Sunday, August 28, 2016

ක්‍රීඩාව කා සඳහාද?








ක්‍රීඩාව කා සඳහාද?
මේ ලඟකදී මම, ජනාධිපතිතුමා ක්‍රීඩා නිලධාරීන් සමූහයකට ඔවුන්ගේම ක්‍රීඩා උත්සවයකදී කථාවක් පවත්වනවා රූපවාහිනියෙන් දැක්කෙමි.
එහිදී ඔහු වත්මන් ක්‍රීඩා ඇමතිවරයාට ඔප දැමූ ප්‍රශංසාවක් පුදකලේය. ඔහු එහිදී කියා සිටියේ ක්‍රීඩා නිලධාරීන්ගේ වැටුප් සහ නොයෙකුත් වරප්‍රසාද සදහා මේ තරම් කැබිනට් එකේ අරගල කරන ක්‍රීඩා ඇමතිවරයෙකු, ඔහුගේ දේශපාලන ජීවිත කාලය තුල දැක නොමැති බවයි. යම් කෙනෙකු කරන හොඳක් අගය කිරීම හොඳ නායකයෙකුගේ ලක්ෂණයකි. එහෙත් ඉහත සඳහන් කල සිද්ධියේ පොඩි වැරැද්දක් ඇති බව හැඟේ. එයට හේතුව මහජනයා විසින් පත් කරන ලද මහජන නියෝජිතයින්ට, යම් රාජකාරියක් පැවරුන විට, ඔහුගේ ප්‍රමුඛ වගකීම වන්නේ ජනතාවට ඇති වගකීම නිසාය.
ඒ පැත්තෙන් බලන විට ක්‍රීඩා අමාත්‍යවරයෙකුට පැවරෙන, ජනතාව සදහා ඉටුකල යුතු වගකීම් මොනවාද?

1.සාමාන්‍ය ජනතාවට තමන්ට නිදහස් වේලාවල, යම් ක්‍රීඩාවක යෙදීමට අවකාශයන් ඇති කිරීම.

2.ජනතාව එවැනි ක්‍රීඩාවලට යොමු වීමට උනන්දු කිරීම සහ ඔවුන්ට ඒ සදහා පුහුණුවක් ඇති කිරීමට අවකාශ ඇති කිරිම.

3.රටෙහි සෑම දරුවෙකුටම, ලංකාවේ දැන් පැවැත්වෙන ක්‍රීඩා සදහා හැකියාවක් තිබේදැයි උරගා බැලීමට අවස්ථා ඇති කිරිම.

4.එම උරගා බැලීම් වලින් යම් ක්‍රීඩාවක ඉදිරියට යා හැකියැයි හැගෙන දරුවක් තෝරා බේරා ගෙන, ඔවුන්ට තම ගම් ප්‍රදේශය කිට්ටුවම හොඳ පුහුණුවක් ලබාදීම.

5.එම පුහුණු වලින් ඉදිරියට එන දක්ෂයින් විශේෂඥ පුහුණුවකින් අන්තර් ජාතික මට්ටමකට ගෙන ඒම.

