Sunday, March 26, 2017

part 1 -කුරුල්ලන් බැඳි මාලය හෙවත් විජයපාල කුමාරයා part 1






                         Colombo port during Portuguese times 

කන්ද උඩරට කලකට පෙර පාලනය කරන ලද කරල්ලියද්දේ බංඩාර (1551-1581) නම් වූ රජ කෙනෙකුගේ දියණිය වූ කුසුමාසන කුමරිය,තම පිය රජුගේ රාජධානිය සීතාවක රාජසිංහ රජු අල්ලා ගැනීමෙන් අනතුරුව පිය රජු මියගිය හෙයින්, මන්නාරමේ පෟතුගීසීන් යටතේ ඇති දැඩි වූවාය. 

කන්ද උඩරට රාජ්‍ය අල්ලා ගැනීම සදහා එම ප්‍රදේශ වාසීන්ගේ උදව් ලබා ගැනිමට එම රජ පවුලේ කෙනෙකු අවශ්‍ය වූ නිසා, මන්නාරමේ පෟතුගීසි බලකොටුවේ ඇති දැඩි වූ කුසුමාසන කුමරිය පෟතුගීසීන් විසින් මහනුවරට රැගෙන එන ලදි. මෙම කුමරිය සමග කන්ද උඩරට බලය අල්ලා ගැනීමට පැමිණි පෟතුගීසි හමුදා හා මහනුවර විමලධර්මසූරිය රජු අතර බලවත් සටන් පැවතිණ.

 එම සටනින් පෟතුගීසීන් පරාජය කර මහනුවර බලය තහවුරු කර ගත් විමලධර්මසූරිය රජු, පෟතුගීසීන් රැගෙන එන ලද කුසුමාසන දේවිය විවාහ කරගෙන මහනුවර රාජධානිය සදහා තමන්ට ඇති අයිතිය තහවුරු කර ගත්තේය. මුලින් කුසුමාසන දේවිය නම් වූ ඇය පෟතුගීසීන්ගේ ආරක්ෂාවට පත් වූ පසු දෝන කතිරිනා  (පෘතුගීසි හා ස්පාඤ්ඤ ගරු නම්බු ආමන්ත්‍රණයක්) නමින් හැඳින්විණ.

1608 වර්ෂයේ වසර 12 ක රාජ්‍ය කාලයකින් පසු විමලධර්මසූරිය රජු මිය ගියෙන් ඔහුගේ ඥාති සහෝදරයෙකු වූ සෙනරත් කුමරු හා ඌවේ කුමරු අතර කන්ද උඩරට රජකම සදහා තරඟයක් ඇති විය. අවසානයේදී සෙනරත් කුමරු විසින් මහනුවර මහා වාසලදීම ඌවේ කුමරු ඝාතනය කර කන්ද උඩරට රජකම ලබා ගත්තේය.

සෙනරත් රජු රජකමට පත් වීමෙන් පසු, ඔහුට පෙර රජකල විමලධර්මසූරිය රජුගේ බිසව වූ දෝනකතිරිනා දේවිය තම බිසව කර ගත්තේය. මෙලෙස ඇය සෙනරත් රජු හා විවාහ වන විමලධර්මසූරිය රජුගෙන් දෝනකතිරිනා දේවියට දූ කුමරියන් දෙදෙනෙකු සහ පුත් කුමරෙකු සිටියේය. ටික කලකින් මේ කුමරා මිය ගියේය. තම දරුවනට රාජ්‍ය ලබාදීම සදහා විමලධර්මසූරිය රජුගේ පුත් කුමරු වස දී මරා දැම්මේ යැයි ජනතාව අතර සෙනරත් රජු කෙරෙහි අප්‍රසාදයක් ඇති වූ නමුත්, කලකින් එය පහව ගියේය.

දෝනකතිරිනා රැජිනට හා සෙනරත් රජුට කුමාරසිංහ, විජේපාල සහ මහා අස්ථාන යන නමින් පුත් කුමරුන් තිදෙනෙකු වූහ.

බොහෝ කලක් පෟතුගීසීන් යටතේ හැදී වැඩුණු හෙයින්, දෝනකතිරිනා දේවිය ක්‍රිස්තියානි ආගමට හා යුරෝපීය ගති සිරිත් වලට ලැදිකමක් දැක්වූවාය. එහෙයින් තමන්ගේ දරුවන්ටද අධ්‍යාපනයක් ලබාදීම සදහා, ඇය කතෝලික පූජකවරයන්ගේ සේවය ලබා ගැනිමට කටයුතු කලේය. විජේපාල කුමරුන් හට අධ්‍යාපනය ලබා දෙන ලද්දේ ෆ්රැන්සිස්කෝ නෙග්‍රෝවා (The Padre Frey/Francisco Negrao) නමැති පූජකවරයා විසිනි.

මෙම පූජකවරයාගේ ආභාෂයෙන් විජේපාල කුමරු, සිංහල රජකුමරෙකු ලෙස ජීවත් වනවාට වඩා පෟතුගීසි ගතිගුණ සහ හැසිරීම් අගය කරන පෟතුගීසි කුමරෙකු ලෙස ජීවත්වීමට කැමති පුද්ගලයෙකු බවට පත්විය.

