Wednesday, September 14, 2016

යුද්ධයන්හි පසු විපරම; ඉතිහාසයෙන් පටන් ගනිමු.











යුද්ධයන්හි පසු විපරම; ඉතිහාසයෙන් පටන් ගනිමු.


යුද්ධය අවසන් වී දැන් බොහෝ කල්ය. ජයග්‍රහනයේ උණුසුම් අඩු වූ විට දැන් එහි හොඳින් කෙරෙනු දෑ සදහා ලකුනු දමා ගැනීමට සහ හොඳ නැතුව අවසන් වූ දෑ සදහා වගකිව යුත්තන්ට ඇගිලි දිගු කිරීමට පටන් ගන්නා සේයක් පෙනෙන්නට තිබේ.
මෙයට බොහෝ කලකට පෙර, අවුරුදු 2175 කට පමණ පෙර, මෙවැනිම යුද්ධයක් ශ්‍රී ලංකාවේ ඇතිවිය. එහි පස මිතුරෝද මේ යුද්ධය හා සමාන විය. ඒ කැලැත්තෑවේ සිදු වූ එළාර සහ දුටුගැමුණු අතර යුද්ධයයි. කැලැත්තෑවේ මහා යුද්ධය ඇති වුනද, මෙම යුද්ධයත් ඇත්තෙන්ම මහියංගනයේ සිට මන්නාරම දක්වා නොයෙකුත් ස්ථානයන්හි සිදුවිය.
මෙම යුද්ධයෙන්ද බොහෝ පාඩම් ඉගෙන ගැනීමට හැකි වන්නේ මෙම යුද්ධය පටන් ගත් දිනයේ සිට අවසන් දිනය දක්වාත්, ආරම්භයට පෙර තත්වයන් සහ අවසානයෙන් පසු සිදු වූ දෑ පිළිබඳව පැහැදිලි වාර්ථාවක් මහා වංශයේ ලේඛන ගතකර ඇති නිසාය. මහා වංශයෙහි පරිච්ඡේද 37 න්, ඇත්තෙන්ම විජය රජු පැමිනෙන්නේ 6 වෙනි පරිච්ඡේදයේදීය, ඒ කියන්නේ පරිච්ඡේද 31 න්, 10 ක්ම වෙන්ව ඇත්තේ දුටුගැමුණු රජු ගැන නිසා මේ ලේඛන ගත කිරීම ඉතාමත් සවිස්තරාත්මකව සිදු වී නැතැයි කියන්නට කාටවත් නුපුලුවන.
දැන් අපි මේ යුද්ධයේ මහා වංශයේ විස්තරයට අනුව සිදු වී ඇති අඩු ලුහුඩු කම් සහ විශිෂ්ඨ ක්‍රියාකාරකම් පරීක්ෂා කර බලමු.
1. නිසි කලට ප්‍රතිචාර නොදැක්වීම. ගැමුණු රජු මහියංගන ප්‍රදේශයේ සිට මහවැලි ගඟ දිගේ එළාරගේ කඳවුරු එකින් එක විනාශ කරමින් ගඟ දිගේ උතුරට යයි.
එළාර රජු මේ සම්බන්ධයෙන් කිසිම පියවරක් ගන්නා බවක් පෙනෙන්නට නැත. මෙයින් දුටුගැමුණු රජුගේ හමුදාවට ක්‍රමයෙන් වැඩිවන චිත්ත ධෛර්යයක් ලැබෙන අතර, එළාරගේ චිත්ත ධෛර්යය ක්‍රමයෙන් අඩුවේ. විජිතපුර මහා සටනේදීද එළාර රජුට පසු පසින් පැමිණ කඳයුරුපිටියේ විවෘත භූමියක තාවකාලික කවුරු බැඳ සිටි ගැමුණු රජුගේ හමුදාවට පහරදිය හැකි වුවද, එළාර එසේ නොකර සිටීම පුදුම සහගතය. එළාර අවසාන මහා යුද්ධය වන තෙක් කඳවුරු වල සිට යුද්ධ කිරීමට ලැදි වූ බවකුත්, එමනිසා ගැමුණු රජුට බලකොටු වටලෑමේ (siege warfare) ක්‍රියාදාමයන් නිතරම කරන්නට සිදුවේ. 
