Friday, February 26, 2021

මගේ චිත්‍ර[පට වංශ කතාව

 


මම නිතර චිත්‍රපට බලමි. ඇත්තෙන්ම එය මගේ ප්‍රධාන විනෝදාංශයක් කීවාට වරදක් නැත.

 

මම අද උත්සාහ කරන්නේ අප කුඩා කාලයේ සිට මේ දක්වා චිත්‍රපට බැලීම කොතරම් වෙනස් වී ඇද්ද යන්න පරීක්ෂාකර බැලීමටයි.

 

අප කුඩා කාලයේ අපගේ දෙමව්පියන් අප චිත්‍රපට බැලීමට එකතු කරගෙන ගියහ. සාමාන්‍යයෙන් මාසෙකට දෙකකට වරක් පමණ මහනුවර වේල්ස් හෝ වෙම්බ්ලි සිනමාහල්වලට එසේ රැගෙන ගිය අප, එයින් මහත් ආස්වාදයක් ලැබුවෙමු. මම එහිදී චිත්‍රපට බලනවට වඩා ආශ්වාදයක් ලැබුවෙ චිත්‍රපටයෙ විවේක කාලයේ පැමිණෙන අයිස්ක්‍රීම් කරුවාගේ අයිස් චොක් එකක් කෑමටය. මට මේ චිත්‍රපටවලින් තවමත් මතක තිබෙන්නේ ඩොමී ජයවර්ධන දුම්රියක් තුලදී  කාන්තාවක් මරා, ඇයගේ ශරීරය සිට් එකක් අස්සට තල්ලු කරන  දර්ශනයකි. ඔහු ඇය මරන්නට පටන් ගන්නා විට මම ඇස් වහ ගත් බවත් මට මතකය.

 

මීළඟ චිත්‍රපට බලන අදියර වූයේ පාසලේ මිතුරන් සමග චිත්‍රපට බලන්නට යාමය. මෙලෙස මම මුලින්ම චිත්‍රපටයක් බලන්නට ගියේ කටුගස්තොට සීගිරි සිනමා ශාලාවටය. ඒ ඒ පුල් දෝමාලි නැමැති එකල අතිශයින් ජනප්‍රිය වූ හින්දි චිත්‍රපටයකි. සිනමා ශාලා, එකල බොහෝ ජනප්‍රිය වන චිත්‍රපට, මට මතක හැටියට විශේෂයෙන්ම හින්දි චිත්‍රපට, සතියේ දිනවලද උදේ දහය හමාරේ  දර්ශනයක් අඩංගු කළහ. මම තවත් මිතුරන් දෙදෙනකු සමග මේ චිත්‍රපටය බලන්නට ගියේ පාසැල් වෙලාවේය. පාසැල් වේලාවේ එම චිත්‍රපටය බලන්නට ගියේ ස්කූල් කට් කර හොරෙනි. එකල අප පාසලේ අපොස සාමාන්‍ය පෙළ පන්තියේ අධ්‍යාපනය ලැබුවෙමු. ඒත් එකල පාසලට කෙනෙකු නොපැමිණියොත් පසුදින දෙමව්පියන්ගෙන් ලිපියක් රැගෙන ඒමට සිදුවිය.

අප තිදෙනාගේ ලියුම් එකම විදිහකට ලියැවී තිබුණ නිසා අපගේ පන්තිය භාර ආචාර්ය වරයාට සැක සිතුනි. මේ නිසා ඔහු මේ පිළිබඳව විදුහල්පතිවරයාට වාර්තා කරන ලද්දෙන්, අපට අපගේ දෙමව්පියන් විදුහල්පතිවරයා මුණගැසීමට කැඳවා ගෙන එන ලෙසට දන්වන ලදී.. මෙම ප්‍රශ්නයෙන් බේරීම ඉතාමත් සිත්ගන්නා කතාවක් වුවත් මෙම කතාව ඕනවට වඩා දිග්ගැස්සෙන නිසා පසුව ලියමි. 

කෙසේවුවත්මින්පසු උදේ 10:30 චිත්‍රපට බැලීම කරන්නට අප සැලසුම් කළේ නැත.

