Monday, December 23, 2019

පලිගැනීම






                         
                                            පලිගැනීම

මෙම කතාවේ සිටින පූසා සහෝදර සහෝදරියන් හතර දෙනෙකු සමග ඉපදුනේ නවයාලතැන්න දුම්රිය ස්ථානය අසල නිවසකය. බල්ලන් සහ පූසන් දහයකට වැඩි ප්‍රමාණයක් ජීවත් වූ එම නිවසේ ස්වාමියා, බල්ලන්ට සහ පූසන්ට ඉතාම ඇලුම් කළේය. විශ්‍රාමලත් රජයේ නිලධාරියකු වූ ඔහු බොහෝ විට නිවසේ සිටියේ තනියමය. බල්ලන්ගෙ සහ පූසන්ගේ වැඩ වලට අමතරව රූපවාහිනියෙන් ක්‍රීඩා තරග නැරඹීමත්, පොතපත කියවීමටත් ඔහුගේ අනිකුත් දෛනික කටයුතු විය.

ඔහුගේ තවමත් ආශ්‍රය කරන පාසල් මිතුරෙකු පූස් පැටියෙකු සොයා දෙන ලෙස ඉල්ලා මුහුණු පොතේ දමන ලද පෝස්ට් එකක් දැක, ඔහු තමන්ගේ එක පූස් පැටියෙකු එම මිතුරාට දීමට තීරණය කළේය.

   ඉන්පසු ඔහු මිතුරාට එම තීරණය දුරකතනයෙන් දන්වා, ඔහු පැමිණ පැටියා රැගෙන යාමට ඉදිරිපත් වුවද, තමන්ම පැටියා ගෙන ගොස් දුන්නොත් ඔහු වඩා හොඳට පුස් පැටියා බලාගන්නා බව සිතුණු නිසා, ඔහුම ගෙන ගොස් පැටියා තම මිතුරාට භාර දුන්නේය.


පූස් පැටියා පුරුදු පරිදිම බෞතීස්ම කෙරුනේ නිවසේ දියණිය විසිනි. ඇය ටිමි   යන නමින් ඌ නම් කළේය. ඇයගේ පියා එම නමට එතරම් කැමැත්තක් නොදැක්වූ නිසා, පූසාට ඔහු ජිමී යනුවෙන් ආමන්ත්‍රණය කරන්නට පුරුදු විය. ඇත්තෙන්ම පූසා ටිමි යන නමට වඩා ජිමී යන නමට වඩාත් සතුටෙන් ප්‍රතිචාර දක්වන බව ඔහුට සිතුණි.

පූසා ගෙදරට ගෙනෙන විට ගෙදර වයස අවුරුදු හයක් වන ෆ්‍රෑන්ක් නැමති ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ බල්ලෙක් සිටියේය. ඔහු මීට කලින් නිවසේ පුසන් දෙදෙනෙකු සමග ජීවත් වී තිබුණි. ඔහුගේ ඔවුන් සමග තිබූ ආශ්‍රය ‘ඉවසීම සහ ආරක්ෂා කිරීම’ යන ප්‍රධාන කරුණු දෙක මත රැඳී තිබුණි.

ඒ කියන්නේ ඔහු නිවසේ පූසන් පිටින් එන තර්ජන වලින් ආරක්ෂා කළ අතර, ඔවුන් සමග වැඩි බජනයකට ගියේ නැත. පිටතින් එන තර්ජන වලින් පුසන් ආරක්ෂා කළත්, ෆ්‍රෑන්ක් ගේ දින චර්යාවේ එක් නිශ්චිත ක්‍රියාකාරකමක් සිදුවෙද්දී, එයට නිවසේ පූසෙකු හෝ කරදරයක් බාධාවක් කරන්නෙ නම්, ඔහු බොහෝ කෝපයට පත්විය. ඒ ඔහු හෝ නිවසේ අය ආහාර ගන්නා වේලාවන් විය.

