Sunday, February 4, 2018

සුප්‍රසිද්ධ නීතිඥ සහ රහස් පරීක්ෂක පෙරී මේසන්




අර්ල් ස්ටැන්ලි ගාර්ඩ්නර් විසින් ලියන ලද පෙරී මේසන් රහස් පරීක්ෂක කතා මෙතෙක් ලොව ප්‍රකාශ වුනු තුන්වෙනියට වැඩියෙන්ම ලියවුනු කතා පෙළ වෙයි. පෙරී  රහස් පරීක්ෂකයෙකු , නීතිඥයකු සහ ප්‍රශ්න විසදන්නෙකු ලෙස ගාර්ඩ්නර්  ගේ පොත් 80 ක පමණ වැරදි ලෙස චෝදනා වලට ලක්වූ චුදිතයන් උසාවියේ නඩු විභාග වලින් සහ  සහ පිටත රහස් පරීක්ෂණ කටයුතු වලින් නිදහස් කර ගනියි. ඔහුට සහාය වන්නේ ඔහුගේ මිතුරු රහස් පරීක්ෂක පෝල් ඩ්රේක් සහ ලේකම් වරිය වන ඩෙලා ස්ට්‍රිට් ය. එතරම් පැහැදිලි නොවුවද ඩෙලා සහ පෙරී අතර යම් ප්‍රේම සම්බන්ධයක් තිබේ දැයි කියවන්නාට සැක සිතෙයි.

මෙම පොත් බොහෝ ගානක් රුපවාහිනි නාට්‍ය සහ චිත්‍රපට වලට නැංවුනි. මම බොහෝ කලක සිට court dramas ලෙස හැඳින්වෙන නැව කතා කියවන්නට ආශාවක් දක්වුයෙමි. දැනට අවුරුදු අටකට පමණ පෙර මම ඒ දවස් වල මම කියවමින් සිටි ගාර්ඩ්නර්  ගේ පොතක් පරිවර්තනය කලද එය ප්‍රකාශකයෙකුට දීම අතපසු විය. මේ ලඟකදී පොත් ප්‍රකාශකයෙකු පුවත් පතක දමා තිබුණු දැන්වීමක් දැක මෙය මතක් වී ඔවුනට එය ලබා දුන් අතර ඔවුන් එම පොත ගිය සතියේ  ප්‍රකාශයට පත් කළහ. යම් තාක්ෂණික ප්‍රශ්නයක් නිසා පහත පින්තුරය හිර වී ඇත. ඊට යටින් කතාව තිබේ.


එම පොතේ කතෘගේ පෙර වදන සහ කතෘ පිලිබඳ කෙටි සටහනක්  මම පහතින් අමුනන්නෙමි.