 

චිත්‍රපට බැලීමේ ඊළඟ අදියර වූයේ ඕඩියන් සහ රීගල් සිනමා හල්වල දවසින් දෙකෙන් මාරුකළ චිත්‍රපට බැලීමයි. අප බොහෝවිට මෙම චිත්‍රපට බැලුවෙ හවස තුනහමාරේ දර්ශනයටය. මෙකල බොහෝ චිත්‍රපට කව්බෝයි චිත්‍රපට වූ අතර, එකල එම චිත්‍රපටවල බොහෝ ජනප්‍රිය නළුවා වූ  clint eastwood අපගේ සිහින කුමාරයා විය. ඔහු ලෙසට ඇඳ පළඳින්නට, ඔහු මෙන් කකුල් ඇද ඇද ඇවිදින්නට පමණක් නොව, ඔහු මෙන් නිශ්ශබ්දව සිටින්නටත් අවශ්‍යම නම් වචන කිහිපයකින් දහස් ප්‍රකාශ කිරීමටද අප 




එකල උත්සුක වූ බව මට මතකය. මේ කාලයේ karate චිත්‍රපටද ජනප්‍රිය චිත්‍රපට වර්ගයක් බවට පත් විය. මම හිතන විදිහට මෙයින් වඩාත් ජනප්‍රියට පත් වූයේ බෲස් ලී රඟපාන enter the dragon චිත්‍රපටියයි.

 

මේ චිත්‍රපටය අප බැලුවේ මහනුවර odiyen සිනමාහලේදීය. අපේ පාසල ඇරී තුනයි තිහට මේ චිත්‍රපටය බැලීම සඳහා ගැලරි පෝලිම් ඇතුළට ගියෙමු. මෙකල ගැලරි පන්තියේ ටිකට් එකක් සත 60 ක් වූ බව මට මතකය. මෙම ගැලරි පෝලිම තිබුණේ ඉතාමත් අමුතු ආකාරයකටය. චිත්‍රපට ශාලාවේ තිරය දෙසට හැරුණු විට වම් අත පැත්තේ තිබුණු මෙම පෝලිම චිත්‍රපට ශාලාව සෑදීමට පසුව සෑදුණු, කුඩා එමෙන්ම ලාබ එකතුවක් විය යුතුය. එය එතරම් උස නැති ශාලාවක් වූ අතර එය පේළි හතරකට බාග බිත්ති සහ දැල්වලින් බෙදා තිබුණි. එසේ බෙදා තිබුණු එක පේලියක සාමාන්‍යයෙන් ඉඩ තිබුණේ මිනිසුන් එකහමාරක් පමණ පළලටය. මෙලෙස සාදා තිබුණේ පෝලිම පිරුණු විට වෙන කෙනෙකුට මිනිසුන් තල්ලු කරගෙන ඉදිරියට යාමට අපහසු වෙන්නට විය යුතුය. නමුත් එකල සිටි ගණන් කාරයන් පිරිසක් පෝලිම පිරී තිබුන විට එහි ඉදිරියට යන්නට අමුතු ක්‍රමයක් පාවිච්චි කළහ.

 

ඒ පෝලිමේ සිටින අනෙක් මිනිසුන්ගේ ඔළු වලට උඩින් එහි වහලේ වඳුරන් මෙන් එල්ලී ඔළුවලට උඩින් ගමන් කිරීමයි. එසේ ගණන් කාරයන් ඉදිරියට යන විට ඔවුන්ගේ කකුල්වල තිබෙන වැලි අපේ ඔලුවට පවා වැටුණු අවස්ථාවක් මට දැනුත් මතක් වෙයි. එහෙත් මට මතක හැටියට එසේ කරන්නට යම් අධිකාරියක් තිබුණේ ඒ ප්‍රදේශයේ සිටි ගණන් කාරයන් දහ දෙනකුට පමණ විය යුතුය......... ඊළඟට දෙවැනි කොටස

7 comments:

