Wednesday, March 22, 2017

අවදිවනු, මේ පන්ති අරගලය සදහා කාලයයි; දොන් කුයිසෝට් අනුගමනය කරමු.








අප කුඩා කාලයේ ධනපති පන්තිය, නිර්ධන පන්තිය, පන්ති අරගලය වැනි ලේ කැකෑරෙන වචන නිතරම අහන්නට ලැබුණි. වරාය, ලංගම සහ නොයෙකුත් රාජ්‍ය ආයතනවල හැමදාම පාහේ වර්ජන  පැවැත්වෙන විටත් මැයි දින පෙලපාලි වලත් මෙවැනි සටන්කාමී වචන තොග ගණනේ භාවිතා කෙරිණ. 

මෙවැනි සමාජවාදී එමෙන්ම පන්ති අරගලය කොතරම් උණුසුම්ව තිබුනේද යත් අප පීඨයේ එක් සිසුවෙකුව අනවර්ථව හැදින්වූයේ නිර්ධනයා යන නමිනි. ඒ ඔහු කොතරම් නිර්ධන පන්තිය වෙනුවෙන් කතා කරනවාද යන්න නිසාය. 

තවත් අප පීඨයේ සිසුවෙකු විශ්ව විද්‍යාලයේ තමන්ට කාමරය ලැබුනු ගමන්ම කාමරයේ බැල්කනියේ පැත්තට එළියේ බිත්තියේ තඩි අකුරෙන් ක්‍රෙම්ලින් කියා ලිව්වේ ඔහු කොතරම් කොමියුනිස්ට් වාදියෙකුදැයි විශ්ව විද්‍යාලයේ සියලු දෙනාට ප්‍රදර්ශනය කිරීමටය; මෙය සිදුවූයේ 1989 බර්ලින් තාප්පය බිදවැටිමට පෙරය. 

ටික කලක් භාවිතයෙන් විශාල ලෙස ඉවත්වී තිබී දැන් මේ යෙදීම් නැවතත් අළු ගසා දමා හෙමින් හෙමින් භාවිතයට එන බව පෙනේ. යම් අවශ්‍යතාවක් නිසා පන්ති අරගලය ක්‍රමයෙන් හිස ඔසවන බව පෙනේ. 

ප්‍රංශ විප්ලවයේ එසේත් නැත්නම් රුසියාවේ මෙලෙස ඇත්තෙන්ම පන්ති අරගල පැවතුන රටවල් දෙකකි. ඒවායේ පන්ති අරගල කර ගැනීමට පැහැදිලිව පන්ති දෙකක් එකල තිබුනි. ඉහල පන්තියේ සිටියේ වංශාධිපතිවරුන්ය. ඔවූහූ විශාල ඉඩම් හිමියන්, පල්ලියේ ප්‍රධානීන් හෝ එසේත් නැත්නම් ඉහල රාජ්‍ය හා හමුදා නිලධාරීන් වූහ. බොහෝ දෙනෙකු මෙම කණ්ඩායම් තුන අතර මාරුවෙමින් සිටි අය වූහ. 

අනෙක් පන්තියේ සිටියේ ගොවියන්, කම්කරුවන්, වෙළෙන්දන් වැනි රැකියාවල යෙදුනු පුද්ගලයන්ය. මෙම වැඩවසම් පාලනක්‍රම පැවතුනු යුගවල පහල පන්තියේ සිටි කිසිවෙකුට කොතරම් දක්ෂතා තිබුනද, කොතරම් හැකියාවල් තිබුනද ඉහලින් තිබූ පන්තිය තුලට යාමට පුලුවන් කමක් තිබුනේ නැත. ඔවූහූ කොතරම් හැකියාවක් හෝ දක්ෂකමක් තිබුනත් තමන්ගේ පන්තියෙන් ඉහලට යාමට හැකියාවක් ලැබුනේ නැත. මෙය බොහෝ දුරට ලංකාවේ එකල පැවති කුලබේදය වැන්නකි; කොතරම් ගණන් පුලුවන් වුවත් ඔහු අයත් වූයේ ගණිත හෝ නැකැත් කුලයටය.