අර්ල් ස්ටැන්ලි ගාර්ඩ්නර්
 අර්ල් ස්ටැන්ලි ගාර්ඩ්නර්, පොත් මිලියන 170 ක් විකුණූ අභිරහස් කතු වරයෙකි. අතිදක්ෂ නීතිඥයෙකු වූ ඔහු, අපරාධ පරීක්ෂණ වලට නව තාක්ෂණයන් යොදා ගැනීම පිළිබද, ගැඹුරෙන් අධ්‍යයනය කලේය. එමෙන්ම වැරදි ලෙස මරණ දඩුවම නියම වූ යැයි සැක කරන පුද්ගලයින්, එයින් බේරා ගැනීම සදහා, ‘අවසාන උසාවිය‘ නමින් සංවිධානයක් පිහිටුවා ගත්තේය. දක්ෂ ඡායාරූප ශිල්පියෙකු හා ගවේශකයෙකු වූ ගාර්ඩ්නර්, ලියූ විශාල ස්වාභාවික හිස් අවකාශ පිළිබද ගවේශක ලිපි, ඔහුගේ අභිරහස් නීති ග්‍රන්ථ ලෙසටම ජනප්‍රිය විය. 1970 දී ඔහු මිය යන විට, ඔහුට වයස අවුරුදු 80 ක් විය.
                                            මුල් කථාවේ පෙර වදන.
ටික කලකට පෙර ‘මැසචුස්ටි‘ මහා මාර්ගයෙහි ගමන් ගන්නා වාහනයක රියදුරෙකු, රාත්‍රියකදී, තමන්ට ඉදිරියෙන් වාහනයක් හදිසියේම වමට හැරවී නොපෙනී යනු දුටුවේය.
එය සමහර විට මහන්සිය නිසා, තම මනස තුල ඇති වු ඇස්බැන්දුමක් ලෙස ඔහු සිතුවද, එම දසුන සත්‍යයක් යැයි සැක සිතූ රථයේ රියදුරා, එම දුටු තැන නවතා වාහනය පරීක්ෂා කළේය. ඔහුට දක්නට ලැබුනේ පාරේ සිට එක්වරම පහලට පහත් වී යන ගං ඉවුරකි. ඔහු ඉවුරෙන් පහලට බැස අසල ගඟ පරීක්ෂා කලේය. සිතූ පරිද්දෙන්ම වාහනයක රතු පාට පසුපස පහන් එලියක් ගඟෙහි වතුර තුලින් ඔහු දුටුවේය.
පොලීසිය කැදවිණ. දම්වැල් සහ යකඩ කොකු සහිත දොඹකරයක් මගින් වාහනය ඉහලට එසවිණ. එය තුල වාහනය පැද වු තැනැත්තාගේ මළ සිරුර හිරවී තිබිණ.
‘හාවඩ්‘ විශ්ව විද්‍යාලයේ නීති වෛද්‍ය අංශයේ ප්‍රධානියා වුද, බොස්ටන් නගරයේ නීති වෛද්‍යවරයා වූද, දොස්තර රිචඩ් ෆෝඩ් මරණ පරීක්ෂණය පැවැත්වූයේය. මරණය සදහා හේතුව ජලයේ ගිලීම වූ අතර, රථය ගඟට පෙරලීමට මුල් වූ කරුණක් සොයා ගැනීමට නොහැකි විය. සාමාන්‍යයෙන් වාහනයක් පදවද්දී, මෙලෙස අනතුරට පත්වීමට හේතුව වන, හදිසි හදවත් රෝගයක් හෝ වෙනත් එවැනි රෝගී තත්වයක් මිය ගිය තැනැත්තා ගෙන් දක්නට ලැබුනේ නැත. සමහර විට තමන්ගේ දරු පවුලට රක්ෂණ මුදල් ලබා ගැනීමට ඉඩක් ඇති කිරීමට, සිය දිවි හානි කර ගැනීමක් සේ නොපෙනෙන ලෙසට, ඔහු වාහනය ගඟ වෙතට හිතා මතාම පැද වුවාදැයි සැකයක් මතු විණ. මන්ද, සිය දිවි නසා ගැනීමකදී බිරිදට හා දරුවන්ට රක්ෂණ මුදල් නොලැබෙන හෙයිනි.
 කොතෙක් සිය දිවි නසා ගැනීම පැත්තට කරුණු තිබුනද, දොස්තර ෆෝඩ්  එම තර්කය පිලිගැනීමට මැලි විය. එලෙසම, මෙම අනතුර සිදුවීමට මූලික විය හැකි කිසිම යාන්ත්‍රික අඩුපාඩුවක්ද, වාහනයේ තිබී නැති බව පරීක්ෂණ වලදී හෙලි විය.මෙම අනතුර සිදු වූයේ සිය දිවි හානි කර ගැනීමක් මුල් කරගෙන බවට කරුණු දැක්වූ පිරිස් දොස්තර ෆෝඩ්, එම තර්කයට එකග නොවීම පිලිබදව ඔහුව විවේචනය කලහ.
