Friday, August 12, 2016

අලි මිනිස් ගැටුම සමනය කිරීමට නැවුම් මඟක්









පසුගිය දිනවල අලි මිනිස් ගැටුම පිළිබඳව අලුත් උනන්දුවක් ඇතිවී ඇති හෙයින් මා අවුරුද්දකට පමණ පෙර ලියු යෝජනාවක් නැවත උලුප්පා ලීමට අදහස් වුනි. 

ඊයේ  පෙරේදා මිදුලක් අතුගාමින් සිටි, වයස 42 ක් පමණ මවක් අලියෙකු විසින් ඝාතනය කරන ලද්දේය. ඇයගේ සැමියා සහ දරුවා පැන දුවගොස් බේරි ඇති අතර, ස්වාමිපුරුෂයා රූපවාහිනියෙන් සාකච්ඡා කරන විට කියා සිටියේ, ඔහුගේ හෝ ඔහුගේ බිරිඳගේ පියාද මීට පෙර අලියෙකු ගසා මරා දමන ලද බවය.
 මෙය ඉතාම ශෝක ජනක තත්වයකි.
මේ පිළිබඳ තවත් විස්තර දැන ගැනීමට, අවුරුද්දකට සාමාන්‍යයෙන් මෙලෙස අහිංසක ගොවියන් කී දෙනෙකු පමණ මිය යනවා දැයි බැලීමට අන්තර්ජාලයේ පරීක්ෂා කලෙමි. එහෙත් එය සොයා ගැනීම ඉතාමත් දුෂ්කර විය. නමුත් ඒ සම්බන්ධ හැම site එකකින්ම වාගේ මැරුණු අලි ගණන් නම් පහසුවෙන් දැන ගන්නට පුලුවන් විය. විදුලි සැර වැදීමෙන්, දුම්රියේ හැපීමෙන්, වලවල්වල වැටීමෙන් සහ කලාතුරකින් මිනිසුන් අතින් මිය ගිය අලියන් පිළිබඳ විස්තර සෑම ඒ හා සම්බන්ධ site  වලින් බලාගත හැකි විය. මෙම ප්‍රමාණය අවුරුද්දකට 200 ක් පමණ වෙයි.

එහෙත් අලි ප්‍රහාර වලින් මැරුණු දුප්පත් ගොවියන් ගණන සොයා ගැනීමට ඉතාමත් අපහසුයි. වල් අලියන් ලංකාවේ ඉන්නේ මිනිසුන් ගණනට වඩා බොහෝ අඩු බව සැබෑය. එක එක සංගණනයන්ගේ හැටියට ලංකාවේ වල් අලි ගණන 1500 සිට 6000 දක්වා ගණනක් වියහැක. මිනිස්සු ජනගහනය මිලියන් 22 ක් පමණ වෙයි. ඒ කියන්නේ එක අලියෙක් සදහා , වල් අලි සිටින්නේ 3000 ක් යැයි සිතුවොත්,  සිටින මිනිසුන් ගණන 73000 කි. එහෙම සංසන්දනාත්මකව බැලුවොත් නම් මි නිස් ජීවිතවල වටිනාකම අලි ජීවිත වලට වඩා බොහෝ අඩුය.

මෙම ප්‍රශ්නයෙන් කෙලින්ම බැට කන්නේ ග්‍රාමීය ගොවියන්ය. කුඹුරු අක්කරයක් හා ගොඩ ඉඩම අක්කරයක් තිබෙන ගොවි පවුලක් සලකා බලමු.
මෙවැනි ගොවි පවුල් ලක්ෂ ගණනක් අලි තර්ජනය ඇති ප්‍රදේශ වල ගොවිතැනෙන් ජිවත් වන්නට උත්සාහ කරති. එහෙත් ලංකාවේ ගොඩ ඉඩමක වඩාත් ලාබ ගෙන දෙන පොල් , කෙසෙල් වැනි බෝගයන් ඔවුනට වගා කිරීමට නොහැකිය . ඒ වල්  අලි අවධානම නිසාය. අක්කරයක පොල් ගස් 50 ක් වගාකළ හැක්කේය, පොල්එ ගස් 50 ක් වවා ගත හැකි නම් එයම පවුලක ස්ථිර ආදායම මාසයකට අඩුම තරමින් රුපියල් 7500 වත් ඉහල යනු ඇත. වල අලි කඩා වදියි යයි 1 % ක හෝ අවධානමක් ඇත්තේ නම් එවැනි භෝග වගා කල නොහැකි බව නොකිවමනාය. 

