Thursday, November 8, 2018

රැකියා සෙවීම




අද උදේ පාන්දර මාළු ගන්නට මෝටර් බයිසිකලයේ යන මාලුකාරයා කෑ ගසා නවතා ගේට්ටුව ලඟට ගියෙමි. බොහෝ දිනවල මෙසේ ඔහු නවතා ගැනීමට උත්සාහ කලද ඔහු හෙල්මට් එකකුත් දා ගෙන වේගයෙන් යන නිසා නවතා ගැනීමට නොහැකි වන නිසා අද මාළු කාරයා නවතා ගැනීමට හැකිවීම සුළු ජයග්‍රහණයක් ලෙස සැලකිය හැක.
රෝවර් මා සමග පහලට එන්නේ නැතිව ඔහු ගේ පහලට පැමිණීමට විරුද්ධත්වයක් ඇත්තේ දැයි විමසමින් මා දෙස බලා සිටියේය. මම ඔහුට මමත් සමග පැමිණිය හැකි යැයි සංඥාවක් කරමින් ගේට්ටුව දෙසට ගියෙමි. මා ගේට්ටුව ඇර එය වසා මාලුකාරයා ලඟට යන තෙක් බලාසිටි රෝවර් මා පෙනෙන ස්ථානයකට වී ඉඳගෙන අපගේ ගනුදෙනුව දෙස බලා සිටියේය.
මාළු වර්ග කිහිපයක්ම තිබුණි. මම සුදු මාළු කෑමට කැමැත්තක් දක්වන නිසාත් සුදු මාළු ශරීර සෞක්‍යයට හොඳ යැයි කියවා ඇති නිසාත් රුපිය 440 කට පරවා 500 ක් සහ රුපියල් 220 කට ලුන්නා 500 ක් මිලදී ගන්නට තීරණය කර මගේ තීරණය ඔහුට දැන්වුවෙමි.
මාළු කපා සුද්ද කරද්දී රෝවර්ට තවත් මිතුරෙකු එකතු වී සිටිනවා දුටිමි. ඒ මාළු වලට ඔහුට වඩා ප්‍රියකරන අපේ වෙන්ඩි පුසාය. දෙදෙනාම ගේට්ටුවේ තමන්ට හැකි උසක ඇති කවුළු වලින් මාළු කපන දෙස බලාසිටියහ.
පුසා ට ඕනෑ තරම් රිංගා ඒමට ඉඩ තිබුනද එසේ නොපැමිණීම ගැන මට පුදුම සිතින. උ දුටුවිට මට මාළුන්ගේ සුද්ද කර ඉවත් කරන කොටස් මල්ලක දමා දෙන ලෙස ඉල්ලා සිටීමට මතක් වුනි. මාළු කපමින් සිටිනවිට තවත් මාළු වෑන් එකක් ලාබෙට මුහුදු මාළු කියමින් යනවා ඇසී
“තරඟයක් තියෙනවා නේද” මම ඇසීමි.
“ඒක තමයි මමත් බැලුවේ” කියූ මාලුකරු නැගිට ඒ වැන් එක දෙස බලා නැවත පාත්වී මාළු කපන්නට පටන් ගත්තේය.
“කීයටද උදේට මාකට් එකට මාළු ගෙන්න යන්නේ?” මම ඇසුවෙමි.
“උදේ පාන්දර 3 ට මෙහෙන් යනවා”
“බයිසිකලේමද?”
“ ඔව්, තුන හමාරට වත් මාකට් එකේ ඉන්න ඕනෑ”
“ඔතෙන්ට ඔය වෙලාවට මාළු කාරයෝ කී දෙනෙක් විතර එනවද?” මට කුතුහලය සංසිදවා ගන්නට අවශ්‍ය විය.
“ගොඩක් එනවා”
“කීයක් විතරද? 100 ක් විතර?”
“අපෝ ඊට වැඩියි”
“200 ක් විතර?”
“ඊට හුඟක් වැඩියි”
“500 ක් විතර?”