සමහර රටවල මෙම පන්ති අරගල ඇතිවන්නට පෙර කර්මාන්ත යුගය ඇතිවිය. කර්මාන්ත යුගයෙන් ලොව බොහෝ වෙනස්කම් ඇතිවිය. එයින් වැදගත් එකක් වූයේ හැකියාවන් හා දක්ෂතාවයන් ඇති පුද්ගලයන්ට තමන් ඉපදුන පන්තිය හෝ කුලය බිදගෙන එයින් ඉහලට යාමට ඇති හැකියාවයි. එය ක්‍රමයෙන් ඉදිරියට ගොස් දැන් එම සීමාවල් ඇත්තෙන්ම ඉවත්ව ගොසිනි. උදාහරණයක් වශයෙන් ලෝකයේ දැන් සිටින ධනවත්ම පුද්ගලයන් සියදෙනා ගතහොත්; මේ අවුරුද්දේ නැවත වරක් බිලියන 80 ගනනක වත්කම් සහිතව බිල්ගේට්ස් අංක එකට පැමිණ තිබේ - තමන්ගේ දෙමව්පියන්ගේ ධනයෙන් යම් තරමකට හෝ ආරම්භයක් ලබා ගත්තේ නම්, ඒ මට හිතෙන විදිහට ඉන්දියාවේ මුකේෂ් අම්බානි(33) පමණි.  

මේ සිය දෙනාගෙන් ඇති බහුතරයක් බොහෝ දුප්පත් පවුල් වලින් පැමිණ අමාරුවෙන් අධ්‍යාපනය ලබා ව්‍යාපාරවල යෙදී ‍පොහොසත් වූවන්ය. ඔවුන්ගේ විස්තර ඕනෑම කෙනෙකුට විකිපීඩියා වෙත ගොස් බලාගත හැක. ඇත්තෙන්ම පන්ති අරගල ජයග්‍රහණය කලෝ මොවුන් නොවේද? තමන් ඉපදුන සමාජ ස්ථරයෙන් ගැලවී තමන්ගේ හැකියාවන් සහ දක්ෂතා ඔප මට්ටම් කරගෙන එම ලැබූ හැකියාවන් ගෙන් තමා ඉපදුනු ජන සංහතියට අලුත්දෑ ලබාදී සම්පත් බිහිකර සමාජය වෙනස්කර තමා ඉපයූ මුදලින් වැඩි කොටසක් ආපසු සමාජයේ දියුනුවටම යොදවමින් පන්ති සම්පූර්ණයෙන් අභිබවා ගොස් මුලු ලෝකයටම ආදර්ශයක් ගතහැකි මෙවැනි පුද්ගලයන් අප සියලු දෙනාගේ ගෞරවයට පාත්‍ර විය යුතු නොවේද? 

අප අනාගත පරම්පරාවන් ආදර්ශයට ගත යුත්තේ මෙවැනි සාර්ථක පුද්ගලයන්ද, එසේත් නැත්නම් දොන් කුයිසෝට් ලෙසට සිතින් මවාගත් පන්ති බලකොටු වලට පහර දෙමින් තමන්ගේ කාලය නාස්ති කරන ගමන් අනුන්ගේ කාලයද නාස්ති කරනා පුද්ගලයන්ද?  


     

5 comments:

  1. දොන් කුයිසෝට්ව. ඒක ලේසියිනේ.

    ReplyDelete
  2. අප අනාගත පරම්පරාවන් ආදර්ශයට ගත යුත්තේ මෙවැනි සාර්ථක පුද්ගලයන්ද, එසේත් නැත්නම් දොන් කුයිසෝට් ලෙසට සිතින් මවාගත් පන්ති බලකොටු වලට පහර දෙමින් තමන්ගේ කාලය නාස්ති කරන ගමන් අනුන්ගේ කාලයද නාස්ති කරනා පුද්ගලයන්ද? //////// +++++++

