Sunday, September 6, 2020

නාව්ක විපත්තියක අත්දැකීමක්

 

මේ 1980 වසරේ 4 වන නිලධාරියා ලෙස මා සේවය කල ලංකා කාන්ති නෞකාව ඊජිප්තුවේදී කොරල් පරයක ගැටීම පිළිබඳව මගේ 'සතුරා මුහුදෙදී මුලාකිරිම' නමැති පොතෙන් උපුටාගත් කොටසකි 

'මාසයක පමණ කාලයක් තේ පෙට්ටි පැටවීමෙන් අනතුරුව, අපි බටහිර ඉන්දියානු සාගරයේ, අරාබි මුහුදේ, සති දෙකක් පමණ, ගොඩබිමක් නොපෙනෙන මුහුදේ ගමන් කර, අප්‍රිකාවේ අඟ ලෙසින් හැඳින්වෙන භූමි ප්‍රදේශය ඇතුලත්, ඒඩන් මුහුදට පැමිණියෙමු. සොකට්රා දූපත අසලින්, ඒඩන් මුහුද හරහා රතු මුහුදට වැටුනු අපි, රතු මුහුදේ පිහිටි සෞදි අරාබියේ ජෙඩා වරාය වෙත ගියෙමු. ජෙඩා වරායට ඇතුලුවීමේදී, අපට, නාවිකයෙකුට ලැබිය හැකි අමිහිරිම අත්දැකීමට මුහුණදීමට සිදුවිය. 

සාමාන්‍යයෙන් නැවක් වරායකට ඇතුලුවීමට පැමිනෙද්දී වරාය පිටත තිබෙන නැව් ගමනා ගමනයට ඇති අනතුරු හා බාධක සලකා බලා ඒවා පිළිබද දැනුමක් සහ අත්දැකීම් ඇති පලපුරුදු නාවික කපිතාන් වරයෙකු බෝට්ටුවකින්, නැවෙහි කපිතාන්වරයාට නැව රැගෙන ඒමට උදව් කිරීමට එවනු ලැබේ. හාබර් පයිලට් වරුන් ලෙසින් හැඳින්වෙන මෙම නිලධාරින් වරායට එන නැව් ගණන අනුව, වරාය රාජකාරී වලට යොදවන අතර, බොහෝ විට ඔවුන් වෙළෙද නාවික රැකියා වලින් විශ්‍රාම ගත් කපිතාන් වරුන්ය. මෙම රැකියාව ඕනෑම වරායක හොඳ වැටුපක් සහිත රැකියාවක් වන අතර, එයට අමතරව සම්ප්‍රදායක් වශයෙන් ඔවුන් වරායෙන් ඇතුලට හෝ පිටතට ගෙන යන නැව් වලින් ත්‍යාග ලෙස විස්කි සහ සිගරට් ලබාදීමේ සිරිත නිසා ඔවුන්ගේ රැකියාව තවත් සිත්කලු වෙයි.  

අපිද ජෙඩා වරායට තරමක් කිට්ටු කර, VHF යන්ත්‍රයෙන් වරායේ නියමු කාර්යාලයට කථාකර හාබර් පයිලට් වරයෙකුගේ සේවය ඉල්ලා සිටියෙමු. වරායේ නියමු කාර්යාලයෙන් අප වරායට කිට්ටුවටම ගෙන්වා ගතහොත් ඔවුනට පහසු නිසා,

ශ්‍රී ලංකාවේ වෙළෙද නැව්වල කපිතාන්වරු, ලෝකයේ දක්ෂම කපිතාන්වරු, ඔබට කිසිම ප්‍රශ්ණයක් නැතිව වරාය අසලටම එන්නට පුළුවන් බව අපි දන්නවා“ 

යනුවෙන් පවසමින් අපට ටිකින් ටික වරාය කිට්ටුවට ගෙන්වා ගත්හ. මෙලෙස අප නෞකාව සෙමින් වරාය දෙසට ඇදෙද්දී එක්වරම හිමිදිරි උදයේ නැවේ කීල් එක හෙවත් පතුල කොරල් පරයක ඇනුනි. එසේ ඇනී නැව යන්තම් පැත්තකට ඇලවී කොරල් පරයේ හිරවුනි. එලෙස හිරවූ ආකාරයෙන් තවත් අලාභහානී වෙන්නට ඉඩ ඇති හෙයින්, එන්ජින් පාවිච්චි කර පිටතට ගැනීමට උත්සාහ නොකර, සිදු වූ අවාසනාවන්ත සිදුවීම පිළිබදව ජෙඩා වරාය මෙහෙයුම් කාර්යාලයට, නැවි සංස්ථාවට හා නාවික හමුදාවට දැනුම් දුන්නෙමු. 