මහා අස්ථාන කුමරුන්ගේ යුධ නිපුණතාවය සහ රාජ්‍ය තාන්ත්‍රික දක්ෂතා තේරුම් ගත් සෙනරත් රජු ඔහුගේ රාජධානිය බාලම පුත් කුමරා වන මහා අස්ථාන කුමරු වෙත පවරා දීමට තීරණය කරන ලදි. නමුත් පිය රජුගෙන් පසු රජකම හිමි විය යුත්තේ වැඩිමහල් පුත් කුමරු හටය. තම රාජධානිය වැඩිමහල් පුත් කුමරුට නොපවරා මහා අස්ථාන කුමරුට ලබා දීම සදහා, සෙනරත් රජු උපක්‍රමයක් යෙදූ බව ජනප්‍රවාදයේ සඳහන් වේ.

මේ අනුව තම රාජධානිය ඌව, මාතලේ  සහ මහනුවර යනුවෙන් කොටස් තුනකට බෙදා, කුමරුන් තිදෙනා හට පවරා දෙන බව  සැල කරන ලදි. රජුගේ අවශ්‍යතාවය වූයේ තම රාජධානියේ අගනුවර වන මහනුවර, මහා අස්ථාන කුමරු හට ලබා දීමටය. ඒ අනුව ඔහු උපක්‍රමයක් යෙදුවේය. එනම් මෙම රාජධානි තුන, කුසපත් ක්‍රමයකට බෙදා දීමට තීරණය කිරීමය. එහිදී පිය රජු විසින් තම බාල පුත් කුමරා හට මහනුවර රාජධානිය යනුවෙන් සඳහන් ඇති කුසපත් ලබා ගන්නා ආකාරය පිළිබද කුසපත් ඇදීමට පෙර රහසේ උපදෙස් දුනි.

ඒ ආකාරයටම වැඩිමහල් කුමරු වූ කුමාරසිංහ කුමරුට ඌවද, විජේපාල කුමරුට මාතලේද, මහා අස්ථාන කුමරුට, රාජධානියේ අගනුවර වූ මහනුවරද ලැබුණි.

කන්ද උඩරට රාජ්‍යයේ යුධ කටයුතු මෙහෙයවීම මෙම කුමරුන් තිදෙනාට බාර වූ අතර, 1630 වර්ෂයේ ඌවේහිදී ඇති වූ මහ සටනකින් එකල ලංකාවේ පෟතුගීසි ජෙනරාල් වරයා වූ කොන්ස්ටන්ටිනෝ නොරන්හා (Constantino de Say Noronha) ඇතුලුව මුලු පෟතුගීසි හමුදාවම සමූල ඝාතනය කිරීමට මේ කුමරුන් තිදෙනාට හැකියාව ලැබුණි.

1634 දී සෙනරත් මිය ගියෙන් රාජ්‍ය  පාලනය කුමරුන් තිදෙනාට භාර විය. කුමාරවරු තිදෙනා මහනුවර රාජ සභාවේ සිට සිය ප්‍රදේශ පාලනය කරමින් සිටියහ. මොවුන් අතරින් වැඩිමහල් කුමරා වූ කුමාරසිංහ කුමරු රාජාභිෂේක කරන ලද අතර, අනික් කුමාරවරු දෙදෙනා ඔහුගේ ප්‍රාදේශීය පාලකයන් ලෙස සැලකිණ. 1634 වර්ෂයේදී ඌව ප්‍රදේශය පාලනය කල කුමාරසිංහ කුමරු මිය ගියේය.

මේ අවස්ථාවේදී මීලඟට ජේෂ්ඨ කුමරු වූ විජේපාල කුමරු අභිෂේක කරනු ලැබිය යුතු වුවද, රාජධානියේ ප්‍රධාන නුවර වූ සෙන්කඩගල පාලනය කල මහා අස්ථාන කුමරු වැඩි බලයකින් යුතු වූ හෙයින්, රාජසිංහ නමින් රාජාභිෂේක ලැබීය. මිය ගිය කුමාරසිංහ කුමරුට අයිති වූ ඌව රාජ්‍යයද මහනුවරට ඈඳා යා කර ගත් රාජසිංහ රජු, කුමාරසිංහ කුමරුට අයිති වූ සියලු වස්තුවද තම සන්තකයට ගෙන, මුදල් පෙට්ටි දෙකක් පමණක් විජේපාල කුමරුට ලබා දුන්නේය.
to be continued..

http://lakshmanillangakoon.blogspot.com/2017/03/blog-post_26.html

3 comments:

  1. අපේ විමලසූරිය පරම්පරාව පැවත එන්නේ විමලධර්මසූරිය රජතුමාගෙනි...සර් දන්නව ධර්ම කෑල්ල හැලුන හැටි !

    ReplyDelete
  2. ඉතිරි කොටස කියවලම අදහසක් දක්වන්නම්.

    ReplyDelete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...