ඔහු ආහාර ගන්නා අවස්ථාවේ ඔහුගේ දර්ශන පථයට පූසෙක් ඇතුල් වුවහොත්, ඔහු බොහෝ කෝපයට පත්වී පුසාට පහරදී තුවාල කරන්නට ඉඩ ඇත්තේය. එයට අමතරව ගෙදර අය කෑම කාමරේ කෑම කමින් සිටියදී එතනට ගොස් දිග හැරී ඉඳගන්නා ෆ්‍රෑන්ක්, පූසා ඒ පැත්තට පැමිණියහොත් තමන්වත් පාලනය කර ගැනීමට නොහැකි තරමට කෝපයට පත්වේ. පූසා වෙතට පැන ඌව තුවාල කරන්නටද ඉඩ තිබේ. තමන් හෝ තම හාම්පුතුන් ආහාර ගන්නා වෙලාවට එයට බාධා කිරීම ඔහුට ඉතාමත් කෝප ගෙන දුන්නේය.

නිවැසියන්ද මුලින්ම පූසා රැගෙන ආපසු ඔවුන් මේ දවස් වල නිවසේ නොමැති පවුලේ සාමාජිකයකුගේ කාමරයේ දමා, එය තුළට කෑම බීම දී මාසයක් පමණ ෆ්‍රෑන්ක් පූසා ගේ ගඳ පුරුදු වෙනතුරු සිටියහ. මාසයක් පමණ ගිය පසු හවසට නිවැසියන් රූපවාහිනිය නරඹද්දී පූසා එළියට රැගෙන විත්, බල්ලාට  පෙනෙන්නට හරින්නට ඔවුහු කටයුතු කළහ. මෙලෙස මාස දෙකක් තුනක් පමණ ක්‍රමයන් පුරුදු කිරීමෙන් පසුව පූසා කාමරයේ සිරභාරයෙන් මිදුණු අතර,  නිවසේ සංචාරය කරමින් ක්‍රීඩා කරන්නටත් තවත් ටික කලක් ගිය පසු නිවැසියන් මිදුලේ සිටිය දී මිදුලට පැමිණ ඔවුන් සමග කාලය ගත කිරීමටත් ජිමී පුරුදු විය.

නිවසේ කුස්සියෙ ෆ්‍රෑන්ක්ගේ පිඟානත්, ජිමීගේ පිගානත් තබා තිබුණේ කිට්ටුවෙනි. ඔවුන් දෙදෙනාටම වතුර බීමට තබා තිබුණේ පොදු වතුර භාජනයකි. කෑම කන විට මේ තරම් තමන්ගේ පෞද්ගලිකත්වය අපේක්ෂා කරන ෆ්‍රෑන්ක්ගේ පිඟාන පුසාගේ පිඟන් අසලින් තැබීම නිවැසියන් විසින් කරන ලද ලොකු වැරැද්දකි. මේ නිසා මේ දෙදෙනා අතර නොයෙක් වර ආරවුල් ඇතිවිය. ෆ්‍රෑන්ක් ගොරවාගෙන පැමිණ පූසා හපන්නට උත්සාහ කරන අවස්ථාවලදී, පූසා බේරාගෙන ෆ්‍රෑන්ක්ට  කෑ ගසා එම අවස්ථාව සමථයකට පත් කරනවා මිස, කෑම කන්න වේලාවේම ඔවුන් දෙදෙනා වෙන් කර තැබීමට මූලික අවධානය යොමු කරන්නට, මෙම නිවැයන්ට සිතුනේ නැත. සාමාන්‍යයෙන් ලංකාවේ බොහෝ දෙනෙකු සේ මොවුන්ද බැලුවේ ප්‍රශ්නයෙන් ඇතිවන ප්‍රතිඵල සමනය කර ගැනීම මිස, ප්‍රශ්න ඇති නොවීමට කටයුතු යෙදීම නොවේ.

