Saturday, December 14, 2019

පේර සහ උන්ඩුක පුච්චය






අප කුඩා කාලයේ අප ගෙවත්තේ හොඳට පලදාව ලැබෙන පේර ගස් කිහිපයක් තිබුණි. ඇත්තෙන්ම දැන් ඊට වඩා පේර ගස් තිබේ. මම දකින අමුතු පේර වර්ග වල ඇට හෝ පල ලබාගෙන, වර්ග කිහිපයක පේර ගස් වවා ගෙන ඇත්තෙමි.
අප කුඩා කාලයේ පේර කන එක වැරදි වැඩක් ලෙස මිනිසුන් අතර මතයක් තිබුණි. පේර කෑවිට බඩේ කැක්කුම හැදෙන බව මෙයට හේතුවයි.
නමුත් අපේ ගෙදර එය පළතුරක් නිසා කෑමට ඉඩ දී තිබුනද, ඒ එක් කොන්දේසියකට යටත්වය. එනම් කිසිම අවස්ථාවක පේර ගෙඩි වල ඇට කෑමට නොගත යුතු බවය. එයට හේතුව ලෙස කීවේ පේර ඇට කෑ විට ඇපෙන්ඩිසයිටිස් සෑදෙන බවය.
අපේ අම්මාගේ පාසලේ ටීචර් කෙනෙකුගේ සැමියා වෛද්‍යවරයෙකු වූ අතර, ඇපෙන්ඩිසයිටිස් සෑදී උණ්ඩුක පුච්චය කපා ඉවත් කල විට, ඒ ඇතුලේ තක්කාලි සහ පේර ඇට තිබෙන බව අයගේ සැමියා දැක ඇති බව, මේ ටීචර් අම්මාට කියා ඇත. මේ අනුව පේර ඇට සහ තක්කාලි ඇට කෑ විට මෙම ව්‍යාධිය වැළදෙන බව සක්සුදක් සේ එකල පැහැදිලි වී තිබුණි.
මෙලෙස කුඩා කාලයේ ඇතිවුණු පුරුද්ද මට ගිය මාසය වෙනකන් තිබුණි. පේර ඇට වලින් ඇපෙන්ඩිසයිටිස් වැළදෙන බවට මට කිසිම සැකයක් තිබුනේ නැත.
ගිය මාසයේ සිට මගේ ගෙවත්තේ ඇඹුල් පේර ගස් තුනකම ගෙඩි පිරි තිබෙන අතර, දැන් ඉදෙන්නට පටන්ගෙන ඇත. අනික් පේර මෙන් නොව ඇඹුල් පේරවල ඇට වලට පිටින් තිබෙන මස කා ඇට බෝලය විසිකරන්නට තාමත් අපහසු බව, ඇඹුල් පේර කෑමට පුරුදු අයට අලුත්  ප්‍රවෘත්තියක් නොවේ. මම මේ නිසා උදයේ නැගිට කෝපි කෝප්පයත් පානය කරමින් ගෙවත්තේ ගස් පරික්ෂා කරන විට ඇඹුල් පේර ගස ලඟට පැමිණි පසු, ඉදුණු ගෙඩි 10 ක් පමණ කන්නට පුරුදු වුයෙමි. එහෙත් ඒවායේ ඇට වෙන් කරමින්  ඉන්නට ඇති අපහසුව නිසා ගෙඩි පිටින්ම කන්නට පටන් ගත්තෙමි.
එහෙත් ඇට ප්‍රශ්නය මගේ සිතේ තදින් බලපෑවේය, මේ පිළිබඳව අන්තර් ජාලයේ පරීක්ෂා කල යුතු යයි සිතාගෙන සිටියද, දෛනිකව බලපාන වැඩක් නොවන නිසා දවසින් දවස කල් ගියේය.
එහෙත් අද උදේ මෙය කරන්නම ඕන වැඩක් නිසා, පේර කනවිටම එය මතක් වනවිට එතනදීම පේර ඇට ගැන ගූගල් කර පරීක්ෂා කලෙමි.
එම ප්‍රතිපල මා පුදුමයට පත් කළේය. ඉන්පසු මම උණ්ඩුක පුච්චයේ ඉතිරිවන පේර සහ තක්කාලි ඇට කතාව ඇත්තක් දැයි පරීක්ෂා කලෙමි. එහි ඇත්තක් තිබේ. එහෙත් එම ඇට නිසා ඇපෙඩිසයිටිස් හැදෙන්නේ නැත. ඒවායෙන් ඇපෙන්ඩිසයිටිස් හැදෙනවා යැයි කීම හරියට අර ලෙඩාගේ ඇඳ යට කොස් කටු දැක, කොස් නිසා බඩේ අමාරුව හැදුන බව කී වෙදමහතා වැනි කතාවකි.
කෙසේ වුවත් මෙම හොඳ ප්‍රවෘත්තිය එනම් පේර ඇට අප සෞඛ්‍යට ඉතාමත් හොඳ බවත්, අප කන හැම පේර ගෙඩියකම ඇට කා යුතු බවත්, එලෙස පේර ඇට කෑමෙන් පහත ප්‍රයෝජන ලැබෙන බවත් අප සිත්හි තබාගත් යුතුය.
ගුණ
රුධිර පීඩනය අඩුවෙයි.
බර අඩු කිරීමට උපකාරී වෙයි.
බඩ වියලීම අඩුකරයි (constipation).
රුධිර සීනි පාලනයට උදව් කරයි.
කොලෙස්ටරෝල් අඩු කරයි.
හදවතට හොඳයි.
ඊළඟ පාර පේර ගෙඩියක් කන විට ඇට ටිකත් හපා කන්න.  


4 comments:

  1. කවුරු කීවත් නොකිවත් දේශීය පලතුරුවල විශ සහිත ගුණය අඩුයි. ඇත්තේ ඉතා විශාල ඖෂධීය ගුණයකි.
    විචාරක දියණිය

    ReplyDelete
  2. අම්මා පොඩි කාලෙ එහෙම කියලා තියෙනවා මටත්. ඒත් පේර ඇට පිටින්ම තමයි දන්න කාලෙ ඉඳලාම කාලා තියෙන්නෙ. හොඳට හපලා කනවානම්, දිරවීමේ අපහසුකම් නැතිනම් පේර ඇට පිටින් කන එක කිසි ප්‍රශ්ණයක් නැහැ කියන එකයි මගෙ හැඟීම නම්. අනිත් කාරණය තමයි අපි කන කොයි යම්ම කෑමක් උනත් දඩිබිඩියේ ගිලලා දාන්නෙ නැතුව හොඳට හපලා කනවානම් තමයි ශරීරයට ලේසියෙන් ජීර්ණය කරන්න පහසු වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. මං හිතන් හිටියෙ හපල කෑවෙ නැත්නම් ඇට වශයෙන්ම බැහැරවෙනවයි කියල. ඇපෙන්ඩික්ස් එකට යනවයි කියල හිතුනෙ නෑ

      Delete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...