එහෙත්, වචනයේ පරිසමාප්තියෙන්ම විද්‍යාඥයෙකු වූ දොස්තර ෆෝඩ්, පොදුවේ වි‍වේචනය වීමත්, ගෞරව ලැබීමත් ගැන එතරම් තැකීමක් නොකලේය. ඕනෑම ප්‍රශ්ණයකට තමන්ගේ හිතට එකගවන පරිදි, හරි පිළිතුරු සොයාගන්නවා මිස, අනෙක් අය තමන්ගේ එම වැඩ පිළිබදව සිතන්නේ කුමක්දැයි, ඔහුට දැන ගන්නට වුවමනා වූයේ නැත.
මාස හයකට පමණ පසු, තවත් රියදුරෙකු පෙර රිය අනතුර ලෙසටම එම ස්ථානයේම, තමන්ට ඉදිරියෙන් යන වාහනය හදිසියේම නොපෙනී යනවා දුටුවේය.
නැවත වරක් පොලීසියට දැන් විණ. පොලීසියෙන් පැමිණ යකඩ කොකු සහ දම්වැල් මාර්ගයෙන් වාහනය ඉහලට එසවූ විට, ජලයේ ගිලීමෙන් මිය ගිය තවත් රියදුරෙකු වාහනය තුලින් සොයා ගත හැකිවිය.
අනතුරු දෙකක්ම එලෙස සිදු වූ නිසා, මේ පිළිබදව විශේෂ පරීක්ෂණයක් සිදු කෙරිණ. එහිදී ප්‍රධාන මාර්ගයේ ඇති ලොකු වංගුවක් මග හැරීම සදහා, එම වංගුවට පෙර බෝතල් කර්මාන්ත ශාලාවක් හරහා, වැටී ඇති පුද්ගලික මාර්ගයක් ප්‍රදේශයට පලපුරුදු රියදුරන් පාවිචිචි කරන බවද, රාත්‍රියේදී එවැනි රථ එක්වරම මහා මාර්ගයට ඇතුල් වන විට, ‍මෙය දකින මහා මාර්ගයේ පහලින් යන රියදුරන්, තමන් මහා මාර්ගයේ වැරදි පැත්තේ ගමන් කරන බව සිතා, දකුණට හදිසියේ වාහනය කැපීමෙන්, එය ලිස්සන සුලු ප්‍රපාතයකට වැටී, අවසානයේ ගගේ ශීතල වතුරට වැටීමෙන්, ශෝකාන්තයකට අවැසි සියළු දෑ සම්පූර්ණ වන බව සොයා ගැණින.
දොස්තර ෆෝඩ්  ගේ පුද්ගලික පරීක්ෂණ නිසා, අවශ්‍ය තැන්වල ආරක්ෂක වැටවල් ඉදිකිරීමෙන්, මෙම ස්ථානයේ මෙලෙස නිතරම සිදු වූ රිය අනතුරු සදහටම වලක්වා ගැනීමට කටයුතු කරන ලදි, මෙම විස්තරය දොස්තර ෆෝඩ්ගේ රාජකාරී වල, ඔහු යෙදෙන ආකාරය සහ එමගින් ඇතිවන ප්‍රතිඵල පැහැදිලිවම පෙන්වා දෙයි.
ඇමරිකාවේ බුද්ධිමත්, ඉහල අධ්‍යාපනය ලැබූවන් සදහා කුලයක ඇත්තේ නම්, දොස්තර ෆෝඩ්  නිසැකයෙන්ම එම කුලයට අයත්වේ.
ඔහුගේ පියාද, මට දැනට මූණ ගැසුනු වැඩියෙන්ම ඇසූ පිරූ තැන් ඇති තැනැත්තාය. එහෙත් ඔහු ලොකු පණ්ඩිතයෙකු නොවේ. ඔහු ප්‍රායෝගික, පොළවෙහි ජීවත්වන, සෑම දෙනාගේම ආදරයට ලක්වූ පුද්ගලයෙකු විය. ඔහුගේ ඇගිලි තුඩුවල ඇති දැනුම සමහර දෙනෙකුගේ මොළයේද, සොයා ගන්නට නොහැක. ඔහුගේ මව නිව් ඉංග්ලන්ඩ් ප්‍රාන්තයේ කාන්තාවකි. කාන්තාවක් නිව් ඉංග්ලන්ඩ් ප්‍රාන්තයේ යැයි පැවසීම පමණක්ම නිව් ඉංග්ලන්ඩ් ගැන දන්නා කෙනෙකුට, ඇය පිළිබද අදහසක් ලබාගැනීමට ප්‍රමානවත්ය. දොස්තර රිචඩ් ෆෝඩ්  විද්‍යාඥයෙක්, දාර්ශනිකයෙකු සහ දක්ෂ වෛද්‍යවරයෙකුද වේ. ඔහුගේ සහෝදර වෛද්‍යවරුන්ගෙන් මා ඔහු ගැන විමසූ විට ලැබෙන්නේ එකම පිළිතුරකි. එනම්, ඔහුගේ  මිතුරන්ට ඇති  බැදීම, ඔහුගේ රැකියාවට ඇති බැදීම සහ ශුද්ධ විද්‍යාවට ඇති බැදීමයි.
 නීති වෛද්‍ය අංශයේ සහ අපරාධ පරීක්ෂණයන්හී, බොහෝ සොයා ගැනීම් වලට මුල් වූ,  කපිතාන් ෂ්‍රැන්සිස් ලී මහත්මියගේ යටතේ දොස්තර ෆෝඩ්, හාවඩ් වෛද්‍ය විද්‍යාලයේදී සිදු කල පශ්චාත් මරණ පරීක්ෂණයකට, මටද සහභාගි වීමට අවසර ලැබිණ.