අනෙක් පැත්තෙන් ආසියාවේ වල් අලි සිටින රටවල් හා සංසන්දනය කරන විට, සාමාජීය වශයෙන් අපේ තත්වය ඉතාමත් අසීරුය. උදාහරණයක් වශයෙන් ලංකාව මෙන් 47 ගුනයක් විශාල ඉන්දියාවේ වල් අලි සිටින්නේ 30,000 කි. අනෙක් පැත්තෙන් බලන විට ලංකාවට සමාන හෝ කිට්ටු ප්‍රමාණයක් වල් අලි සිටින බුරුමය, (4500) මැලේසියාව, (2750)  ලාඕසයේ (1500) සහ වියට්නාමයේ (3500) වර්ග කිලෝ මීටරයකට ජනඝනත්වය පිලිවෙලින් 82, 91, 28, 282 ක් වෙයි. 

නමුත් මෙම අගය ශ්‍රී ලංකාව සදහා 383 ක් වෙයි. ඒ කියන්නේ  ශ්‍රී ලංකාවේ සෑම වර්ග කිලෝ මීටරයක් සදහාම මිනිසුන් 383 දෙනෙකු ජීවත්වන බවයි. රටේ මුලු ජනගහනය ඒකාකාරී ලෙස බෙදා හැරියොත්, මුලු රටම තරමක නගරයක් ලෙස දිස්වනු ඇත. මෙවැනි ජන ඝනත්වයක් තියෙන රටක, වල් අලි 3000 ක් නඩත්තු කිරීම, හරියට කොළඹ නගරයේ වල් අලි රංචුවක්  තියාගෙන ඉන්නවා වාගේ දෙයකි.
  
අනෙක් පැත්තෙන් වල් අලි  ලංකාවේ උඩවලව, යාල, ලුණුගම් වෙහෙර, විල්පත්තු, මින්නේරිය යන ජාතික වනෝද්‍යානවල ජීවත් වෙති. නමුත් මෙම වනෝද්‍යාන වලට මෙම අලින් සීමාකර තබා ගැනීමට තාමත් අපට හැකියාවක් ලැබී නැත. අලි මිනිස් ගැටුම් ඇති වන්නේ මේවායින් පිටතදීය. 

මට හිතෙන විදිහට මෙයට හේතුව වී ඇත්තේ අලින් සදහා වෙන්කර ඇති ආරක්ෂිත ප්‍රදේශ ඉතා කුඩා වීමය. උදාහරණයක් වශයෙන් විල්පත්තු සහ යාල ජාතික වනෝද්‍යාන හැරුනු විට, අනෙක් සියලුම අලින්ට වෙන්කල උද්‍යානයන්ගේ ප්‍රමාණය වර්ග කිලෝ මීටර් 50 ට වඩා අඩුවෙයි. අලි රංචුවක් වර්ග කිලෝ මීටර් 50 ක ප්‍රදේශයක නිදහසේ තබා ගැනීමට පුලුවන් යැයි සිතීමත් විහිලුවක් බව නොකිවමනාය. විශේෂයෙන්ම එම රක්ෂිතයට පිටතින් කැලයේ නොමැති බොහෝ රසවත් කෑම ලේසියෙන්ම ලබා ගැනීමට ඔවුනට හැකියාවත් තිබියදී ඔවුන් කැලය ඇතුලට වී සිටි දැයි බලාපොරොත්තු වීම ඊටත් වඩා විහිළුවකි.

