Friday, November 9, 2018

අපේ ජාතියේ අනාගතය




මම මෙවර මහා කන්නයේ අපේ කුඹුරු වලින් බාගයක් පමණ ඒ කියන්නේ අක්කර දෙකක් පමණ වී ගොවිතැන් කරන්නට තීරණය කලෙමි. ගියවරද එසේ කරන්නට සිතුවද මගේ බිරිඳගේ විරුද්ධතාවයන් නිසා එය කරගැනීමට නොහැකි විය. 

ඇය විරුද්ධ වුයේ ඇය මට වඩා ප්‍රයෝගිකව සිතන නිසාය. කුඹුරු වැඩ කිරීමෙන් ඇති ලාබයක් නොමැති බවත් අස්වැන්න ලැබූනු පසු ගෙදර ආහාර සඳහා සහල් මිලදී ගැනීමට ඇති චොයිස් එකත් නැතිවී යන බව ඈ දනියි. මගේ මව ඇයට ගුරුවරියක ලෙස සේවයෙන් රජයෙන් ලැබුණු මුළු විශ්‍රාම වැටුපම වාගේ වැය කලේ කුඹුරු වැඩකිරීමට බවත් එහෙත් එයට ගැලපෙන ආදායමක් එයින් නොලැබුණු බවත් ඇය ගේ මෙම විරුද්ධත්වයට තව දුරටත් බලපාන්නට ඇත.

මෙවර කෙසේ හෝ බිරිඳද අමාරුවෙන් කැමති කරවා ගෙන මගේ රියදුරු සමග එකඟතාවයකට පැමිණියෙමි. ඒ කුඹුරු වැඩකිරීමට මුළු වියදම මා දරණ බවත් ඉතිරි ශ්‍රමයෙන් කරන වැඩ අප දෙදෙනා විසින් කරනු ලබන බවටත් අස්වැන්නෙන් 1/4 ක් මා විසින් ඔහුට ලබාදෙන බවටත්ය. 

මම මම පසුගිය කල අසා තිබුණු වී ගොවිතැන පිළිබඳව අළුත් තාක්ෂණය යොදා මෙම කන්නයේ අළුත් වැඩක් කරන්නට ඉටාගෙන වැඩට බැස්සෙමි. මුලින්ම මම යොදාගන්නට අදහස් කලේ ජපානයේ හැත්තෑ ගණන් වල බොහෝ ප්‍රසිද්ධියට පත්ව සිටි  ජපාන දාර්ශනිකයකු සහ ගොවියෙකු වූ  මසනොබු ෆුකුඔකා (1913-2008) ගේ වී වගා කිරීමේ ක්‍රමයයි. ඔහුගේ ක්‍රමයට අප කුඹුරට වී වගාව සඳහා සී සෑම වැනි කිසිම කරදරයක් කලයුතු නොවේ. ඉපනැලි සහිත කුඹුරේ වතුර බැඳ වල් සහ ඉපනැලි කුනුවෙන්නට ඇර ඒ මතට බිජ වී ඉසීම ඒ ක්‍රමයයි.
මම මුලින්ම ඒ සඳහා වැස්ස පටන් ගන්නා විටම නියර යන්තම් පිළිසකර කර වතුර බැන්දෙමි. නමුත් දින කිහිපයක් වනවිට; මෙම කුඹුරු බොහෝ කඩක් වැඩ නොකර තිබු නිසා වන්නට පුළුවන, තිබු ලොකු වල් දිරා යන බවක් පෙනෙන්නට ලැබුනේ නැත. නමුත් ඒ වැඩය අපේ වර්ෂාපතන රටාව අනුව කරගන්නට හැකියාවක් නැති බවත් මට පෙනුනි. 




