Friday, January 13, 2017

නියඟයට මුහුණ දෙන්නේ කෙසේද?







නොයෙකුත් පණ්ඩිතයන්, විශේෂඥයන්, නිලධාරීන් සහ දේශපාලඥයන් මේ දිනවල ලඟ එන ලොකු නියඟයක් ගැන නිතරම කථා කරනු දක්නට ලැබේ. මෙම නියඟය ඇත්තෙන්ම දැනටමත් පටන් ගෙන ඇති අතර, සාමානයයෙන් ලංකාවට වැඩියෙන් වර්ෂාව ගෙන එන මහ කන්නය රටට නොලැබී යන ආකාරයක් පෙන්නුම් කරයි. මෙවැනි නියඟයක් ඇති වන්නේ බොහෝ කලාතුරකිනි. අනෙක් පැත්තෙන් කලාතුරකින් සිදුවන දේට ලෑස්ති වී සිටීමටත් අපහසුය. 

මෙම නියඟයට අප රාජ්‍යය ලෑස්ති වී සිටිය යුත්තේ කෙසේදැයි සාකච්ඡා කරන්නට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද සාකච්ඡාවක කොටසක් රූපවාහිනියේ ප්‍රවෘත්ති වලට පෙන්වීය. එහි අවසාන තීරණයන් යැයි බොහෝ විට සිතිය හැකි කොටසේ ජනාධිපතිවරයා පවසා සිටියේ පලාත් ලේඛම්වරුන් සහ හමුදාව නියගය තද වූ විට ජනතාවට සහන සැලසීමට, එසේත් නැත්නම් නියඟයේ අයහපත් ප්‍රතිඵල අඩුකර ගැනීමට යොදවා ගන්නා බවය. 

මෙය අලුත් දෙයක් නොවේ. හැමදාම සිදු වන්නේ නියඟය හොඳින්ම තද වී බොන්නට වතුර නොමැති වූ විට හමුදාවත් යොදාගෙන බවුසර් වලින් වතුර බෙදීමය. නමුත් ඇත්තෙන්ම නියඟයකට ලෑස්ති වෙනවා කියන්නේ මෙයටද? 

නියඟයක් ඇති වූ විට ප්‍රධාන වශයෙන් අයහපත් ප්‍රතිඵල කිහිපයක් ඇති වේ. 

පලමුවැන්න අපට වෙනදා මෙන් ගොවිතැන් කර ගැනීමට ජලය නැති වීමයි. එයට දැනටමත් සිදු වී තිබේ. ලංකාවේ තිබෙන කුඹුරු වලින් මේ කන්නයේ වගා කර ඇත්තේ 35% ක් පමණ යැයි ඒ සම්බන්ධ රජයේ නිලධාරියෙක් රූපවාහිනියේ ඊයේ පැවසීය. ඇත්තෙන්ම තත්වය මීට වඩා භයානකය. අපේ ගමේ අක්කර 20 ක් පමණ මා දන්නා කුඹුරු වලින් මෙවර වගාකර ඇත්තේ අක්කර 1/8 ක පමණ කුඩා කුඹුරක් පමණි. එය අයිති විශ්‍රාමලත් තැපැල් ස්ථානාධිපතිවරයා ඔහු එය රුපියල් 5000 ක් පමණ වියදම් කර ගොවිතැන් කිරීම ගැන කනගාටු වනවා නොවනුමානය. මක් නිසාද, තවත් සති දෙකක් මේ විදිහට තිබුනොත් ඒ ගොයමෙන්ද වැඩක් වන්නේ නැත. ඒ නියැදියෙන් ගියහොත් මෝසම් වැස්ස ආවේ නැත්නම් ලංකාවේ කුඹුරු වලින් 10% ක වත් කරල් පැහෙන්නට ඉඩක් නැත.   
දෙවැනි ප්‍රතිඵලය බොන්නට ජලය නැතිවීමය. මේ සදහා ජලාශවල ජලය අඩු වීමට ප්‍රධාන කාරණයක් වන්නේ බොහෝ ගෘහයන්හි නියඟ කාලයට නිවසේ උද්‍යාන වලට ජලය දැමීමට පටන් ගැනීමයි. එලෙස අවශ්‍ය නැති  නිවෙස්වල පවා මෙලෙස කිසිම ගණනක් නොමැතිව හවස් වරුවේ උද්‍යාන වලට ජලය නාස්ති කරනවා බොහෝ විට මම හවස ඇවිදින්නට යනවිට දැක තිබේ. 

අපට මෙලෙස ලැබෙන මෝසම් වැස්ස ඉන්දියානු මහා ද්වීපයට ලැබෙන මෝසම් වැස්සේ පද්ධතියක් වෙයි. ඒනිසා අපට මෙන්ම ඉන්දියාවටද මෙම මෝසම් නියඟය තදින්ම බලපායි. එසේ වුවහොත් ඉන්දියාවෙත් අපේ මෙන්ම ගොවිතැන් පාලු වෙනවා ඇත. බිලියනයකටත් වැඩි ජනගහනයකට මේ තත්වය ඇති වූ විට සිදුවන ප්‍රතිඵලය ගැන කිසිම සැකයක් නැත්තේය. නිදහස් වෙළදපොල න්‍යාය වහාම ක්‍රියාත්මක වෙයි. ලෝක වෙළඳපොලේ සහල් මිල බලාසිටියදීම ඉහල යනු ඇත. දැනටමත් එය සිදුවෙමින් පවතී. 