    ReplyDelete
  3. එකල රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සටන් කල දේශීය වෛද්‍ය පීඨ වල ඉගෙන ගත් අතීත සිසු නායකයන් කීප දෙනෙකු මට ලංකාවේ විවිධ රෝහල් වල හමු වී තිබේ. පේරාදෙනිය වෛද්‍ය පීඨය නිම කල එක් සිසු නායකයෙකුගේ වෛද්‍ය වෘත්තික ක්‍රියා කලාපය මම මිනිපේ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී ලෙස සේවය කල කාලයේ දුටුවෙමි. දුප්පත් රෝගීන් ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මිනී පෙට්ටි ඔසවාගෙන උද්ඝෝෂණ වල ගිය ඔහු වෛද්‍යවරයෙකු වූ පසු රාජකාරී වේලාවේ තම නිල නිවසේදී පුද්ගලිකව රෝගීන් මුදලට බැලීය​. එසේම තම පීපී එකට නාව දුප්පත් රෝගීන්ට රෝහලේදී ඇඳක් දුන්නේවත් ඔවුන්ව නිසියාකාරව බැලුවේත් නැත​. අසීමිත ලෙස පුද්ගලික සේවයේ යෙදෙමින් අනෙකුත් වෛද්‍යවරුන් ගේ ප්‍රතිකාර රෝගීන් ඉදිරියේ මෙන්ම කාර්‍ය මණ්ඩලය ඉදිරියේ විවේචනය කල ඔහු රෝහලේ කම්කරුවන් දෙදෙනෙකු යොදා ගනිමින් අනෙකුත් වෛද්‍යවරුන්ට එරෙහිව මඩ ප්‍රචාර ගෙන ගියේ තම වියාපාරය තව තවත් දියුණු කර ගැනීමේ අභිලාශයෙනි.

    අරණායක ප්‍රදේශයෙන් පැමිණි මොහු මේ සා පිස්සුවෙන් මෙන් මුදල් පසුපස ලුහුබැන්දේ අළුත් මෝටර් රථයක් ගැනීමටත් නව නිවසක් තනා ගැනීමේ මූලික අභිලාශයෙන් බව මට වැටහුණි. පුද්ගලික සේවය වෙනුවෙන් බොහෝ වෛද්‍ය ආචාර ධර්ම කඩ කල මේ අතීත සිසු නායකයා කරන ලද එක් අගතිගාමී ක්‍රියාවක් මම සඳහන් කරමි. ඒ කාලයේ මම පීපී නොකලෙමි. එම නිසා මෙම පුද්ගලයා සහ මා අතර කිසිදු ගැටුමක් නොවීය​. ඔහු මට කිසිදු වරදක් කොට නොමැත​. එහෙත් ඔහු නරුම මිනිසෙකි.

    කොලොන්ගොඩ ප්‍රදේශයේ සණස බැංකුවේ සේවය කල යසා නම් කාන්තාවගේ දියණියට ඩෙංගු රෝගය වැළඳුන විට ඇය දියණිය ගෙන යන්නේ මේ වෛද්‍යවරයා සේවය කල හසලක රෝහලටය​. පීපී ගැටුම් ගැන කිසිවක් නොදත් යසා මුලින්ම යන්නේ හසලක රෝහලේ ආර් එම් ඕ හෙවත් සහකාර වෛද්‍ය නිලධාරියාගේ පුද්ගලික චැනල් මධ්‍යස්ථානයටය​. එහිදී සහකාර වෛද්‍ය නිලධාරියා රෝගී දැරිය ඩෙංගු රෝගයෙන් පෙලෙන බව අනුමාන කොට හසලක රෝහලට ඇතුලත් කරයි. නමුත් තම පීපී එකට නාව මහා පාපකර්මය නිසා උක්ත වෛද්‍ය නිලධාරියා දැරියව තම වාට්ටුවේදී නොසලකා හරියි. ඇයට අවශ්‍ය ප්‍රතිකාර නිසි ලෙස ලබා නොදේ. අවසානයේදී දැරිය ඩෙංගු රක්තපාත තත්වය නිසා අසාධ්‍යව මිය යන්නීය​.

    ReplyDelete
    Replies
    1. ඛේදනීයයි. සමහරු සටන් පෙරමුණේ ඉන්නෙ තම පෞද්ගලික අභිමතාර්ථ සාක්ෂාත් වන තුරු පමණයි.

      Delete

වර්ජන වලට මුහුණ දිය යුත්තේ කෙසේද ? සරල උපදෙස් කිහිපයක්

ලංකාවේ තරම් වර්ජන ලෝකයේ කිසිම රටක ඇත්තේ නැත, ඉන්දියාවේ සමහරවිට ප්‍රාදේශීය මට්ටමෙන් තිබෙන්නට පුළුවන, එහෙත් ජාතික වශයෙන් නම් මේ වගේ විහ...