2.දුර්වල යුද්ධෝපාක්‍රම සහ සැලසුම්. විජිතපුර බලකොටුවේ ද්වාරය බිඳීමට යවන  කණ්ඩුල ඇතුට බලකොටුවේ මුදුනේ සිටින සතුරු හේවායන් නොයෙකුත් ප්‍රකාර ආයුධ වලින් පහර දෙන අතර, ගිනියම් ලෙසට රත්කල ලෝහ ගුලිද කකාළ මැලියම්ද වක්කරයි. දරාගත නොහැකි කණ්ඩුල ආපසු පැමිණ අසලැති ජලාශයකට බසියි. ඉන්පසු ඇත් වෙද ඔහුගේ තුවාල වලට බෙහෙත් බැඳ බෙහෙත් රෙදි ගැට ගසා, යකඩ සන්නාහ ශරීරයේ සවිකර මී හරක් හම 7 ක් ගනකමින් තවත් ස්ථරයක් සන්නාහ මත සවිකර ඒ මත තෙල් ගැල් වූ සමක්ද ඔතයි. ගැමුණු රජුද ඌ පිටට නැඟ ඔලුව අතගා ඌට ලංකා රාජ්‍ය දෙන බව පොරොන්දු වී ඌ නැවත සටනට යවයි.
මෙවර ඌ කුංච නාද කර නැවත සටනට ගොස් දෙදලින් යකඩ දොර කඩා දමයි.
මෙතැන යුද්ධෝපාය ක්‍රමයන්හි තරමක අඩුපාඩුවක් දක්නට ඇත. මුලින්ම කණ්ඩුල මෙලෙස සන්නාහ සන්නද්ධ කර ද්වාරය බිඳීමට යැව්වේ නම්, එම කර්තවය මෙයට වඩා බොහෝ පහසුවෙන් අලියාටද තුවාල නොකර සිදුකර ගැනීමට හැකියාව තිබිණ.
3.සතුරා ඌන තක්සේරු කිරිම. තමන්ගේ අගනුවරටම සතුරා පැමිණ කඳවුරු බැදගන්නා තෙක් එළාර රජු කිසිවක් නොකර සිටින බවක් පෙනේ. අවසානයේ ඔහු යුධ මන්ත්‍රණ සභාවක් පවත්වන්නේද සතුරා නගරයේ ද්වාරය අසලටම පැමිණි පසුය.
4.තමන්ගේ තරම දැන සිටීම. (“know thy self.... Sun Tzu). විජිතපුර සටනට පිළියෙල වන ගැමුණු රජු නන්දි මිත්‍ර සෙනවියා එනු දැක ඔහු වෙතට කඩොලැතු යවයි. නන්දිමිත්‍ර තමාට පහරදීමට පැමිණෙන කඩොලැතු දෙදලින් අල්ලා දණගස්වයි. මෙයින් රජුට තමන්ගේ සෙනවියන්ගේ ශක්තියත්, එමෙන්ම මෙම හස්ති පොරය හමුදාව පුරා දැනගත් විට ඔවුන්ගේ චිත්ත ධෛර්ය වැඩිවීමත් රජු බලාපොරොත්තු වේ.
5.නව තාක්ෂණය යොදා ගැනීම.(Sonic and ultrasonic weapons) රජුගේ එක් සෙනවියෙකු උන්මාදඵුස්ස නම්විය. ඔහු දුණු ශිල්පයේ බොහෝ හැකියාවන් තිබුනු අතර, එසේම කුඩාකල විහාරයක තිබූ සකක් ගෙන පිඹ තමන්ගේ යහලුවන් උන්මාදයට පත්කල ලද හෙයින් මෙම පටබැඳි නම ලැබී තිබුනි. මෙම ඵුස්සදේව කැලැත්තෑව (කලත් වැව) සටනේදී සකයක් පිඹින විට සතුරු සෙන් බිදී ගිය බව පැවසේ. සමහර විට එලෙස පිඹින්නට ඇත්තේ විශේෂයෙන් වැඩි දියුනු කල සතුරන්ට ඉවසිය නොහැකි ශබ්දයක් පිට කරන සකයක් විය හැකිය.

මෙම විශ්ලේෂණයේ තව කොටසක් ඊලග බ්ලොග් එකෙන්......    

