Monday, January 16, 2017

ඕන් නමෝ වෙන්කතේශ්වරා ; තිරුපති වන්දනාවේ යාමට වඩා එහි ක්‍රියාකාරකම් ආදර්ශයට ගැනීමේ වැදගත්කම.


                                   කාවේරි ගඟේ පිලිස්සූ මිනී වල අළු ගෙනවිත් පුදපූජා පවත්වන ස්ථානය.

මම දෙවියන් පිලිගන්නේ නැති වුවද එක් වරක් මගේ මිතුරෙකුගේ ඉල්ලීම අහක දැමීමට බැරි නිසාත් කොහොමත් ට්‍රිප් එකක් නිසාත් වරක් මම තිරුපති වන්දනාවේ ගියෙමි. මේ ශ්‍රී වෙන්කතේශ්වරා කෝවිල අන්ද්‍රා ප්‍රදේශයේ තිරුමලා කඳු වලල්ලේ මුදුන් හතෙන් එකක පිහිටා ඇත. මෙය වටා තිරුමල අභය භූමිය පිහිටා ඇති අතර, එයද හඳුන්වන්නේ ශ්‍රී වෙන්කතේශ්වරා ජාතික උද්‍යානය ලෙසය. මෙම ජාතික උද්‍යානය අක්කර 87.000 ක් වන අතර, වල් අලි, ව්‍යාඝ්‍රයන් සහ බොහෝ සත්ව වර්ග 178 ක් නිදහසේ ජීවත් වෙති.

අපි ලංකාවේ ප්‍රසිද්ධ දේවස්ථානයක කපු මහතෙකුද සමග පිටත්වී චෙන්නායි ගුවන් තොටුපලට ලඟා වුනෙමු. මගේ මිතුරාගේ හොඳම මිතුරෙකු වන ඉන්දියාවේ ප්‍රධාන පෙලේ රෙදි නිපදවන කර්මාන්ත කරුවෙකු අප පිළිගෙන අන්ද්‍රා ප්‍රදේශයේ කුමාරපලයන්හි පිහිටි ඔහුගේ නිවසට රැගෙන යාමට පැමිණ සිටියේය. එදින රාත්‍රියේ අපි ඔහුගේ චෙන්නායිහි පිහිටි නිවසේ ලැගුම් ගත්තෙමු. පසුදින දවසම වාගේ ගමන් කර  ඔහුගේ නිවසට ගියෙමු.

මෙම ව්‍යාපාරිකයාට ඔහුගේ බිරිඳ ඇමතුවේ මාමා කියාය. මේ ඇසුනු මම අපේ භාෂාවෙන් නම් මාමා කියා ආමන්ත්‍රණය කරන්නේ අම්මාගේ සහෝදරයාට බව මම ඔවුන්ට කීවෙමි. ව්‍යාපාරකයාගේ බිරිඳ ඔවුන්ගේ භාෂාවෙනුත් එහි තේරුම එයම බවද ඇත්තෙන්ම ඇයගේ ස්වාමියා ඇයගේ මාමා බවද කීවාය.

එය දකුණු ඉන්දියාවේ පැරණි සිරිතක් බව ඇය කී විට දෙමළ චිත්‍රපටවලද මෙලෙස මාමා සමග විවාහ වීම මා දැක ඇති බවත්, මම ඒ චිත්‍රපට බලද්දී ඒ මාමා යනුවෙන් අදහස් කරන්නේ මස්සිනා වෙන්නට ඇතැයි මා අනුමාන කල බව මට මතක් විය.

කාවේරි ගඟ අසබඩ පිහිට ඔවුන්ගේ නිවසට අපි යන විට එදින හවස් විය. කාවේරි ගඟ නිවස පසු පසට පෙනෙන ලෙසට සාදා තිබූ මෙම නිවස දෙමහල් අති විශාල නිවසක් විය.

නිවසේ ඉදිරි පස තරමක කෝවිලක් සාදා තිබුණි. එය පවුලේ කෝවිල වූ අතර, නිවැසියන් උදේ නිවසින් පිටවීමට පෙර කෝවිලට ගොස් පුද පූජා පැවැත්වීමට පුද්ගලික පූජකයෙක්ද සිටියේය. අප සෑම දෙනාටම වෙන වෙනම කාමර ඉහල මාලයේ ලැබුණි. ඒ සෑම කාමරයකම නාන කාමරයේ රෙදි සෝදන යන්ත්‍රයක් තිබුනද සෑම උදයකම කාන්තාවක් පැමිණ අපගේ සෝදන්නට තිබෙන රෙදි ඉල්ලා ගෙන ඒවා සෝදා මැද හවසට ආපසු කාමරයට ගෙනවිත් දුන්නාය. පසුව මම ඇය පවුලේ ඒ කාර්යය කිරීමට පමණක් සිටින බව දැන ගත්තෙමි.