එහෙත් ශ්‍රී ලංකාවේ මුලු ජාතික උද්‍යානවල ප්‍රමාණය වර්ග කිලෝ මීටර් 5734 ක් ‍වෙයි. මෙහි ප්‍රමාණය බෘනෙයි රාජ්‍යයේ ප්‍රමාණයට දල වශයෙන් සමාන වෙයි. ඒ කියන්නේ ජාතික උද්‍යාන ටික, අඩු ගානේ 75% ක් වත් එක තැනකට එකතු කරගත හොත් වල් අලින්ට නිදහසේ ජීවත් වන්නට බෘනෙයි තරම් රටක්ද, ඔවුන් එය ඇතුලට දමා වටේට හොද වැටක් ගසා ගත හොත් අහිංසක ගැමි ගොවියන්ට සැනසිල්ලේ ජීවත්වන්නට හැකියාවක්ද ලබා ගැනීමට බොහෝ ඉඩකඩ ඇත්තේය.

මෙලෙස උද්‍යාන එකතු කිරීමේදී බොහෝ ජනයාට නැවත පදිංචි කිරීම් වලට යටත් වන්නට සිදු වනවා ඇත. එහෙත් බොහොමයක් මෙම ප්‍රදේශ ගොවි බිම් නිසා විශාල දේපල හානියක් සිදු නොවනු ඇත. මෙවැනි මිනිස් re-locations අපි නොකර ඈත්තේ නොවේ . මහවැලි වියාපෘතිය සඳහා ගාමිණී දිසානායක කලේ මෙයට වඩා දහස් ප්‍රමානයකටත් වඩා වැඩියෙන් ලොකු එමෙන්ම කලාප අතර  relocation එකකි

අනෙක් අතට මෙය මෙතෙක් ලෝකයේ සිදු නොකල අන්දමේ නිර්මාණශීලී ව්‍යාපෘතියක් වන හෙයින් බොහෝ රටවල් හා සංවිධාන මෙයට උදව් කරනු ඇත. වල් අලි රැක ගැනීම සදහා බටහිර රටවල තිබෙන උනන්දුව සහ මෙම ව්‍යාපෘතියේ ඇති නිර්මාණශිලී භාවය කොතරම්ද යත්, මෙය සිදු කිරිමට යන මුදලට වඩා වැඩි මුදලක් අපට එකතු කර ගැනීමට පුලුවන් වනු ඇත. ලංකාවේ දේශගුනික තත්වයන්ද තැනින් තැනට එතරම් වෙනස් නොවන නිසා, සතුන් නැවත ස්ථාන ගත කිරීම් වලදී දේශගුනිතක බලපෑම්ද එන්නේද නැත.

මෙම අති විශාල ජාතික වනෝද්‍යානයට පහත් බිමි, කදුකර සහ තෙත් සහ වියලි කලාප අඩංගු කිරීමෙන් මෙය පරිපූර්ණ සියල්ල ආවරණය වන ඇත්ත වශයෙන්ම ජාතික වනෝද්‍යානයක් බවට පත්වනු ඇත. සංචාරක ව්‍යාපාරයටද මෙය ඉතිහාසයේ සිදුවූ විශිෂ්ටතම සිද්ධිය  වනු ඈත


ලෝකෙන් උතුම් රට ඇත්තටම වෙන්නට නම් කලයුත්තේ මෙවැනි දේවල්ය. 
         මෙයට විරුද්ධ වනවා නම් විරුද්ධ වනු ඇත්තේ අලි වැටවල් සපයා ලාබ ලබාගන්නා පුද්ගලයන් පමණි 

8 comments:

  1. 100%ක් එකඟයි සර්...එත් මේවා කාට කියන්නද...ආණ්ඩුව මේකට කැමති උනත්... දේශ පාලන අපතයොයි...උන්ගේ අන්ධභක්තික මෝඩ නඩයයි...නිකම් ඉඳීද ?.