මේ ක්‍රීඩා ඇමති ගෙන් හෝ එසේත් නැත්නම් ඊට පෙර ක්‍රීඩා ඇමති කෙනෙකුගෙන් හෝ ජනතාවට මෙවැනි සේවයක් සිදුවූයේ දැයි හිතන්නට අමාරුය. ඇත්තෙන්ම ඒ ගැන කථා කරනවාවත් ඇහෙන්නේ නැත.  
විශේෂයෙන් අන්තර් ජාතික තරඟ වලදී අප ක්‍රීඩකයන් ලබා ගන්නා තත්වයන් හා ජයග්‍රහන වලින් එවැනි තත්වයක් මෙරට නොමැති බව හොදින්ම පැහැදිලි වේ. මෙයට අපේ රටේ ජනගහනය අඩු වීම හෝ අපි දුප්පත්වීම හේතු ලෙස පෙන්වා ප්‍රශ්නය මගහැරීමට නොහැක. මක්නිසාද අපට වඩා ඉතා කුඩා රටවල් එසේම අපට වඩා දුප්පත් රටවල් අන්තර් ජාතික තරගවල අපට වඩා බොහෝ සාර්ථක වී ඇති නිසාය.
අඩු තරමේ ගමක ළමයෙකුට හෝ වැඩිහිටියෙකුට හවසට ගොස් මේස පන්දු ක්‍රීඩා කරන්නට, බැඩ්මින්ටන් ටිකක් ගහන්නට එහෙමත් නැත්නම් අඩු තරමින් දාන් හෝ කැරම් ගැසීමටවත් රජයෙන් පිලවෙලක් ඇතිකර තිබේද?
ගම්වල මිනිසුන්ට හැන්දෑවට කසිප්පු ටිකක් බීම හැර වෙනත් විනෝදය ගෙන දෙන යමක් කිරීමට ඉඩ ප්‍රස්තාවක් ඇතිකර තිබේද?
රජයේ හා ක්‍රීඩා ඇමතිගේ ප්‍රම්‍රඛ සහ ප්‍රථම වගකීම එයයි. ඒ කිසිවක් නොකර ඒ සදහා ජනතාවගේ මුදලින් පත්කර සිටින ක්‍රීඩා නිලධාරීන් බලා ගැනීම නොවේ. එසේ කිරීම හරියට සුපර් මාකට් එකේ පරමාර්ථය එහි වැඩ කරන සේවකයන්ගේ සුභසාදනය වැනි අදහසකි. ඇත්තෙන්ම එය කලමනාකරණය කල යුත්තේ පාරිභෝගිකයන්ගේ පහසුව සදහාය. පාරිභෝගිකයන්ගේ පහසුව ඇති කිරීම සදහා සේවකයන් හොඳින් බලා ගැනීම වරදක් නොවේ. නමුත් එය මූලික පරමාර්ථය කර නොගත යුත්තේය.
මෙහි උච්චම අවස්ථාව එලඹුනේ මෙවර ඔලිම්පික් ගිය අපේ කණ්ඩායමෙනි. එහි ක්‍රීඩකයන් 9 දෙනෙකු හා නිලධාරීන් 40 කට වැඩි ප්‍රමාණයක් (හරි ගාන සොයා ගැනීමත් ඉතා අපහසුය.) සිටියහ. ඇත්තෙන්ම එක අතකින් අප මෙවර ඔලිම්පික් තරගයේ නිලධාරී ක්‍රීඩක අනුපාතයෙන් පළමු තැන ගෙන ඇති බවට සැකයක් නැත්තේය. සුදුසුකම් වට වලින් තේරුනේ ක්‍රීඩකයන් 4 දෙනෙකු පමණි. ඔවුනුත් also ran වූහ.

 නිලධාරීන් බලා ගැනීම පිළිබඳව ප්‍රශංසා අසන ඇමතිවරු ඊලඟ ඔලිම්පික් එකට නිලධාරීන් ගුවන්යානයක්ම පුරවා ඇරියොත් එය පුදුම වන්නට කාරණයකුත් නොවේ.        

3 comments:

  1. පොඩි එකාගේ ඉස්කොලෙට ස්විමිං පූල් එකක් ලැබෙන කොට සංතෝෂවුනා, හැකි පමණින් දර දිය ඇද්දා. එත් දැන් පුහුණු කරුවෝ හැකි දරුවෝ පමණක් තරඟවලට පුහුණු කරනවා, පිහිණන්න නොදන්නා දරුවෝ සල්ලි ගෙවලා පූල් එකේ ජබු ගහනවා, පොඩි එවුන් නම් සංතෝෂයෙන් එත් ඒ දරුවන්ටවත් වැවක / මුහුදක පීනන්න, ගංවතුරකින් / සුනාමියකින් බේරෙන්න හැකියාව ලැබෙන්නේ නෑ. ජාතියක ක්‍රීඩා හැකියාවන් දියුණු නොකර කප් ගැස්සෙව්වාට වැඩක් ඇත්ද, සස්ටේනබල්ද? ඒක කාලයක් උපාලි විඩේවර්ධන දනුණු ආසියාවේම ධනපතියෙක් කියා අපි ආඩම්බර වුනා වගේ.

    ReplyDelete
  2. සමහර ළමයින් අනෙක් ළමයින් පරදා වේගයෙන් වැඩෙයි...මෙවැනි දරුවන් පාසැල් වලින් තෝරා උස සහ කායශක්තිය අවශ්‍යවන ක්‍රීඩා සඳහා යොමු කලයුතුය...එවිට අන්තර් ජාතික තරඟකරුවන් හා කරට කර සටනක් දියහැකි ක්‍රීඩකයන් බවට ඔවුන් පත්කල හැකිය...කායශක්තිය වැඩිපුර අවශ්‍යනොවන...දුණු විදීම වෙඩි තැබීම වැනි ක්‍රීඩා සඳහා අනෙකුත් දරුවන් උනන්දු කල යුතුය...තාක්ෂනය දන්නා හොඳ පුහුණුකරුවන් යොදවා ඔලිම්පික් යැවීමට දක්ෂ ක්‍රීඩකයින් නිපදවිය යුතුය...ඔවුන් ඉබේට ඇතිවන්නේ නැත !

    ReplyDelete
    Replies
    1. exactly sarath , you need talent scouts for that for example in USA probably other developed countries too potencial champion swimmers are identifies by some body shapes like length os the arms etc at formative years

      Delete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...