Wednesday, April 11, 2018

2020 ගෝඨා සහ 66.8




බොහෝ දෙනෙකු ගෝඨාභය රාජපක්ෂ ගේ 2020 අපේක්ෂකත්වය ගැන කතා කරති. මුලින් මෙය පදනම් විරහිත ඕපාදුපයක් යැයි සිතුවද පසුව මෙතරම් මේ ගැන කතා කිරීමට යම් හේතුවක් තිබිය යුතු යැයි මට සිතුනි. ඇත්තෙන්ම ටිකක් කල්පනාකර බලන විට ඊළඟ චන්දයට SLFP එකෙන් (මෛත්‍රී පිල දැනටමත් දියවී ගොස් ඇති නිසා; a spent foece) එසේත් නැතිනම් එම බල කඳවුරෙන් ඊළඟ ඡන්දය වනවිට ඉදිරිපත් විය යුත්තේ රාජපක්ෂ කෙනෙකි. වෙනත් එසේ ඉදිරිපත් විය හැකි කෙනෙකු ගැන පෙනෙන තෙක් මානයක වත් නොමැත.
මෙසේ ඉදිරිපත් විය හැකි රාජපක්ෂ වරුන් කවරහුද?

චමල් රාජපක්ෂ

ගෝඨාභය රාජපක්ෂ

බැසිල් රාජපක්ෂ

මෙයින් වඩාත්ම කැපී පෙනෙන චරිතයන්ය. මෙයින් සිංහල බෞද්ධ බහුතරයට වඩාත්ම ආකර්ශනීය චරිතය වන්නේ 2 නාය. එලෙස ඔහු මේ බල කඳවුරේ ප්‍රථම තේරීම වන්නට කරුණු කිහිපයක් සාධක වෙයි. ඒවා අතරින් ප්‍රධාන වන්නේ
·       
යුධ ජයග්‍රහණයට මහින්ද රාජපක්ෂට ලැබෙන ජනතා කැමැත්තට වැඩියෙන්ම ලඟින් සිටින්නේ මොහු වීම.

·        යුද්ධයෙන් පසු නගර සංවර්ධනයට ඔහු කල වැඩකටයුතු ගැන ජනතාව තුල ඔහු වෙත ඇති ප්‍රසාදය.

·        මේ දිනවල රටේ තිබෙන රටේ කඩාවැටී ඇති  විනය ඇතිකළ හැකි නායකයෙකු අවශ්‍යය වන්නේය යන මතය.

·        ඔහුගේ හමුදා පසුබිම (මෙය සමහරවිට ඔහුගේ කුරුසය වන්නටත් ඉඩ තිබේ. ඒ බව පසුගිය දින විශ්වාස භංගයේදී සරත් ෆොන්සේකා කල කතාවකින් පැහැදිලි විය.)
·      
  ඔහුගේ නමෙහි ඇති පෞරාණික  බාවය සහ ඕනෑම කෙනෙකුට එය නිතරම අසා  ඇති පුරුද්ද. ඇත්තෙන්ම ගෝඨාභය යන්නෙහි තේරුම ‘කොට අභය’ යන්නය. ගෝඨාභය (309 – 322)  කල  අනුරාධපුරයේ රජකළ මේඝවර්ණාභය  යන රජුට තිබූ අනවර්ථ නාමයකි. ඔහු රජවූ පසු මෙම නාමයේ අපහාසාත්මක බාවය නිසා  ඉතාමත් අකමැති වූ අතර මොහු මින්නේරි දෙවියන් යැයි ප්‍රසිද්ධ මහසෙන් රජුගේ පියාය.

මේ සියලු කරුණු කාරනා සලකා බලන ගමන්ම ලංකාවේ ඕනෑම ඡන්දයකදී  විශේෂයෙන්ම ජනාධිපති ඡන්දයකදී බලපාන තවත් සුවිශේෂිය සාධකයක් අප අමතක නොකළ යුතුය. ඒ අප ජනගහනයේ ඇති සුළු ජාතීන්ගේ සාධකයයි. සුළු ජාතික සාධකය සියලුම ජාතික ඡන්දයන් වලදී බලපායි, එහෙත් එය ජනාධිපති ඡන්දයකදී අතිශය වැදගත් සාධකයක් බවට පත්වෙයි. සුළු ජාතික ඡන්ද වල තිබෙන ප්‍රධාන ලක්ෂණයක් වන්නේ ඔවුන් කණ්ඩායම් වශයෙන් ඡන්දය පාවිච්චි කිරීමට බොහෝවිට පෙළඹීමයි.

ලංකාවේ 2011 වසරේ සිටි 1% ට වඩා සිටින  නොයෙකුත් ජාතීන්ගේ සංයුතිය පහත පරිදිය.
සිංහල 74.9
ලාංකික දෙමල 11.15
මුස්ලිම් ජාතිකයන් 9.3
ඉන්දියානු දෙමල 4.12

