Thursday, April 5, 2018

විස්වාශ භංගයේ ප්‍රතිලාබයන් කවර ආකාරද ?


ඊයේ විශ්වාස භංගය ලංකාවේ රූපවාහිනි නරඹන්නන්ගේ රේටින් බලන රටක් නම් කාලයකට පසු වැඩිම රේටින් වැටුණු වැඩසටහනක් විය යුතුය. බොහෝ විට ඒක පුද්ගලව ඇමරිකාවේ ‘ බිග් බෑන්ග් තියරි (18.5 මිලියන නරඹන්නන් )’ අභිබවා ගියා වන්නට පුළුවන.
මමත් එය සජීවීව පෙන්වන බව දැනගත් පසු දිගටම වාගේ නැරඹුවෙමි. එහිදී කරන ලද නොයෙකුත් කතාවන් සාමාන්‍යයෙන් ලංකාවේ රූපවාහිනියේ තිබෙන බොහෝ වැඩසටහන් වලට වඩා මා සිත ගත්තේය. විශේෂයෙන්ම බොහෝ කථිකයන් කතාවල අන්තර්ගත කල හාස්‍ය රසය කෙනෙකුට මෙම විවාදය කම්මැලිකමකින් තොරව නරඹන්නට පහසු කළේය.
අපට කතාවලදී බාධා කරන්නන් කුමක් කියන්නේදැයි හරියට නොඇසෙන නමුත් සමහර බාධා කරන්නන්ට කදිම පිළිතුරු ලැබුණු බව නම් පෙනුනි.

විවාදය නැරඹීමෙන් යම් සතුටක් ලැබුවද එයින් පමණක් අපි සෑහීමකට පත් නොවිය යුත්තෙමු. දැන් මේ විශ්වාස භංගය අවසන් වී ඇති නිසා එයින් එයට සම්බන්ධ වූ කණ්ඩායම් හා නොයෙකුත් පුද්ගලයන්ට ලැබුණු ප්‍රති ලාභයන්; ධනාත්මක සහ ඍනාත්මක වශයෙන්, කවර ආකාරයේ විශ්ලේෂණය කිරීමද කලයුත්තේ වෙමු. එය සිතින්ම කර ගත්තා නම් පහසුය. එහෙත් මේ තරම් ක්‍රියා දුතයන් (actors) සිටින ක්‍රියාදාමයක ප්‍රතිපලයන් විශ්ලේෂණය කිරීම සිතින් කිරීමට නම් අඩු තරමින් රොකට් විද්‍යාඥයෙකුගේ මොලයක් වත් තිබිය යුතුය. එවැන්නක් ලැබීමට වාසනාවක් නොතිබූ අය කොලයක ලියාගෙන වත් මේ වැඩය කල යුතුය.

1.එක්සත් ජාතික පක්ෂය - විශ්වාස භංගයෙන් වැඩිම වාසියක් ලැබුවේ UNP යයි. මක් නිසාද එමගින්, විශේෂයෙන්ම ලබාගත් ඉහල වැඩි ඡන්ද ප්‍රමාණය නිසා පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ උදව් කරුවන් එක්සත් කර නව පණක් (galvanized) ලබාදුන් බව පෙනුනි. ඡන්දය අවසන් වුනු වහාම ඇසුණු රතිඥ්ඥා හඩින් පෙනුනේ එක්සත් ජාතික පාක්ෂිකයන්ට කාලයක පසු රතිඥ්ඥා දැමීමට අවස්ථාවක් ලබා ඇති බවයි. එසේම එකම UNP මන්ත්‍රී කෙනෙක්වත් යෝජනාවට පක්ෂ නොවී තබා ගැනීමද එක්සත් ජාතික පක්ෂය ලැබූ තවත් ජයග්‍රහණයකි.

අවාසි - මෙතරම් ඉහල ජයග්‍රහණයක් නිසා ඔද වැඩි අගමැතිවරයා තමන්ට තවදුරටත් අගමැතිකමේ සහ පක්ෂ නායකත්වයේ රැදී සිටීමටද ඊලග ජනාධිපතිවරණයට ඉල්ලන්නට සැලසුම් කරන්නට ඉඩ තිබේ. මේ නිසා ඔහුට වඩා ලාංකීය ජනතාවට හිතට අල්ලන නායකයෙකු (එවැනි කෙනෙකු සිටින්නේ නම්) පක්ෂය මෙහෙයවීමට  සහ ජනාධිපතිවරණය ඉදිරිපත් වීමට ඉඩ නොලැබෙනු ඇත.

2. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (SLFP) - මෙම ක්‍රියාදාමයේදී ලොකුම පරාජිතයා SLFP එක සහ එහි වර්තමාන නායකයා වන ජනාධිපතිවරාය. ඇත්තෙන්ම මෙයින් මේ කණ්ඩායමට ලැබුණු වාසියක් සොයා ගැනීමට ඉතාමත් අපහසුය. මේ යෝජනාවෙන් එහි මන්ත්‍රීන් ගෙන් කොටසක් යෝජනාවට පක්ෂව ඡන්දය දුන් අතර කොටසක් ඡන්දය නොදී සිටියහ. මෙම අවස්ථාවේ ඡන්දය දීමෙන් වැළකීමෙන් ඇත්තෙන්ම පෙන්වා දෙන්නේ ඔවුන් මෙම යෝජනාවට විරුද්ධ බවය. මෙයින් පසුව ඔවුන් කිහිප දෙනෙකු එක්සත් ජාතික පක්ෂයට බැඳීමටත් ඉඩ තිබේ. මක් නිසාද ඊලග මහා මැතිවරණයකදී පාර්ලිමේන්තුවට එන්නට කිසියම්ම බලාපොරොත්තුවක් තිබෙන කෙනෙකු SLFP මෛත්‍රී පිලෙන් ඉල්ලන්නට නම් සිතන්නේ වත්  නැති නිසාය.

3.SLPJ පෙරමුණ -   මෙයට ලැබුණු ලොකුම වාසිය ඔවුන්ගේ ප්‍රධාන සතුරෙකු වන SLFP එක අඩපන කර දැමීමය. එය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට කැඩීමට මෙම යෝජනාව සමත් විය. නමුත් ඒ හැරෙන්නට වෙනත් පෙනෙන වාසියක් නැත්තේය.

අවාසි - තමුන්ට අවසාන පළාත් ඡන්දයෙන් ලෑබි තිබුනු ගෞරවය අඩුවිය. තමන්ගේ ප්‍රධාන විකල්ප පක්ෂය වන unp එකට නව ජීවයක් වක්‍රාකාරයෙන් ලබා දුන්නේය. ඒ අතරම SLFP එකේ ප්‍රධාන දේශපාලකයන් කිහිප දෙනෙකුට  UNP ය හැරෙන්නට වෙන යන්නට තැනක් නැති තැනකට තල්ලු කළේය.

4. JVP - ඔවුනට විශේෂ යමක් මෙයින් සිදුවුයේ නැත. ඔවුනට රතු අලියා වැනි යෙදුම් මගින් UNP එකට ගැතිවී සිටින බවට විරුද්ධ වාදීන් ගේ අවලාද වලින් මෙයට පක්ෂව ඡන්දය දීමෙන් යම් තරමකට හෝ වලක්වා ගැනීමට අවස්තාවක් ඔවුනට ලැබුණි.

5. සුළු ජාතික පක්ෂ - ඔවුනට විශේෂ ප්‍රතිලාභයක් ලැබුණු බවක් පෙනෙන්නට නැති නමුදු යම් හෙට්ටු කිරීම් මගින් ඇමති තනතුරු යනාදියේ වැඩිවීමක් අනාගතයේ ඇතිවීමට ඉඩ තිබේ.

ජනතාව -
1.     එක් එක් පක්ෂවල සිතුම් පැතුම් සහ අදහස් උදහස් කෙටි කාලයක් තුල බලාගැනීමට ඉඩ ලැබුණි.
2.     එසේම සත්‍ය වශයෙන්ම පාර්ලිමේන්තුවේ බල තුලනය කොයි ආකාර වේදැයි බලාගන්නට ලැබුණි.
3.     විශාල බහුතරයකින් පවතින රජය ජයග්‍රහණය කිරීම නිසා රජයේ ස්ථාවර බාවය පිලිබඳ අන්තර්ජාතික සමාගම් අතර විශ්වාසයක් ඇතිවී  FDI යනාදියට හිතකර විය හැක.
4.     ඊලංග මැතිවරණය එන තෙක් දේශපාලන හැල  හැප්පීම් අඩු ව්‍යාපාර යනාදියට හිතකර පරිසරයක් ඇතිවීමට ඉඩ තිබේ.
5.     පාර්ලිමේන්තුවේ ඔලු පලාගැනීම් ආදියෙන් තොරව මෙය අවසන් කරගත් ආකාරය ගැන යම් ලෙසකින් තම නීයෝජිතයන් ගැන කලාතුරකින් සතුටුවීමට අවස්තාවක් ලැබීම.  

1 comment:

  1. https://gadyanohothkavi.blogspot.com/2018/04/blog-post_10.html

    ReplyDelete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...