  1. ඔබ වැනි චිත්‍රපට පිස්සෙක් වූ මගේ පියා ද එකල ඔය අයුරින් සිනමා ශාලාවලට ගොස් චිත්‍රපට නරඹා ඇත. ඔහු කැගල්ලේ ඇති සිනමා හෝලි වලත් දැැන් වසා දමා ඇති දෙහිඔවිට සිනමා ශාලාවෙත් විත්‍රපට නරඹා ඇත. කෙසේ වෙතත් එකල ගැලරියේ සිට චිත1පට බැලීම වෙම විනොදයක් බවත් චිත1පටයේ සියලු ගිත පොලකට මුද්‍රණය කර අලෙවි කර බවත් ඔහු මට පවසා ඇත. කෙසේ වෙතත් Ek pool do malik ඔහු අපට පෙන්නුවේ වීඩියෝ පටයක් මාර්ගයකිනි.
    විචාරක දියණිය
    විචාරක දියණියි

    ReplyDelete
  2. ඒ දවස් වල ඔය චිත්‍රපටිය ගැන ගුවන් විදුලියේ කෙටි ප්‍ර්‍රචාරක දැන්වීමක් ගියා “එක් මලකට බබරු දෙන්නෙක් … (නිවේදක මහතෙකු හා මහත්මියක විසින්; දැන් හරියටම මතක නැති තවත් මොන මොනවද මාරුවෙන් මාරුවට කියගෙන ගියා) … ලගම ඇති සිනමා ශාලාවේ; දැන් තිරගතවේ නරබන්න - ඒක් මාල් දෝ මාලි - “ කියලා හරිම ලගන්නා ගැබුරු හඩකින්.
    {ඒ වගේම “අභිමාන්” චිත්‍ර්‍රපටිය සදහා ගුවන් විදුලියේ කෙටි ප්‍රචාරක දැන්වීමක් ගියා; “මා ඔබට ද්‍රෝහිවූවා නොව…. පියෙක් නැති දරුවෙකුට … පියෙක් වූවා පමණී …. අභිමාන්…. ඊස්මන් වර්ණයෙන්}

    ආය ඒ දවස්වල සෙනසුරාදට තිරගත වන චිත්‍රපටිවල දෙබස් කොටස් සහ සින්දු කොටස් ඇතුලත් විනාඩි 15 ක ප්‍රචාරක වැඩසටහන් ගියා ගුවන් විදුලියේ. මොන වැඩේ තිබුණත් ඕක අහන්න රේඩියෝව ලගට යන එක අපි කවුරුත් (ගෙදර අය) ආසාවෙන් කල දෙයක් තමා ඒ දවස් වල. බොහෝ වෙලාවට ඕක පටන් ගන්නේ “ඔබට කියන්නට... තප්පර නමසීයක …. කතාවක් ඇත අපට…” කියලා.

    මට මතක විදිහට “ඕඩියන්” එකේ තිබුනේ කුඩා හුලන් කවුලු සහිත දිගට සිමෙන්තියෙන් බැදලා තිබුන දෙබිච්චියක් අතරින් යන්න තිබුනා වගේ. අර විදිහට වදුරෝවගේ කට්ටිය එල්ලිලා ගියා “රීගල්” හෝල් එකෙත් කටුගස්තොට “නිව් සීගිරි” හෝල් එකෙත්.

    ඔබට මතකද වේල්ස්, වෙම්බ්ලී හෝල් වල ගැලරියේ ඒ දවස්වල (1978 - 80 වගේ) වාඩිවන්නට තිබුනේ දිග ලී බන්කු. කටුගස්තොට සීගිරි හෝල් එකේ තිබුනේ සිරස් අතට හිටුවා තිබුණ ලී කොට උඩ පිටපලු ගහලා. ඒ මදිවට පොලවට සිමෙන්ති දාලා තිබුනෙත් නැහැ.