 සාමාන්‍යයෙන් පිලිගත් මතයට අනුව ප්‍රශ්න විසඳීමේ මූලධර්මයන් අදියර හතරකට බෙදා ඇත.
එහි පළමු වැන්න ප්‍රශ්නය හරියට අර්ථ දැක්වීමයි, තේරුම් ගැනීමයි. මෙහිදී කරුණු, මතයන්ගෙන් වෙන් කර ගැනීම ඉතාමත් වැදගත්ය.
ඊළඟ අදියරේදී සිදු විය යුත්තේ මෙම ප්‍රශ්නය සඳහා විසඳුම් ලෙස සිතිය හැකි සියලුම විකල්ප විසඳුම් ලිවීමයි.
ඉන් පසු  එක් එක් විසඳුම එකිනෙකට සංසන්දනය කර වඩාත්ම හොඳ වඩාත්ම ගැළපෙන විසඳුම තෝරා ගත හැක. මෙතැනදී ඒ අවශ්‍යතාවය බල්ලා කෑම කන මොහොතේදී පූසා ඔහුට නොපෙනෙන තැනක තැබීමයි. වතුර භාජන සහ පූසාගේ කෑම පිඟාන X,Y,Z නමැති එකිනෙකට නොපෙනෙන ස්ථාන තුනක ස්ථාන ගත කරන්නේ නම්, ඔවුන් දෙදෙනා මේ වඩාත්ම සංවේදී අවස්ථාවේ හැකිතරම් දුරට මුණ නොගැසීමට පිළියෙල කර ගන්නට ඉඩ තිබිණ. නමුත් නිවැසියන් එසේ කළේ නැත. එසේ කළේ නම් මෙවැනි ශෝකාන්තයක් ඇති නොවන්නට බොහෝ දුරට ඉඩ තිබුණු බව අපට කතාව අවසාන වන විට තේරුම් යන්නට ඉඩ තිබේ.

මාස තුනක් හතරක් කාලයකදී මෙවැනි සමීප ඝට්ටන කීපයක්ම සිදුවිය. ඝට්ටන දෙකක් තරමක් බැරෑරුම් වූ අතර, එම අවස්ථා දෙකෙහිදීම පූසාට තුවාල සිදුවී බෙහෙත් දමන්නටත් අවශ්‍යතාවයන් ඇතිවිය.

විද්‍යාත්මකව බලන විට සාමාන්‍යයෙන් බල්ලෙකුගේ මොලයේ නියුරෝන  මිලියන 530 ක් පමණ තිබේ. පුසෙකුගේ  එම ප්‍රමාණය මිලියන 250 ක් පමණි. ඇත්තෙන්ම මස් කන සතුන් අතරින් ලෝකයේ වැඩියෙන්ම මොළයේ නියුරෝන තිබෙන්නේ බල්ලන්ගේය. නමුත් වැදගත් නියුරෝන; බුද්ධිය තිබීමට වඩාත් බලපාන නියුරෝන, මේ දෙවර්ගයේම තිබෙන්නේ දළ වශයෙන් එකම ප්‍රමාණයකි. එසේනම් මෙතැනදී වඩාත් මොලේ තිබිය යුත්තේ ෆ්‍රෑන්ක්ටය.

එහෙත් ජිමී සාමාන්‍ය පූසෙකු ලෙස පෙනුනද, ඔහුගේ මොළයේ නියුරෝන 350 ක් පමණ උපතේදීම ඇතිවුණු සාමාන්‍ය පූසෙකුට වඩා තරමක් වෙනස් පූසෙකි. ඔහුට තරමක් සැලසුම් කර වැඩ කරන්නට පුළුවන් හැකියාවක් මේ විකෘතියෙන් ලැබී තිබුනි.

අවසාන වර තමන්ට තුවාල සිදු කිරීමෙන් පසු, මේ බල්ලා නිවසෙන් ඉවත් කිරීමෙන් මිස, තමන්ගේ මනසට සාමයක් ඇති කර ගත නොහැකි බව ජිමීට සිතුනි.

