවත් ආයෝජකයන්ට පාඩුවක් වෙන්නේ නැත. 

මෙම හොර බඩු ජාවාරමෙන් නාවික හමුදා පුද්ගලයන්ටද වාසි නොතිබුනා නොවේ. හොර බඩු බෝට්ටුවක් අල්ලා ගත් විට එම අල්ලා ගත් පිරිසට විශාල ත්‍යාග මුදලක් අල්ලා ගත් හොර බඩු ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙසට රජයෙන් ලැබීම එයට හේතුවයි. එහෙත් එක්වරම ලැබුනේ නැත. අල්ලා ගත් හොර බඩු වෙන්දේසි කර අවසානයේ ඒ මුදල යාත්‍රාවේ සිටි නිලධාරීන්ට හා නැවියන්ට ප්‍රතිශතයක්  ලෙස ලැබුණි. මුළු වටිනාකමෙන් 10% ක පමණ මුදලක් යාත්‍රාවේ අණභාර නිලධාරියාට ලැබුණු හෙයින් සමහර විට එක් අල්ලා ගැනීමකින් තමාගේ මාසික වැටුප මෙන් 10 ගුනයකටත් වඩා වැඩියෙන් මෙවැනි ත්‍යාග මුදලක් ලැබීම එකල විරල නොවීය. 

5 comments:

  1. අල්ලා ගත්තහම ලාභයක් තියන නිසා කවදාවත් නාවික හමුදා පුද්ගලයන් ජාවාරම් කාරයන් එක්ක එකතු වෙන්න නැතුව ඇති

    ReplyDelete
  2. ඔව් ඒක නිසා වෙන්නති ඔය ත්‍යාග ක්‍රමය සුද්දො හදන්ට ඇත්තෙ

    ReplyDelete
  3. ලංකාවෙ පොලිසියට ඔික නැද්ද?

    ReplyDelete
  4. they too have that , not for apprehending illegal but situations that come under custom ordinance perhaps

    ReplyDelete

අන්දමන් දූපත් සහ සනත් ජයසූරිය.

 මා ශ්‍රී ලංකා නාවික නෞකා ශක්ති නැවේ අණදෙන නිලධාරියාව සිටියදී ඉන්දියාව 1997 වර්ෂයේ බෙංගාල බොක්කේ තදාසන්න රාජ්‍යයන් ගේ නාවික හමුදාවන්ග...