මේ තත්වයෙන් ගැලවීමට රජය වහාම futures සහ options  වැනි වෙළඳපොල මෙවලමකට යා යුතුය. තවත් මිල ඉහල යන්නට පෙර වෙළඳපොලට මෙම නියඟයේ ප්‍රතිඵල දැනෙන්ට පෙර ඇති තරම්  ගිවිසුම් ගතව සහාසික ලෙස සහල් මිල වැඩි වන්නට නොදී සහල් සැපයුමද පවත් ගත යුතුය. 

ගෘහස්ත ජලය අඩු වෙන් පාවිච්ච කර අරපිරිමැස්ම සකසා ගැනීම සදහා කලහැක්කේ එකම දෙයකි. එය අමිහිරිය කටුකදායකය. 

ඒ ජල ගාස්තු වැස්ස එනතෙක් දෙගුණයකින් පමණ වැඩි කිරීමයි. එවිට තණපිටි වලට හැන්දෑවට බට අල්ලාගෙන සෑහෙන දුරකට අඩුවනු ඇත. මෙම වැඩි කිරිම වැස්ස ලැබුණු පසු පෙර තිබූ තත්වයට අඩුකර නියඟයට ගණන් වැඩි කල කාලය හා සමාන කාලයකට ජලය නොමිලේ ලබාදිය හැකිය. එවිට ජනයාද සතුටින් පිනා යනු ඇත්තේය. මක්නිසාද? ජනයාට මතක තියෙන්නේ ක්‍රියාදාමයේ අවසාන පුරුකය. 

නියඟයකට ලෑස්ති විය යුත්තේ මෙලෙසය. එසේ නැතිව ජනතාවට නොයෙකුත් වල් කොල කෑමට පුරුදු කිරීමත්, හමුදාව යොදවා බොන ජලය බවුසර් වලින් බෙදා දීමත් හෝ  සිරිසඟබෝ (307 – 309) මෙන් ජනනායකයා රුවන්වැලිසෑයේ මළුවේ නිදාගෙන වැස්ස වහින තුරු සත්‍යක් ක්‍රියා කිරීමෙන්   නොවේ.

.

4 comments:

  1. නියඟයක් ඒන බව දැණුනාම ජල බිල වැඩි කිරීම ඉතාම හොඳ යෝජනාවක්, මමත් ගෙවතේ වගාවට ලයින් එකේ වතුර ගන්නවා, ඒ වෙනුවෙන් වැඩි මුදලක් ගෙවන්නත් මම සූදානම්. අපි තාමත් ස්මාට් මීටරින් ගැන හිතලවත් නෑ..

    ReplyDelete
  2. කාලගුණ විපර්යාස අපිට මහවාරිමාර්ග ගැන නැවත හිතන්න තැනකට ගේනවා, මහවැලි එච් එක දැනට කන්න තුනක් එක දිගට පේල්, නමුත් එළවළු වගා කරන දිරිමත් ගොවියෝ මුදල් ආයෝජනය කර ජල සැපයුම ස්ථාවර කරගෙන ඇති නිසා නියඟ කන්න වලදී වෙනදාට වඩා වැඩි ආදායමක් ලබනවා.

    මහවාරිමාර්ග පෙල් වෙන්නේ අති විශාල සිස්ටම් වල නියමිත ප්‍රසස්ත මට්මම් නැතිනම් කළමණාකරණය ඉතා අපහසු නිසා, අමාරුවෙන් කළමණාකරණයට ගොස් අමතර ගැටළු ඇතිකර ගැනිමට වඩා නෑ කියා නිකන් සිටීම පහසුයිනේ, නෑ කියා නිකන් ඉන්නත් බෑ සත්‍ය වසන් කරන්න බොරු කියන්නත් වෙනවා, ඉතින් අපි තවත් වතුර නොමිලයේ බෙදන අති විශාල මහවාරිමාර්ග ක්‍රමයක් හදන්නයි යන්නේ, ඒක හම්බන්තොටටත් වඩා විශාල සුදු අලියෙක් වෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඇත්ත, ජලය නොමිලේ නොදී ඉඩම් කට්ටිවල ප්‍රමාණය අක්කර 100 ක් කලොත් අලුත් ව්‍යාපාර වල ගොවියෝ සාර්ථකම ගොවියෝ වෙන අතරේ රටටත් හොඳ ගොවිපලවල් ටිකක් හැදේ.

      Delete

බලය බෙදීම සඳහා ඉන්දියාව වැරදි උදාහරණයට ගැනීම

                                      ඉන්දියාවේ නොයෙකුත් ජාතින් නිසා බෙදා ඇති  අන්දම  පසුගිය දවස් කිහිපයේ මම අවස්ථා  තුන හතරකම නො...