    ReplyDelete
  3. ඔය කාලේ ඔය හිංදි චිත්‍ර පට පිළිබඳව තේමා පාඨ ලියැවුනේත් කියැවුනේත් බණ්ඩාර කේ විජේතුංගයන් විසින්. ඒක් පුල් දෝ මාලි පිළිබඳව කියැවුනේ "එක මලයි! බඹරු දෙන්නයි!!" කියා. "අභිමාන් චිත්‍ර පටය සඳහා කියැවුනේ "ඔවුන් දෙදෙන එක් කලේත් සංගීතයයි! වෙන්කලේත් සංගීතයයි!! දෙවැනි අභිමානවත් මාසයේ අභිමාන්!" කියායි මට මතක!

    ReplyDelete
    Replies
    1. ඔව්! ඔව්!! ඔබ හරි.
      ඔබේ මතකයට පින් සිද්ද වෙන්න, මේ දැනුත් ඔය පාඨයත් ඉන්පසුව වදනයවු අභිමාන් චිත්‍රපටියේ ගීත ඛන්ඩයත් ඒ ලෙසටම දෙසවන දෝන්කාර දෙන්න ගත්තා.

      එතකොට “මා ඔබට ද්‍රෝහිවූවා නොව…. පියෙක් නැති දරුවෙකුට … පියෙක් වූවා පමණී... " යන්න කියවුනේ "පාකීශා" චිත්‍රපටිය සදහාද කියා ඔබට මතකද?

      "අභිමාන්" වලට කලින් දින 375 ක් විතර කොලඹ (මරදානෙද කොහේද) අකන්ඩව තිරගතකල "ගීත්" චිත්‍රපටියත් ඔබට මතක ඇති මම හිතන්නේ. (නුවරදිනම් එච්චර කාලයක් දිව්වේ නැහැ.)

      ස්තූතියි ඔබ දෙපලටම ඒ සුන්දර අතීතයට රැගෙන ගියාට.
      (ඔන්න තව එකක් මතක්වුණා "යුක්‍තිය රජයන ලොවකට මා රැගෙන යන්න ..... උතුමානෙනි !!) :D

      Delete
    2. සමා වෙන්න එම හේතු පාඨය රැගත් චිත්‍ර පටයේ නම මට මේ මොහොතේ මතකයට නො ඒ! මතක් වූ සැනින් යලිත් ලියන්නම්. ඔය මතක හිතට ගලා එන්නේ සියුම් වේදනාවක් සමග. ඒ වේදනාවට කරුණු කීපයක් හේතු වෙනවා.
      ඒ සුන්දර මෙන්ම සරල දිවි පෙවෙතේ තියෙන අපූර්වත්වය මත්ක් වෙලා.
      අනෙක එකල ඉතාමත් වාණිජමය හින්දි සිනමාව සමග කරට කර සටන් වැදුනු ලාංකීය වාණිජ හා කලාත්මක සිනමාව මතක් වෙලා.
      තවත් කරුණක් එක් කරණ්නම්. ඒ තමා බණ්ඩාර විජේතුංග ගැන දුක්ඛ දායක මතකය.
      තවත් ඉවර නෑ ගුවන් විදුලියේ ස්වර්ණමය අවදිය.
      මේ සෑම කාරණයක්ම අතීතයට එක්වී හමාරයි.
      බණ්ඩාර විජේතුංගයන් මාන කිහිපයකින්ම කලාව අතික්‍රමණය කල අයෙක්.
      ඔහුගේ හඬ පෞර්ෂ‍යට අලගු තැබීමටවත් නිවේදකයෙකු සොයා ගැනීමට අපහසු බව ඔබ මා සමග එකඟ වෙනවා ඇති.
      ඔහුගේ කවීත්වය.
      වචන කෝෂය මේ හැම දෙයින්ම ඔවුන් යලිත් කිසිදා දක්නට නොහැකි ශ්‍රේෂ්ඨයින්.
      එම පරපුරේ අවසාන පුරුක සමන් අතාවුද හෙට්ටි පමනක් බව මගේ හැඟීමයි.

      Delete
    3. මොකක් ??? ඒ මොකටෙයි අහවල් සමාවක් !!!

      මොනවාවුණත් ඔබ සුන්දර අව්‍යාජ මිනිසෙකු බව නම් තේරුම් ගතිමි - තට්ටයෝ :)

      Delete
  4. Wow... comments are as interesting as the blog article.

    ReplyDelete

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...