ඔහු විසින් මරණ පරීක්ෂණයක් සිදු කරනු බලා සිටීම ආශ්චර්යයක් දෙස බලා සිටිනවා වැනිය. ඔහුගේ කාර්යක්ෂම ඇගිලි, කොතරම් නිවැරදිව හා විශ්වාසයෙන් චලනය වනවාද කීවොත්, ඒ අවස්ථාවේ ඇගිලි ඔහුගේ මොළයේ කොටසක් ලෙස පෙනේ. කුමක් සදහා කොතනක පරීක්ෂා කිරීමට අවශ්‍ය දැයි සහ එයින් නිගමනය වෙන්නේ කුමක්දැයි ඔහු දන්නේය. කිසිම සැකයක් නැතිව, ඔහු ලෝකයේ සිටින හොදම නීති වෛද්‍යවරයෙක් බව මට කියන්නට පුලුවන. පුද්ගලිකව නීති වෛද්‍ය විද්‍යාවට ඔහුගෙන් සිදු වූ විශාලතම සේවාව, ඔහු විසින් එකතු කරගෙන යනු ලබන වර්ණ වීඩියෝ දර්ශන පුස්ථකාලයයි. එම පුස්ථකාලය මගින් කුමන ආයුධයකින් කුමන විදිහේ තුවාලයක් අපරාධයකදී සිදුවුනා දැයි පෙන්වා දීමට පුලුවන. නඩුවකදී එවැනි තුවාල සම්බන්ධව, යම් විශ්ලේෂණයක් අවශ්‍ය වූ විට, මෙයට පෙර සිදු වූ එවැනි අපරාධවල දර්ශන නැරඹීමෙන්, අපරාධය පිළිබද පැහැදිලි සාක්ෂි ගොඩනැගීමට නීතිඥයන්ට පුලුවන.
නීති වෛද්‍ය විද්‍යාව පිළිබදව, ලියන ලද පොත්, සාක්ෂියක් විදිහට උසාවියේදී පාවිච්ච් කල නොහැක. නමුත් පෙර සිදු වූ එවැනි අපරාධයක, ඡායාරූප සාක්ෂිවලට සම්බන්ධ කර ගත හැක. මේ හේතුව නිසාම දොස්තර ෆෝඩ්  විසින් එකතු කරගෙන යනු ලබන ඡායාරූප පුස්ථකාලයෙහි වටිනාකම, කිව නොහැකි තරම් වේ.  මම මේ නව කථාව ගොඩ නැගීම සදහා යොදාගන්නේ පරිවේෂනීය සාක්ෂි වේ. මෙම සාක්ෂි වර්ගය පිළිබදව නීතිය සම්බන්ධ පිරිස් එතරම් කැමැත්තක් දක්වන්නේ නැත. නමුත් මෙම වර්ගයේ සාක්ෂි විද්‍යාත්මක ඇසකින් බැලුවහොත්, වැරදි අඩුවෙන්ම සිදුවිය හැකි සාක්ෂි වර්ගය යැයි පෙනී යයි.
පරිවේෂනීය  සාක්ෂිවල වැරදීමට ඇති ඉඩ කඩ බොහෝ අඩු අතර, ඇසෙන් දුටු සාක්ෂි වලට වඩා ලබා ගැනීමට පහසු වේ. එහෙත් ඒවා නොයෙකුත් නීතිඥයන් විසින් තේරුම් කරන ආකාරය නිසා, පරිවේෂනීය සාක්ෂිවලට නරක ප්‍රසිද්ධියක් ලැබී තිබේ. මෙලෙස වැරදි තේරුම් දෙන්නේ බොහෝ අවස්ථාවල අපරාධ පරීක්ෂණ කරන නිලධාරීන්ගේ නොදැනුවත්කම නිසාය. එලෙසම එම නිලධාරියා විසින්, අපරාධය සිදු වූ ස්ථානයේ ඇති සියලුම සාක්ෂි සම්පූර්ණයෙන් සහ හරියටම ලැයිස්තු ගත නොකිරීමෙන්ද මෙම සාක්ෂි දුර්වල වේ. බොහෝ විට පරීක්ෂණ කරන නිලධාරීන් ඉක්මනින්ම නිගමනයකට පැමිණ එම නිගමනයට පැමිණීමට ගැලපෙන   සාක්ෂි යෙදවීමෙන්ද, එම නිගමනයට නොගැලපෙන සාක්ෂි අතහැර දැමීමෙන්ද, සාක්ෂිවල හොඳ නම්‍යතාවයන් කැලැල් වී ඇත. විනිශ්චය පිහිටා ඇත්තේ සාක්ෂි මතය. පරිවේෂනීය සාක්ෂි රදා පවතින්නේ කරුණු මතය. මෙම සාක්ෂි වර්ගය සදහා, දොස්තර ෆෝඩ්  විසින්කරන ලද සේවය අගය කිරීමක් වශයෙන්, මා විසින් මෙම පෙරවදන ලියූ අතර, මෙම පොතද වෛද්‍ය රිචඩ් ෆෝඩ්ට   පුදකර සිටිමි.