ඡන්ද දායකයන් ගේ ජන අනුපාතය ද මෙයට ඉතාම කිට්ටුවෙන් සමාන විය යුතුය.
මෙම ප්‍රතිශතයන් අනුව මුලු චන්ද ප්‍රමාණයෙන් 50.1 % ක ප්‍රතිශතයක් ලබාගැනීමට සිංහල ඡන්ද වලින් කුමන ප්‍රතිශතයක් ලබාගත යුතුද? එය 50. x 100/75 වෙයි. මේ අනුව සිංහල ඡන්ද වලින් පමණක් දිනන්නට නම් ලබාගත යුතු ප්‍රතිශතය 66.8% ක් වෙයි.  ඒ කියන්නේ යම් කෙනෙකුට සුළුතර ඡන්ද ලබාගත නොහැකි නම් ඔහුට ජයග්‍රහණය සඳහා සිංහල ඡන්ද වලින් 66.8%ක් වත් ලබාගත යුතු බවය. ඇත්තෙන්ම SLFP කඳවුරේ අපේක්ෂකයාට ඇත්තේ එවැනි තත්වයකි. සාමාන්‍යයෙන් සුළු ජාතික ප්‍රාදේශීය දේශපාලකයෙකු සම්බන්ධවන පාර්ලිමේන්තු මැතිවරණයකට වඩා පහල මැතිවරණයක හැර SLFP කඳවුරට සුළු ජාතික ඡන්ද ලබාගැනීම ඉතාමත් අපහසුය. ඒ ලංකාවේ පක්ෂ ඇතිවූ දා  පටන් ඇති තත්වයකි.

මෙතරම් ඡන්ද ප්‍රතිශතයක් ගෝඨාට ලබාගත හැකිද? SLFP බල කඳවුර වැඩියෙන්ම ඡන්ද ලබාගැනීමට ඉඩ තිබෙන සිංහල බෞද්ධ ග්‍රාමීය නියැදියක් අපට දැන් පරීක්ෂාකළ හැක්කේය. 

ඒ සඳහා සන්නාලි ඇනවුමකට නිර්මාණය කලාක් වැනි දිස්ත්‍රික්කයකි   මොනරාගල දිස්ත්‍රික්කය; එහි  සිංහල බෞද්ධ ප්‍රතිශතය 95%ක් වෙයි. පොහොට්ටුව අවසාන ඡන්දයේදී ලබාගෙන ඇති ඡන්ද ප්‍රතිශතය 53.88  කි. මෙයට මෛත්‍රී පිලට ලැබුණු ඡන්ද වලිනුත් 75% ක් එකතු කරමු. එවිට එම මුලු එකතුවෙ ප්‍රතිශතය 61.6 % කි. 2014 පළාත්සභා මැතිවරණයෙන්ද ඔවුන් ලබාගත් ප්‍රතිශතය වන 58.3% ට මෙය එතරම් දුර නැත. එයින් කියවෙන්නේ UNP විරෝධී අපේක්ෂකයාට ඔහුට වඩාත්ම වාසිදායක දිස්ත්‍රික්කයෙන් ලබාගත හැකිවන්නේද අවශ්‍ය ප්‍රමාණයට වඩා 5.2 % අඩුවෙන් බවය.

සාමාන්‍ය සිංහල දිස්ත්‍රික්කවල සාමාන්‍ය අගය මිට වඩා බොහෝ පහල අගයක් ගනී. මෙවර ඡන්දයේ සිංහල දිස්ත්‍රික්ක 14 ක; ඡන්ද දී සුළුතරය හෝ වෙනත් සාධක නිසා  ඡන්ද ප්‍රතිපලය වෙනස්කරන දිස්ත්‍රික්ක අත්හල විට, මෙම සාමාන්‍ය; මෛත්‍රී කණ්ඩායමේ ප්‍රතිශතයෙන් 75%ක්ද එකතු කලවිට, 55.53% කි. මුලු ඡන්ද ප්‍රමාණයෙන් 50.1 % ක් ලබාගැනීමට දැන් අඩුව 11.27 % ක් පමණ වෙයි.

මෙම ප්‍රතිශතය මුලු සුළු ජාතීන්ගේ ප්‍රතිශතයෙන් බාගයක් පමණ වෙයි. එසේනම් ගෝඨා හෝ එම කඳවුරේ අපේක්ෂකයා 2020 ජයගැනීමට නම් මෙවර මැතිවරණයේදී ලබාගත් ඡන්ද ප්‍රමාණයට අමතරව සුළු ජාතීන්ගේ ඡන්ද වලින් හරි අඩක් ලබාගත යුතු බව පැහැදිලිය.


මෙය ඔවුනට ලබාගත හැකිද? ලබාගැනීමට ඔවුන් කලයුත්තේ කුමක්ද? ඊළඟ විශ්ලේෂණය 

http://lakshmanillangakoon.blogspot.com/2018/01/blog-post_56.html 

මේ මා විසින් පසුගිය පළාත් සභා ඡන්දය කුමන ප්‍රතිපලයකින් අවසන් වෙ දැයි ලියු අනාවකියයි. මගේ එම අනාවැකිය කොතරම් කිට්ටුවට පැමිණියේදැයි පෙන්වීම සඳහා අන්තර්ගත කලෙමි.


2 comments:

  1. සර් 19 වන විස්ථාව අනුමැතිය සමග දිත්ව පුරවැසියකු හට පාර්ලිමේන්තු මැතිවරනයකට
    ඇතලත් විමට ඇති ගැටලුව ,ජානාදිපති අ⁣පෙක්සකත්වය යම් බාදාවක් ඇති හෙයින්
    පුරවැසි බාවය මෙතෙක් ඉවත් නොකරිම
    මන්ද

    ReplyDelete

The truth

 He lived in a palace, in a big city where ,  market places were frequented by large caravans. Palaces were  full of laughter , merry making...