වල් කුණු වෙනකන් සති දෙක තුනක් බලා සිටින විට මහා කන්නයේ මාස දෙකක් පමණ වන මෝසම් වැස්ස වී ගස හැදෙන්නට පෙර අවසන් වී අපි අමාරුවක වැටෙන්නට ඉඩ තිබෙන බව මට වැටහින. බොහෝ සිංහල කාන්තාවන් මෙන් ප්‍රවේනිගත දේ වලින් වෙනස් වීමට නොකැමැති මගේ බිරිඳද මට ඒ දින කිහිපය තුල තදබල පීඩනයකට ලක් කලාය. මගේ හවුල්කරුද මෙම අළුත් ක්‍රමයට නොකැමැත්ත මුහුණින් පෙන්වා සිටියේය.

පසුව වතුර කපාහැර වල් කපන මැෂිමකින් කුඹුරුවල වල් සියල්ල පිට්ටනියක් ලෙස වන තෙක් කපා දැම්මෙමු. 

ඉන්පසු කුඹුරු යාය වටා යන ලුනුමඩ ඇල ඉහල ස්ථානයකින් හරස් කර ඇල කණ්ඩියේ බටයක් දමා කුඹුරට වතුර හරවා දවස් කිහිපයකට පසු අත් ට්‍රැක්ටරයක් අයිතිකරුවෙකුට කියා කුඹුර සී සා ගත්තෙමු. පළමුවෙනි දවසට ට්‍රැක්ටරයට රුපියල් 1000 කුත් සී සෑ ගෝටාභයට රුපියල් 2000 කුත් දුන්නෙමු. මෙදින සී සෑම ඉගෙනගත් අපේ හවුල්කරු දෙවන සහ තුන්වන දිනවල සී සෑ නිසා වියදම තරමක් අඩුවිය. දවස් හතරේ ඩිසල් සඳහා තවත් රුපියල් 1500 ක් වැය විය.

දැන් වතුර බැඳ ටික දවසක් ගිය පසු ට්‍රැක්ටර් අයිතිකරු සමග කතා කරන විට මට වටිනා තොරතුරක් දැන ගන්නට ලැබිණ. ඒ දැන් අතීතයේ මෙන් කුඹුරු දෙහිය ඇඹුල සහ ඇද්දුම යනුවෙන් තෙවරක් සී සාන්නේ නැති බවත් පලමුවරින් පසු ටිලර් කල පසු වී ඉහින්නට පුළුවන් බවයි.

හාන එක ගැන කතා කරන විට එකල මගේ ලොකු ඇත්තා: මගේ අත්තම්මාගේ මල්ලි, හොඳාකාරයෙන් සී සෑම නොකළ කෙනෙකුට" ඌ හොඳ හාන්ට නෙවෙයි, හාල රිපන්ට" යනුවෙන් කියන්නට පුරුදුව සිටි බව මගෙ සිහියට ආවේය.

 මේ අතර  මම CIC එකෙන් බිත්තර වී යාමට නුවරට යාමට සිටි දවසට පෙර දින මගේ මිතුරෙකු හමුවීමට ගුන්නෑපානට ගියවිට ඔහු ගෙන් ලැබුණු ආරංචියක් නිසා ඒ අසල කෘෂි සේවා මධ්‍යස්ථානයට ගියෙමි. බිත්තර වී ඔවුන් විසින් විකුනන බවත් බුසලක් රුපියල් 2000 ක් බවත් දැනගන්නට ලැබිණ.

විස්තරය දිග වැඩි නිසා තව කොටසකින් අවසන් කරමි.








3 comments:

  1. ඔන්න ඔහේ කියල බිත්තර වි ගන්න ගමන් මැහි තෙල් / පණු තෙල් ටිකකුත් අරන් දාන්න, මන් කිව්වේ අසල්වැසි ගොවියන්ගේ යහපතට, නැතිනම් එ මිනිසුන්ගේ කුඹුරුත් පුරන් වෙයි.

    ReplyDelete
  2. It is always good to do paddy farming that I also did while doing A/L. I enjoyed it. My classmates came and help me too.

    ReplyDelete

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...