වෛද්‍ය රිචඩ් ෆෝඩ් 
වැඩබලන ප්‍රධානි, නීති වෛද්‍ය අංශය, හාවඩ් විශ්ව විද්‍යාලය.

ප්‍රධාන නීති වෛද්‍ය නිලධාරී, ‘සුෂොල්ක්‘ කොටස, මැචෙසුට් ප්‍රාන්තය.

7 comments:

  1. HTML එඩිටින් මෝඩ් එකට ගොස් ෆොටෝ එකේ IMG ටැග් එකේ දෙවෙනි කොටස ලෙස width="500" යොදන්න. එවිට නිසි පරිදි සැකසේවි. නැතිනම් උඩින් ද එයම ඇති නිසා මැද ඇති එක කපා දාන්න.

    ReplyDelete
  2. මට මතකයි පෙරී මේසන් පොතක් මං කියවලා තියෙනවා I, the Jury කියලා කොල්ලා කාලේ.

    ඒකේ තියෙන්නේ ප්ලාස්ටික් සර්ජරි කරගෙන නැවතත් විශ්ව විද්‍යාලයට ගොස් තරුණියන් සමග සම්බන්ධතා ඇති කරගෙන ඔවුන් මරන අයෙකු ගැනයි. හොඳ ලිංගික උත්තේජන ලැබෙන කොටස් තිබුණා මතකයි.

    ReplyDelete
    Replies
    1. නෑ ඒක මයික් හැමර් සීරිස් එකේ පොතක්!

      Delete
    2. දැන් සොයා ගත්තා මා කියවා ඇති පෙරී මේසන් පොතේ නම-
      Spurious Spinster

      Delete
    3. ඔව් ඒක පෙරී මේසන් නෙවෙයි, මමත් spurious spinster කියවලා තියෙන ව වගේ මතකයි

      Delete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...