අපිට ගමන් බිමන් සදහා සුදු පැහැති බෙන්ස් රථයක් රියදුරුත් සමග ලැබුණි. වරෙක මම ඒ රියදුරු ලවා මට ඉන්දියාවේ පුරුදු ෆෝ ස්කොයා සිගරට් පැකට්ටුවක් ගෙන ඒමට ඔහුට මුදල් දුන්නෙමි. ටික වේලාවකින් අපේ මිතුරා නොයෙකුත් ඇමරිකානු බ්‍රෑන්ඩ්වල සිගරට් කාටූන් කිහිපයක් රැගෙන මගේ කාමරයට පැමිණ එයින් ඕනෑම එකක් තෝරා ගන්නා ලෙසට අවශ්‍ය ඕනෑම වේලාවක ඔහුගේ බීම කැබිනෙට්ටුවෙන් බීම රැගෙන පානය කරන ලෙසටත් මගෙන් ඉල්ලා සිටියේය. 

එම නිවසේදී වරක් මම එහි මුළුතැන් ගෙය බැලීමට එයට ගියෙමි. ගෘහණිය ඉඳගෙන උපදෙස් දෙමින් සිටි අතර, දෙතුන් දෙනෙකු උයමින් සිටියහ. එතන සිටි තරුණ කාන්තාවකට ගෘහණිය පූගොඩී කියා ආමන්ත්‍රණය කරනු ඇසී මම එහි තේරුම මල් කළබක්දැයි ඇගෙන් ඇසුවෙමි. ඇය පුදුමයට පත්වී මා එය දැනගත්තේ කෙසේදැයි ඇසූ විට මම ඇයට අපේ භාෂාවෙත්එහි තේරුම මෙයට කිට්ටු බව කීවෙමි. 

 ඔහු ප්‍රධාන පෙලේ රෙදි නිෂ්පාදනයෙකු වුවද;  මට මතක හැටියට ඔහු එකල දකුණු ඉන්දියාවේ රෙදි නිෂ්පාදන සංගමයේ සභාපතිවරයාද විය, ඉතාමත් උද්යෝගිමත් ගොවියෙකුද විය. කාවේරි ගඟෙන් අගල් 6 ක පමණ යකඩ බටයක් යොදා පොම්පාගාරයකින් වතුර පොම්ප කර ගඟට කිලෝ මීටර් 6 ක් දුරින් පිහිටි ඔහුගේ ගොවිපලට ජලය ගෙන යාමට සකස්කර තිබූ ආකාරය වරෙක ඔහු මා රැගෙන ගොස් පෙන්වීය. මම මුලින්ම වැනිලා වගාවක් දැක්කේ එම ගොවිපලේදීය. ගොවිපලේ ප්‍රධාන වශයෙන් තිබුනේ තේක්ක, කරපිංචා, වැනිලා සහ එළ හරක් පට්ටියකි. ගොම දියකර බට වලින් වගාවන්ට බෙදා හැරීමට විශාල ටැංකි බැඳ මිශ්‍ර කිරීමට සාදා තිබූ උපකරණ එකල හැටියට සිතා ගන්නටවත් බැරි තරම්ය.

කරපිංචා ගස්වල අඩි 4 ක් පමණ උසින් කපා අලුතින් අතූ 3 ක් එන්නට ඉඩ හැර වවා තිබූ ආකාරය මට තවමත් මතකය. මම මගේ ජීවිතයටම වානිජ වශයෙන් කරපිංචා වැවීමක් දැක්කේ මේ අවස්ථාවේ පමණි.