    ReplyDelete
  2. තමුන්ගෙ ආසනේ මිනිස්සු වෙන ආසනයකට ගිහින් පදිංචි කරාම අනිත් පක්ශෙ එකාට වාසියක් වෙනවා කියල මේකට විරුද්ධ වෙන්න අවස්ථාව වැඩියි.
    ඒ මොනව උනත් හොඳ සැලැස්මක් එක්ක මේ වගේ යෝජනාවක් ක්‍රියාත්මක කලොත්,වනාන්තර වවලා භූතානය උපයාගන්න හොඳහිතට වඩා හොඳහිතක් උපයාගෙන අපේ තුවාල හොඳකරගන්නත් අවස්ථාවක් කරගන්න පුළුවන්.
    බැරිද මහත්ත්යෝ මේක පත්තරේ දාගන්න.. අර අරයට පෙනෙයිනෙ එතකොට.
    ජයවේවා..!!

    ReplyDelete
  3. Excellent idea and it is not too difficult to implement if you have the will!

    ReplyDelete
  4. Excellent idea and it is not too difficult to implement if you have the will!

    ReplyDelete
  5. මේ ප්‍රශ්නයේ අනික් පැත්ත තමා ස්වභාවික අලි මං Elephant Corridors වසා, මිනිස් ක්‍රියාකාරකම් ඇතිවීම. Elephant walk නමින්, ලංකාව පසුබිම් කරගනිමින් ලියවුන නවකතාවේද මේ ගැන සඳහන් වෙනවා

    http://carmelrowley.com.au/blog/?p=1554

    මහවැලි ව්‍යාපාරය යටතේ, මේ අලි මං වලට බාධාවකින් තොරව පවත්වාගෙන යාමත්, නව අලි මං ඇතිකිරීමත් යෝජිතව තිබුනා.

    නමුත්, අලින්ගේ හැසිරීම පිලිබඳ විශේෂඥ මතය වන්නේ, අවුරුදු දහස් ගණනක් තිස්සේ, ඔවුන් පරම්පරාවෙන් පරම්පරාවට ගෙන ආ මතකයක් ඔස්සේ, යන අලි පාරවල්, අපි වෙනස් කලාට, ඒ නව මං ඔස්සේ යාමට, අලින් අකමැති බවයි. ඒ නිසයි, අලි - මිනිස් ගැටුම් ඇතිවෙන්නේ.

    ReplyDelete
  6. කොරිඩෝ කථාව ඇත්ත වෙන්න පුලුවන්, නමුත් ලංකාව වගේ කුඩා රටක රටෙන් තුනෙන් දෙකක් වගේ දුරකට කොරිඩෝ තිබ්බහම, ඒවා පවත්වා ගැනීම ලොකු අවුලක් වෙනවා. තැන් තැන්වල පොඩි වනෝද්‍යාන තිබීමෙනුත් ඒවා සම්බන්ධ කරගෙන කොරිඩෝ හැදීමෙනුත්, ඊට පස්සේ කොරිඩෝ දිගේ පාරවල් හැදීමට අවශ්‍ය වීමෙනුත් ඔක්කොම ජිග්සෝ පසල් එකක් වගේ වෙනවා.
    අලි විතරක් නෙවෙයි මිනිස්සු ගැනත් කල්පනා කලොත්, එක ලොකු පාක් එකක් සැදීම තමයි හොදම විසදුම කියලා මම හිතනවා.

    ReplyDelete
  7. මේකත් හරියට වැද්දො ගෙවල් හදනවා වගේ. වැද්දන්ටත් ගෙවල් මතක් වෙන්නෙ වහින්න ගත්තාම. ඒ වෙලාවට අපි ගෙයක් හදාගන්න ඕන. තෝ ලී මිටියයි. මම ලී මිටියය කියලා කියනවලු. වැස්ස පායපුවාම මොකුත් මතක නෑ. අලියෙක් ගහලා හිනිහෙක් මැරුනාම අලි ප්‍රශන්නේ ගැන කථා කරනවා. ආයේ ප්‍රශ්නේ යට යනවා. මට මතකයි මේකට විසඳුමක් හැටියට ස්වභාවික තල් වැටක් වවන්න යෝජනා උනා. මේ ප්‍රශ්නයට ඒ වගේ දෙයක් ප්‍රායෝගික වෙයිද?.

    ReplyDelete
  8. හොඳ අදහසක් !! ක්‍රියාත්මක කරන්න තිබෙනවා නම් වටිනවා..

    ReplyDelete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...