ඌ ෆ්‍රෑන්ක් ගෙන් පළි ගන්නා ආකාරය සැලසුම් කළේය. මුලින්ම ඌ කල්පනා කළේ ෆ්‍රෑන්ක් කෑම කමින් සිටියදී, යම් වරදකට පටලවා ගෙදර නිවැසියන් විසින් ඔහුට දඬුවම් කරවීමටය. ඇත්තෙන්ම ගෙදර නිවැසියන් ඌට පෙනුනේ කකුල් දෙකේ ලොකු පුසාන් ලෙසටය.

මේ සඳහා ඔහු තෝරා ගත්තේ දවල් කෑම වේලාවය.  ඔහු දවල් කෑම කන අවස්ථාවේ ෆ්‍රෑන්ක්  කෑම කන තැන අසළ, මිරිස් ගල උඩ දහවල් කෑම සමගම පිළියෙල කරන ලද ඔහුගේ රාත්‍රී කෑම එක, තබා යෑම ගෙදර ස්වාමිදුවගේ සිරිත නිසාය.

ඇය මෙම භාජනය මිරිස් ගලේ නොයෙකුත් තැන්වල තබයි. ජිමී සෑම දිනම කුස්සියේ අනිත් මේසය මතට වී, ඇය මෙම කෑම එක මිරිස් ගලේ කෙළවරක තබන අවස්ථාවක් එනතුරු බලා සිටියේය. ඔහුට එතරම් දීර්ඝ කාලයක් බලා සිටින්නට සිදු වූයේ නැත. හය වන දවසේ මට එවැනි අවස්ථාවක් ලැබුණු අතර,  බල්ලා කෑම කා අවසන් වන විටම වාගේ මිරිස් ගල මතට පැන, ඔහුගේ රෑ කෑම එක බිමට පෙරළා පූසා එළියට පැන අසල නවතා තිබූ කාරෙක යට සැඟවෙන අයුරු ෆ්‍රෑන්ක් වත් දැක්කේ නැත.

කෑම භාජනේ මහා හඬක් නංවාගෙන බිමට වැටුණු අතර, එය කෑලි වලට කැඩෙන ශබ්දය නිවසේ සාලයේ සිටි නිවැසියන්ට මහා හයියෙන් ඇසුණි. ස්වාමිදුව දුවගෙන කුස්සියට පැමිණෙන විට, බල්ලා ඒ දෙස බලා සිටි අතර, කෑම භාජන බිම වැටී කැඩී විසිරී තිබිණ.

ඇයට හොඳින්ම තරහ ගියේය. මේ නිසාවෙන් කරන්නට තිබෙන වැඩ ලැයිස්තුව ඇයට එකින් එක මතක් විය. ඇය ෆ්‍රෑන්ක්ට හොඳින්ම බැන්නේය. එහෙත් වෙනත් දඬුවමක් ෆ්‍රෑන්ක්ට ලැබුණේ නැත.

ජිමී මෙම සැලසුමම නැවත වරක් ක්‍රියාවට නැගුවේ මාසයකට පමණ පසුවය. එහෙත් ප්‍රතිඵල මුල් පරිදිම විය. මෙයින් පසු නිවසේ කාන්තාව දවල් ඉතුරු වන බල්ලාගේ කෑම කොටස ගෙදර තිබුණු පරණ වැඩ නොකරන ශීතකරණයක් ඇතුලේ තබන්නට පුරුදු විය. මේ නිසා මෙම පළි ගැනීමේ සැලසුම නැවතත් ක්‍රියාත්මක කරන්නට ජිමීට හැකියාවක් ලැබුණේ නැත. මේ අතර නැවත වරක් ඌ කෑම කමින් සිටියදී, යම් වැරදීමකින් කුස්සියට පැමිණි ජිමීට නැවත වරක් තුවාල කළේය.