දවස් තුනකට පමණ පසු අපි වාහන තුනකින් ඔවුන්ගේ මිතුරු පවුලක්ද සමග තිරුපති කෝවිල බලා පිටත් වුනෙමු. එයද වරුවක පමණ ගමනක් විය. මිතුරු පවුලේ සිටි කාන්තාවගේ, මා හිතන විදිහට සහෝදරයෙකු තිරුපති කෝවිලේ භාරකාර සමාජිකයෙකු නිසා අපිට VIP පෝලිමෙන් කෝවිලේ කඳු මුදුනට ලඟාවිය හැකිවිය. කඳු මුදුනක පිට්ටනියක් වැනි ස්ථානයක තරමක නගරයක් ලෙස කෝවිල සහ සහකාර ගොඩනැගිලි සෑදී ඇත VIP වාහන වලට පාරේ එක් පැත්තකින් මුඳුනට ගමන් කල හැකි අතර, සාමාන්‍ය වාහන පෝලිම කන්ද වටා ඇති පාරේ කැරකෙමින් කිලෝ මීටර් ගණනක් දුරට විහිදී තිබුනු ආකාරය අපට දක්නට පුලුවන් විය. කන්ද මුදුනේ නගරයක් ලෙස සෑදී තිබුනේ බොහෝ විට නැවතීමට හෝටල්, කොණ්ඩය කපන ස්ථාන, නොයෙකුත් සිහිවටන විකුණන ස්ථාන සහ  වන්දනා කරුවන්ට ආහාර දෙන ස්ථාන වලිනි. 



එහි ඇති සියලුම නවාතැන් පලවල් සහ කඩ අයිති වන්නේ කෝවිලේ භාරකාර මණ්ඩලයටයි. එහි කෑම ශාලාවල කෑම සම්පූර්ණයෙන් නොමිලේ ලබාදෙන අතර, එහි කෑම ශාලාවක ඇතුලේ එල්ලා තිබූ ලොකු දැන්වීම් පුවරුවක් මට තාමත් මතකය

Food is god, dont waste it 

තිරුපති යන බොහෝ දෙනෙකු පාහේ කොණ්ඩය බූ ගා ගනිති. ඒ සදහා මැදින් වතුර ගලායන විශාල කානුවක් සහිත සෑහෙන දිගග් ඇති බාබර් වරුන් සියයක් පමණ වැඩ කරන 24x7  ස්ථාන, මට හිතෙන හැටියට දෙකක් තිබේ. රුපියල් 10 ක් ගෙවූ විට විනාඩියෙන් කොණ්ඩය සම්පූර්ණයෙන්ම කපා දමනු ලැබේ. මටද මේ පිළිබඳව ආශාවක් ඇතිවී මමද කොණ්ඩය කපා ගතිමි. මම දෙවියන් නොඅදහන නිසා කොණ්ඩය කපන විට ඒ සදහා දෙවියන් යමක් ලබා දෙන්නේ නම්, එය මා සමග පැමිණි මිතුරන්ට ලැබේවායි මා ප්‍රාර්ථනය කලෙමි. මෙතන කොපමණ කපනවාද යත් ගිය 2013 ඒ කපන ලද කොණ්ඩ තොගය ඉන්දියානු රුපියල් කෝටි 200 කට ඊ - වෙන්දේසියකින් විකුණා ඇත්තේය.

උදේ පාන්දරම අවදි වූ අපි  VIP පෝලිමට එකතු වි කෝවිල ඇතුලේ වට කිහිපයක් කැරකී බාලාජී නැමැති දෙව්රුව ලඟට ගොස් කපුවන්ගෙන් ආශීර්වාද ලබාගෙන එළියට පැමිණියෙමු. එදින ඉන්දියාවේ මහාරාජ කෙනෙකු, මට මතක හැටියට මයිසෝරයේ, බයිපාස් සැත්කමකට පෙර බාරයකට අනුව ඔහුගේ බරට තරාදියක කිරා රත්තරන් කෝවිලට පූජා කල බව එහිදී කථාවුනා මතකය. ඉතාමත් ස්ථූල සිරුරක් ඇති පුද්ගලයෙකු පෙන්වා යමෙකු ඔහු ඒ මහාරාජ බව කිව්වාත් මට මතකය.

ආපසු කුමාරප්පාලන්  වෙත ගිය මිතුරන් එහි ටික දිනකට නැවතුනු අතර මට එතරම් කල් නැති නිසා ට්‍රිචි ගුවන් තොටුපලට ගොස් ලංකාව බලා ආවෙමි. එම ගුවන් තොටුපල වලදීද ගුවන් තොටුපල නිලධාරීන් කොණ්ඩය බූ ගා ඇති පුද්ගලයන් ගෙන් තිරුපති වලදී ලබාදෙන ලඩ්ඩු ඉල්ලා කරදර කරන්නේ එයින්වත් දේව පිහිටක් ලබා ගැනීමට විය යුතුය. 