8 comments:

  1. අතීතය ගැන වැදගත් ලිපියක්....උන්මාදඵුස්ස ගැන ඇහුවෙ ප්‍රථම වරට

    ReplyDelete
  2. නන්දිමිත්‍ර තමාට පහරදීමට පැමිණෙන කඩොලැතු දෙදලින් අල්ලා දණගස්වයි...නැට්ටෙන් අල්ලල පොළවෙගැහුවෙ නැතිඑක පුදුමයි !

    ReplyDelete
  3. අපි 'එළාර' නම් දකුණු ඉන්දියාවෙන් පැමිණි රජෙක් ගැන කතා කරනවා.
    නමුත් ඉන්දියාවේ 'එළාර' නම ඇති කිසිවෙකුත් ඉඳලත් නෑ. ඒ නම කිසිම පාවිච්චියකුත් නෑ.

    ඔය 'එළාර' ඇවිත් තියෙන්නේ දකුණු ඉන්දියාවෙන් නෙවෙයි, බටහිර ඉන්දීය කොදෙව් වලින්, මෙයා බ්‍රයන් ලාරා ගේ මී මුත්තෙක්. නම E. Lara.

    ReplyDelete
  4. මට හිතෙන විදිහට එළාර දකුණු ඉන්දියාවේ රාජධානියකින් කුඩා හමුදාවක් සමග මෙහි පැමිණ, ස්ථීර හමුදාවක් නොතිබුනු යුධ කටයුතු වලින් ඈත් වී ආගමට බොහෝ බර වූ අනුරාධපුර රාජධානිය පහසුවෙන්ම අල්ලා ගෙන ඇති බවයි.
    එළාරගේ මහා වංශයේ පෙන්වන ඉතාමත් දැහැමි පාලනයෙනුත් පෙනෙන්නේ ඔහු චෞරයෙකු හෝ කෘෘර පුද්ගලයෙකු නොවන බවයි.

    ReplyDelete
    Replies
    1. ඔව් දුෂ්ඨ ගාමිණීට වඩා හොඳයි...අපරාදෙ දෙමළෙක් උන පලියට ඒවගේ සාධාරණ හොඳ රජෙක් මැරුවෙ !

      Delete
    2. අනුන්ගේ රටකට ඇවිත් ආයුද බලෙන් ඒ රට අල්ලාගෙන පාලනය ගෙනියන්න සාදාරන වුනු පලියට කොහොමද සාදාරන හොඳ රජෙක් වෙන්නේ .ඔබතුමාගේ අලි පෙට්ටිය හොරෙන් නිෂ්පාදනය කරපු මනුස්සයත් සාදාරන හොඳ මනුස්සයෙක් වෙන්න ඇති නේද ?

      Delete
  5. සොනික් වෙපන්ස්.. පිස්සු හැදෙයි. මේ ලිපි පෙල නැගල යයි.
    ජයවේවා..!!

    ReplyDelete
  6. වර්තමාන යුද න්‍යායේ සඳහන් වන වැදගත් මූලධර්ම දෙකක් ප්‍රධාන වශයෙන් දුටුගැමුණු රජතුමා ප්‍රායෝගිකවම යොදාගෙන තිබෙනවා. එකක් තමයි Advance in contact කියන න්‍යාය. සතුරා සමග ගැටෙමින් ආක්‍රමණය ඉදිරියට ගෙනයාම. අනික තමයි Block & Assault කියන න්‍යාය. අනුරාධපුරයට උතුරෙන් පිහිටි භූමිය තම හමුදා යොදවා බ්ලොක් කරලා, භූමියේ දකුණු පැත්තෙන් ප්‍රහාරය එල්ල කළා. සතුරාට මොකවත් කරගන්න අවස්ථාවක් නොදී. සාර්ථක යුද සැලැස්මක් බවපෙනේනවා.

    ReplyDelete

අන්දමන් දූපත් සහ සනත් ජයසූරිය.

 මා ශ්‍රී ලංකා නාවික නෞකා ශක්ති නැවේ අණදෙන නිලධාරියාව සිටියදී ඉන්දියාව 1997 වර්ෂයේ බෙංගාල බොක්කේ තදාසන්න රාජ්‍යයන් ගේ නාවික හමුදාවන්ග...