“මයේ හිතේ 1000 කටත් වැඩියි,”
කොතරම් විශාල බෙදාහැරීමේ ජාලයක්ද? මෙය වැරදිලාවත් රජයෙන් කරන්නේ නම් අපට මාළු වලට ගෙවනවාට අමතරව කොපමණ අමතර මුදලක් ගෙවන්නට සිදුවිය හැකි දැයි මම කල්පනා කලෙමි. ලංගමට දුම්රියට ටිකටුත් මිලදීගෙන ඊට අමතරව ජනතාව බිලියන ගණනක් අමතරව බදු සල්ලි වලින් ගෙවන ආකාරය බලනවිට මෙවැනි බෙදාහැරීමක් රජයෙන් කලේ නම් අපට කොතරම් පාඩුවක් විඳින්නට වේ දැයි සිතා ගන්නටත් බැරිය.
“ඒ වුනාට මේ රස්සාවත් දැන් අමාරුවෙන් කරන්නේ, හැම තැනම, පොඩි කඩවල පවා මාළු විකුනනවා” ඔහු කීවේය.
“ඇත්ත, අපිත් ෆුඩ් සිටියට ගියොත් ඒකෙන් ගන්නවා” මම කීවෙමි.
“මම මේක කරන්නේ ළමයෙක් රස්සාවකට යනකන් විතරයි” ඔහු තරමක කනස්සල්ලෙන් කිවේය.
“ළමයි ලොකුද?” මම ඇසුවෙමි.
“ලොකු පුතාට වයස 21 යි, හොඳට ඉංග්‍රීසිත් පුළුවන්,” ඔහුගේ දෑස් ආලෝකමත් විය.
“එහෙම නම් හෝටලයක රස්සාවක් හොයාගන්න පුළුවන්” මම කීවෙමි.  ඔහු එතරම් උනන්දුවක් දැක්වුයේ නැත. “ඒවා තමයි අනාගතේට දියුණු වෙන්න පුළුවන් රස්සාවල් “මට TV එකේ පබිලිස්ගේ වෙළඳ දැන්වීමද සිහියට නැඟින.
“හෝටලයක කිව්වේ සුද්දෝ එන එකකද? සාමාන්‍ය හෝටලයක රැකියාවක් යෝජනා කලේදැයි ඔහු සැක කරන්නට ඇත.
“ඔව් මගේ යාලුවෙකුගේ එකකට, යන්න උදව් කරන්න පුලුවන්, පොඩි රැකියාවකින් පටන්ගෙන ඉහලටම යන්න පුළුවන්” මම ධෛර්යමත් කලෙමි. රූම් බෝයි කෙනෙකු ගෙන් පටන්ගෙන ලොකු සංචාරක හෝටලයක කළමනාකරුවෙකු වූ මගේ මිතුරෙකු මතක් විය.
“එහෙනම් මම පුතා හෙට මෙහෙට එවන්නම්, හමුදාවට පොලීසියට යන්න නම් කැමැත්තක් නැහැ” එක කිව්වේ මට නෝන්ඩිය ටද දන්නේ නැත.
“හොඳයි, උදේ වරුවට එවන්න, බල්ලා කුඩුවේ ඉන්න වෙලාවට” කියූ මම මාළු මලු තුනත් රැගෙන ගෙදර ගියෙමි.
“ඔව් ඇත්ත තමයි ඔය බල්ලා එක පාරක් ඔය පුතාම  බිම දාගෙන හපලා තියෙනවා.”

2 comments:

  1. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය

    ReplyDelete

මේජර් බ්‍රෙන්ට් ටේලර්

බ්‍රෙන්ට් ටේලර් ඇමෙරිකාවේ උටා ප්‍රාන්තයේ ඔග්ඩේන් නගරයේ නගරාධිපතිවරයාය. ඇත්තෙන්ම ඔහු හිටපු නගරාධිපතිවරයාය. ඔහු ඇමෙරිකානු හමුදා ස්වෙ...