මේ සියල්ලටම වඩා තිරුපති කෝවිල වැදගත් වන්නේ එයට ලැබෙන මුදල් පරිහරනය කරන ආකාරයයි. එය බොහෝ ආගමික පූජස්ථාන වලට හොඳ උදාහරණයකි. පාලන මණ්ඩලයකින් කලමනාකරණය කරන කෝවිලේ ලැබෙන ආදායම ඉතාමත් විනිවිද පෙනෙන ආකාරයෙන් ගණනය කර ඒ මගින් නගරයේ සිට කෝවිලට යාමට ඒමට බස් සේවයක්ද, වන්දනාකරුවන්ට ආහාරද නොමිලේ 

දෙන අතර කඳු මුදුනේ ඉතාමත් පහසු මුදලට නවාතැන් පහසුකම් ලබා දේ. නොමිලේ ලඩ්ඩු බෙදා දීමද කෙරේ. කෝවිල් මණ්ඩලය මගින් ඉන්දියාව පුරා විශ්ව විද්‍යාල සහ අනෙකුත් විද්‍යාල බොහෝ ගණනක්ද, මංගල උත්සව සදහා ශාලා පද්ධතියක්ද, රෝහල්ද, විශාල පුස්තකාලයක්ද, පවත්වාගෙන යන්නේ එයට ලැබෙන ආදායමෙනි.
                                     තිරුපති  කෝවිලෙන් පාලනය වන ඉංජිනේරු විශ්ව විද්‍යාලයක්.





තිරුපති තරම් නැති වුවද ලංකාවේද මෙවැනි ලොකු ආදායම් ලබනා පූජනීය ස්ථාන අපමණය. එහෙත් මෙවැනි ජනතාවට සේවයක් කරන පුජස්ථාන තිබෙන්නේ කීයෙන් කීයද? මෙතරම් ආදායම් ලබන දළදා මාළිගාවට පැමිණෙන සැදැහැවතුන්ට වාහන නවතා ගැනීමටවත් තවමත් තැනක් නැත්තේය.           

6 comments:

  1. Excellent compiling that I feel I went to Third pathikirikorale but I have never visited this place. Thanks Lakshman for your great service of sharing all those important details.

    ReplyDelete
  2. //මේ සියල්ලටම වඩා තිරුපති කෝවිල වැදගත් වන්නේ එයට ලැබෙන මුදල් පරිහරනය කරන ආකාරයයි. එය බොහෝ ආගමික පූජස්ථාන වලට හොඳ උදාහරණයකි. පාලන මණ්ඩලයකින් කලමනාකරණය කරන කෝවිලේ ලැබෙන ආදායම ඉතාමත් විනිවිද පෙනෙන ආකාරයෙන් ගණනය කර //

    +++++++++++++++++++++++++++++

    ReplyDelete
  3. තිරුපති තරම් නැති වුවද ලංකාවේද මෙවැනි ලොකු ආදායම් ලබනා පූජනීය ස්ථාන අපමණය. එහෙත් මෙවැනි ජනතාවට සේවයක් කරන පුජස්ථාන තිබෙන්නේ කීයෙන් කීයද?////// ++++++++++

    ReplyDelete
  4. //තිරුපති තරම් නැති වුවද ලංකාවේද මෙවැනි ලොකු ආදායම් ලබනා පූජනීය ස්ථාන අපමණය. එහෙත් මෙවැනි ජනතාවට සේවයක් කරන පුජස්ථාන තිබෙන්නේ කීයෙන් කීයද? මෙතරම් ආදායම් ලබන දළදා මාළිගාවට පැමිණෙන සැදැහැවතුන්ට වාහන නවතා ගැනීමටවත් තවමත් තැනක් නැත්තේය. //++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. ඇයි බං ගස්ලබ්බෝ.....කතරගම ගියාම මයුරා පාක් කරලා තියෙන පැත්තෙම පාකින් නැද්ද. මහ කපුවලාගේ ඉපදෙන්න ඉන්න පරම්පරා හතම මයුරා පිට පාකින්නේ...ඔය මයුරා නොහිටින්න ස්කන්ධ කුමාරයාට පාක් කරන්න වෙන්නෙත් , මහ කපුවාගෙන් අවසර අරන්. පිස්සු හලෝ.

      Delete

යුධ නැවක් මිලදී ගැනීමට හේතුවක් සෙවීම

ජාතියක ආරක්ෂාව ස්ථාපිත කිරීම ඕනෑම රජයක මුලික වගකීමකි. ජාතික ආරක්ෂාව යනු රජය එහි පාර්ලිමේන්තුවත් එකතුව තමන් සතුව තිබෙන දේශපාලන , රාජ්...