 

මෙලෙස නැව ගොඩයෑම දැන්වූ විගසම වාගේ මෙවැනි සිදුවීම් වූ විට එලෙස අනතුරට පත්වූ නැව බේරාදී රක්ෂණයෙන් ලොකු මුදලක් ලබා ගැනීමට, එවැනි නාවික ගමනා ගමනයට අනතුරුදායක ස්ථාන තදාසන්නයේ රැදී සිටින, නැව් බේරා ගන්නා ටග් යාත්‍රා දෙකක් අප ස්ථානයට පැමිණියහ. මුලින්ම පැමිණි යාත්‍රාව අප සමග කථාකර ඒ අසල රැදී, රක්ෂණ ඒජන්තවරුන් තීරණයක් දෙනතුරු රැදී සිටියේය. මෙලෙස මුලින්ම පැමිණෙන බේරා ගැනීමේ යාත්‍රාවට එම ව්‍යාපාරික අවස්ථාව ලබා ගැනීමට වඩාත් ඉඩකඩ ඇති නිසා, සිද්ධිය සිදුවූ ස්ථානයට හැකි ඉක්මනින් ලඟාවීමට දැඩි තරඟයක් තිබුණි. 

 

 

මෙවැනි නාවික ආපදා වලදී ආපදාවට ලක්වූ නැව හා එහි අඩංගු භාණ්ඩ මුහුදේදී බේරා ගැනීමට එම කටයුතුවල යෙදී සිටින සමාගම් අතර තියුණු තරඟයක් ඇතිවේ. මේ සදහා එම නෞකාවේ අයිතිකරුවන් සහ බේරා ගන්නන් අතර අත්සන් කෙරෙන ගිවිසුම් වර්ගය ලොයිඩ් සමාගමේ විවෟත ගිවිසුම් වර්ගයට අයත් වෙයි. මුලින්ම මෙම ගිවිසුම් වර්ගය හදුන්වා දී ඇත්තේ 1892 වර්ෂයේදීය. මෙම ගිවිසුම් වලින් වැඩියෙන්ම භාවිත වන්නේ  “no cure-no pay” ( සුව නොකලොත් ගෙවන්නේ නැහැ ) ගිවිසුම් වර්ගයයි. මෙහි බේරාගන්නා සමාගමට ආපදාවට ලක්වී ඇති නැවේ (නැවෙහි වටිනාකම සහ එහි ඇති භාණ්ඩ සහ ඉන්ධනවල වටිනාකම) වටිනාකමින් කොටසක් නැව හානියක් නොමැතිව බේරා ගතහොත් ලබාදෙන බවට නැවේ අයිතිකරු ගිවිසුම් ගත වෙයි. නමුත් ඔහුට ඒවා බේරා ගැනීමට නොහැකි වුවහොත් ඔහු දැරූ මහන්සියට සහ පිරිවැය වෙනුවෙන් සතයක්වත් ලැබෙන්නේ නැත.

නමුත් මෑතකදී පරිසර හානී වැලැක්වීම සදහා පරිසර හානි වැලැක්වුවහොත්ද යම් ගෙවීමක් බේරා ගන්නාට ලැබෙන පරිදි ගිවිසුම් වෙනස්කර ඇත්තේය.   

 

 



ලංකා කාන්ති වැනි පැරණි නැව්, මෙලෙස අනතුරුදායක ස්ථානයක ගොඩ යාමට සලස්වා, රක්ෂණ ආයතන වලින් වංචා සහගත ලෙස, මුදල් ලබා ගැනීමට, කුඩා නැවි හිමියන් එකල පෙලඹී සිටි හෙයින්, අප සිද්ධියද එංගලන්තයේ ලොයිඩ්ස් රක්ෂණ සමාගමේ සැකයට භාජනය විය. එසේ වූයේ,

·        කාන්ති කුඩා නැවක් වීම.

·        නැව පරණ වීම.

·        ප්‍රධාන නැව් සමාගමකට අයිති නොවීම.

·        නැවේ තිබූ වෙළෙඳ භාණ්ඩ එතරම් වටිනා ඒවා නොවීම.

 

යන කරුණු නිසාය.

 

තවද මෙලෙස නැව් අමාරුවේ දමා ඒවා බේරා ගැනීමෙන් ලැබෙන ලාභ, වරාය නිලධාරීන් බෙදා ගන්නා ජාවාරමක් තිබුනු බවටද ආරංචි එකල අපට මුණ ගැසුනු වානිජ නෞකාවල වැඩ කරන ශ්‍රී ලාංකික පුද්ගලයන් ගෙන් අපට අසන්නට ලැබුණි. මේ නිසා එංගලන්තයේ ලොයිඩ්ස් ආයතනයේ පැමිණි නීතිඥයන් කණ්ඩායමක්, මේ පිළිබදව දීර්ඝ පරීක්ෂණයක් කරන ලද අතර; මට මතක හැටියට පරීක්ෂණය අවසන් වනතුරු අපට දවස් 21ක් එම ස්ථානයේ කාලය ගතකරන්නට සිදුවිය. අවසානයේ මෙම සිද්ධිය සිතා මතා කරන ලද සිද්ධියක් නොවන බවට තීරණය කරන ලදී.

1 comment:

  1. පොත කියවා නැති එක ගැන දුක හිතුණා .අගනා ලිපියක් !

    ReplyDelete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...