මේ නිසා ෆ්‍රෑන්ක් ගෙන් මීට වඩා දරුණු ලෙස පළිගත යුතු යැයි යන සිතිවිල්ල ජිමි ගේ මනසට  නිතරම ඇතිවිය. එහෙත් එයට සැලසුමක් සාදා ගැනීම පලිගැනීමේ චේතනාව ඇති වීම තරම්ම පහසු වූයේ නැත.

මාස දෙකකට පමණ පසු ඔහුගේ මොලේ සියලුම නියුරෝන ක්‍රියාත්මක වී තිබෙන දුර්ලභ මොහොතක ඔහුගේ මොළයට අපූරු අදහසක් පහළ විය. එහෙත් මෙම සැලසුම ක්‍රියාත්මක කිරීමට බොහෝ ආයාසයක් ගත යුතු බව ඔහුට පැහැදිලි විය. දවසකට දෙතුන් වතාවක් ඔහු කුස්සියේ සිට හැකි වේගයෙන් දුව ගොස් ගේට්ටුවෙන් එළියට පැන පාරෙන් එහා පැත්තට දුව ගොස් , එහා පැත්තේ ඇති ඇලේ සැඟවුණේය. මෙය ක්‍රියාත්මක කිරීමට බලපාන ප්‍රධාන සාධකය වන්නේ නිවසේ ගේට්ටුව විවෘත කර තිබීමය. සැලසුම ක්‍රියාත්මක කරන අවස්ථාවේ පාරේ වේගයෙන් වාහනයක් පැමිණීම තවත් ප්‍රධාන අවශ්‍යතාවයක් වුවද, එය සිදුවන තෙක් සැලසුම කිහිප වතාවක් ක්‍රියාත්මක කිරීමටද අවශ්‍ය වන්නට පුළුවන.

එක් දිනක් ගේට්ටු හැර තිබෙනවා දැක ජිමී එදින සැලසුම ක්‍රියාත්මක කරන්නට තීරණය කළේය. ෆ්‍රෑන්ක් කෑම කමින් සිටින අවස්ථාවේ සැඟවී සිට එතැනට පැමිණ, පිඟානෙන් මාළු කැබැල්ලක් රැගෙන හැකි වේගයෙන් ගේට්ටු පැත්තට දිව්වේය. බල්ලාට මෙය දරාගත නොහැකි තත්වයක් විය. ඔහු කෑ ගසමින් ගොරවමින් පූසා පසුපසින් දිව්වේය. පූසා පාරෙන් එහා පැත්තට පැන කානුවේ සැඟවිණි, බල්ලා ගේට්ටුව ළඟට ගොස් ඔහුට පුරුදු කර තිබෙන අන්දමට ගේට්ටුව ළඟ බ්‍රේක් ගසා ආපසු හැරී ගෙදරට ආවේය.

පූසා විසින් මෙවැනි අවස්ථාවක් ලැබුණු දෙවැනි දිනයේද සැලැස්ම ක්‍රියාත්මක කරන ලද අතර, බල්ලා ඌ පසුපස පන්නාගෙන ගොස් ගේට්ටු ලඟ නොනැවතී  පූසා පසුපස පාර හරහා පැන්නේය.
මහ හඬින් නලාව නාද කරමින් ආ  වේගයෙන්ම කන්ද ඇද ගන්නට උත්සාහ කරන බස් රථයේ රියදුරු බල්ලා දකින විටත් ඌ මියගොස් තිබුණේය.
නිවැසියන් කොතරම් කණගාටුවට පත් වූයේද යත් ඔවුන් දවස් දෙක තුනක් ගෙදර කෑම හැදුවෙත් නැත. විශේෂයෙන්ම ගෙදර ස්වාමිදුව සතියක් පමණ හැඬූ කඳුළෙන් ගත කළේය. එහෙත් කිසිවෙකුටත් ජිමී ගැන කිසිම සැකයක් ඇති වන්නට හේතුවක් තිබුණේද නැත.

මේ කතාව මෙතනින් අවසන් වන්නට යන බවක් ඕනෑම කෙනෙකුට සිතෙන්නට පුළුවන. 
නමුත් අවසානයේ සිදුවන්නේ තවත් මාසයකට පමණ පසුවය.

ෆ්‍රෑන්ක් මියගොස් හරියටම මාසයකට පසුව, රාත්‍රියට එළියට ගොස් පසුදින පාන්දර නිවැසියන්  ඒ සඳහාම විවෘතව තබන ජනේලයෙන් ජිමී  නිවස තුලට පැමිණ සිටියේ නැත. අවදි වී පැයක් පමණ ගිය පසු ඔහු මෙලෙස උදයේ නිවසට නොපැමිණීම අසාමාන්‍ය දෙයක් නිසා ස්වාමිදුව ඔහුට අඬගසා කතා කළද, ඔහු පැමිණියේ නැත. දහවල් වන විට ආපසු පැමිණ නොසිටි නිසා නිවැසියන් සියලු දෙන එකතුවී සොයා බැලූහ. දහවල් 2 ට පමණ යම් සතකු විසින් තුවාල කර මරා දමා සිටී ජිමිගේ මළ සිරුර නිවැසියන්ට හමුවුණේ නිවසට උඩින් තිබූ කුඩා කඳුගැටයක් වැනි ස්ථානයක දීය.

සාමාන්‍යයෙන් මරණයෙන් පසු නැවත ඉපදීම හෝ එසේත් නැත්නම් ස්වභාවයෙන්ම වැරදි වලට දඬුවම් ලැබීම සත්‍යයක් යැයි පිළිගන්නා මිනිසුන්ට නම්, බළලාගේ මිය යාමට මූලික වූ නිසා පූසාට මෙලෙස  දඬුවම ලැබී ඇතැයි සිතන්නට ඉඩ තිබිණ.

එහෙත් ඇත්තෙන්ම සිදු වූයේ කුමක්ද, එය ගැන දන්නා කිසිම කෙනෙක් නැත. නමුත් පුසාගේ මරණය සිදුවී ඇත්තේ බල්ලා මියගිය නිසා බව සැබෑවකි. එහෙත් එය යම් අද්භූත බලයක් නිසා සිදුවු බවයේ නම් කිසිම සත්‍යයක් නැත.

ෆ්‍රෑන්ක් මියගිය පසු ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේම තවත් බලු පැටවකු ගෙන එනවද නැද්ද යන සාකච්ඡාවේ නිවැසියන් පසුවූහ. අසල්වැසි නිවෙස් දෙකක ජීවත් වූ ෆ්‍රෑන්ක්ට බයේ සැඟවී සිටි පිරිමි පූසන් දෙදෙනකුම ටිකෙන් ටික ෆ්‍රෑන්ක්ගේ ගන්ධය අඩු වී යන බව වැටහුණ අතර, ඔවුන් ක්‍රමයෙන් ජිමී  සිටි නිවස පැත්තට දවසින් දවස කිට්ටු වන්නට එඩිතර වූහ.

පූසන් බල්ලන් මෙන් කලබල කාරයන් නොවේ. උන් යමක් කරන්නට පෙර බලා සිටින්නෙකුට වත් එපා වන තරමට වේලාව ගනිති. මහ දවාලක වුවත් දොරකින් එලියට යාමට පැමිණෙන පූසකු දොරේ පැත්තකින් සැඟවී, බොහෝ වේලාවක් අවට පරිසරය නිරීක්ෂණය කරයි. ඒ අවට පරිසරයේ තමන්ට යම් තර්ජනයක් විය හැකි සතෙකු හෝ වෙනත් චලනය වන යමක් තිබේදැයි දැනගන්නා තෙක්ය. ඒ අවස්ථාවේ ඔවුන් ගේ පෙනීම සහ නහය දෙපැත්තේ තිබෙන කෙඳි වලින් ලැබෙන අවට පරිසරය කම්පනයන් පිළිබඳව, තොරතුරු එකට එකතු කර සංසන්දනය කර පරීක්ෂා කරනු ලබයි. මෙම සංවේදක තොරතුරු පෙර තමන්ට ලැබුණු සංවේදක තොරතුරු හා සංසන්දනය කර, දොරෙන් ඒ අවස්ථාවේ පිටතට යාමේ අවධානමක් තිබෙන්නේ දැයි පරීක්ෂා කර බලයි. අපගේ ඇස් වල මෙන් හය ගුණයක් සංවේදී වන බළලාගේ ඇස් වලට පරිසරයේ සිදුවන වෙනස්කම්, අප මෙන් හය ගුණයක් හොඳින් අවබෝධ කරගන්නට පුළුවන.

මෙයට අවුරුදු මිලියන 11 කට පෙර අනෙක් මස් කන සතුන් ගෙන් ජානමය වශයෙන් වෙන් වූ පූසන්ට, අනෙක් බොහෝ සතුන්ට මෙන්ම දෙවැනි නාසයක් තිබේ. ජේකබ්සන් නාසය යනුවෙන් හැඳින්වෙන මෙම නාසයෙන් කෙරෙන්නේ වෙනත් සතෙකු තමන්ගේ පරිසරයට ඇතුළු වී ඇත්දැයි දැන ගැනීමයි. මෙම නාසයෙන් වෙනත් සතෙකුගේ ආඝ්‍රහණය කැටි කරගත් දියර ස්වල්පයක් සාදා, එය පුසාගේ කට ඇතුලට යවයි. එයින් තමන් අවට වෙනත් සතෙකු ඇත්දැයි දැනගැනීමටද එම සතා මිතුරෙකුද සතුරෙකුද ආහාරයක්ද එසේත් නැත්නම් ප්‍රේමවන්තයෙක් විය හැක්කේද යනුවෙන්, සොයා බැලීමට සහ තීරණයක් ගැනීමට පුළුවන. මිනිසුන්ටද මෙම ඉන්ද්‍රිය ඇත්තේ වුවද එය බොහෝදුරට අකර්මණ්‍ය වී ඇති බවක් පෙනේ.

එදින පාන්දර දෙකට පමණ නිවසේ වහළයේ නැගෙනහිර පැත්තට වන්නට මීයෙකු පිළිබඳ ආඝ්‍රහණය මෙම ග්‍රන්ථියෙන් ලැබී ජිමී සියලු සංවේදී ග්‍රන්ථයන් ඒ මත නාභිගත කර ගෙන, මුදුන් උළු වකට ආවරණය වී සැඟවී සිටියේය. අසල්වැසි නිවසක විසූ කළු තඩි පූසා ඔහු පිටුපසින් ළඟටම එන තෙක් ජිමීට දැනුණේ නැත. හරියටම 1982 වසරේ ෆෝක්ලන්ඩ් යුද්ධයේදී ෂෙෆීල්ඩ් යුධ නැවට සිදුවුවා සේය. කොතරම් සංවේදීක උපකරණ තිබුනත් මොහොතකට අවශ්‍යම තැන, තර්ජනය හඳුනාගැනීමට අවශ්‍යම තැන අවදියෙන් සිටියේ නැත.
 ජේකබ්සන් නාසය හරහා තර්ජනය දැනෙන විටත් ජිමී  අවසන් හුස්ම හෙළමින් සිටියේය.

3 comments:

  1. 1982 වසරේ ෆෝක්ලන්ඩ් යුද්ධයේදී ෂෙෆීල්ඩ් යුධ නැවට සිදුවුවා සේය

    more info ?

    ReplyDelete
  2. මෙතරම් රසවත් කථාවක් ලියූ මහන්සිය වෙනුවෙන් ඔබතුමාට බෙහෙවින් ස්තූතියි

    ReplyDelete

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...