Sunday, November 15, 2020

සහල් ආසනික් සහ සෙනගල්

 


සෙනගල් ස්මාරකයක් 

අද උදේ මම පහුගිය දවස් දෙක තුනේ  දුටු අප කන බත්වල තිබෙන ආසනික් නමැති විෂ රසායනික ද්‍රව්‍ය තිබීම පිළිබඳව පෝස්ට් කිහිපයක් දුටු නිසා, මේ පිළිබඳව පරීක්ෂා කරන්නට සිතුවෙමි.

මම අන්තර්ජාලයට ගොස් නොයෙකුත් අන්දමට පරීක්ෂා කර; සැමවිටම විශ්වාසය තැබිය හැකි යැයි මට හැඟෙන මුලාශ්‍ර වලින්, පහත පෝස්ට් එක මගේ face book wall එකේ දැම්මෙමි.

හාල්වල ආසනික් තිබෙන බව පෝස්ට් කිහිපයක දැක ඒ පිළිබඳව පරීක්ෂා කර බැලුවෙමි. සාමාන්‍යයෙන් සහල්වල අනෙක් ධාන්‍ය වලට වඩා දහ ගුණයක් පමණ ආසනික් ස්වභාවිකව එකතු වන බව පෙනේ. කාබනික, අකාබනික, සුදු, දුඹුරු, කැකුළු, යනාදියෙන් වෙනසක් නොවන බවද පෙනේ. එසේම ආසනික් වැඩිපුර ශරීරගත වීම පිළිකා සෑදීමට හේතුවන බවත් පෙනේ. නමුත් බාස්මතී හාලේ එකතු වන ආසනික් ප්‍රමාණය සාමාන්‍ය සහල්වල මෙන් තුනෙන් එකක් පමණ වන බවද පෙනේ. මා දන්නා හැටියට අප එතරම් බාස්මතී සහල් වගා කරන්නේ නැත.

නමුත් මේ ප්‍රවෘත්තිය සමාජගත වූ විට හැකි සෑම කෙනෙකුම බාස්මතී සහල් මිලදී ගන්නට යොමු වන බව අපට සිතිය හැක.

ලෝකයේ බාස්මතී සහල් වෙළඳපොළෙන් 70% සපයනුයේ ඉන්දියාව විසිනි. පකිස්ථානය සහ ඇමරිකාවද බාස්මතී සහල් නිපදවති.

දැන් අපිට කරන්නට ඉතිරිව ඇත්තේ එකකි, ඒ බාස්මතී සහල් නිපදවීමට යොමු වීමයි. ඒ අතරම සහල් තම්බන විට වැඩිපුර වතුර යොදා තැම්බෙද්දී, වතුර ටික ටික ඉවත් කිරීමයි.

 

මෙය ලියද්දී මට සහල් පිළිබඳව කරුණු කිහිපයක් මතක් වුනි. ඒ සියල්ල අඩංගු කර මට  බ්ලොග් එකක් ලියන්නට සිත් විය.

පළමුවැන්න සිදු වුයේ පකිස්තානයේදීය. මම 2012 දී පකිස්තානයේ කරච්චි නගරයේ පැවැත්වුණු ආසියානු නාවික හමුදාවන්හි සුහද හමුවට, ශ්‍රී ලංකා නාවික හමුදා නියෝජිතයා ලෙස සහභාගි වුනෙමි. රටවල් බොහෝ ගණනක් සහභාගි මේ හමුවට පැමිණි සිටි සවුදි අරාබි අද්මිරාල්වරයා මා සමඟ බොහෝ කුළුපග වූ අතර, වරෙක අප ආහාර ගනිමින් සිටියදී දෙරටේ ආහාර පිලිබඳ කතා බහක් ඇතිවිය. මෙහි රටේ ප්‍රධාන ආහාරය පිළිබඳව කතා කරද්දී ඔහු කියා සිටියේ,

“සවුදි අරාබියේ බත් කොතරම් ප්‍රධාන ආහාරය වී ඇත්තේද යත්, කෙනෙකුගෙන් ඔහු කෑම අරගෙන සිටීද යන්න අසන්නට වුවමනා නම්, ඔවුන් අසන්නේ ඔබ බත් කෑවාද යන්න බවයි.”

පසුව කාමරයට ගොස් මේ ගැන කල්පනා කර විට මට මතක් වුයේ අපිත් ඒ යෙදුම පාවිච්ච් කරන බවයි. විශේෂයෙන්ම අපේ දෙමව්පියන්ගේ පරම්පරාවේ සහ ඊට පෙර අපි කවුරු හරි කෑම කෑවාද යන්න අසන්නට පාවිච්චි කලේ,

“පුතා බත් කෑවද”

එසේත් නැත්නම් “පුතා බත් කාලද ඉන්නේ.” වැනි යෙදුම්ය.

තවත් වරෙක මම ඇවන්ගාඩ් සමූහයේ ව්‍යාපාරික කටයුත්තකට බටහිර අප්‍රිකාවේ මුහුදුබඩ පිහිටි සෙනගල් රාජ්‍යයට ගියෙමි. එහිදී අපගේ යෝජිත ව්‍යාපාරික කටයුත්තට එහි රජයේ සහ හමුදාවල කැමැත්ත ලබා ගැනීමට තිබුණු නිසා, ඒ පිළිබඳව විපරම් කර බලන විට කිහිප දෙනෙකුගෙන්ම දැන ගන්නට ලැබුනේ වරෙක එහි නාවික හමුදාවේ ප්‍රධානියාව සිටි රටේ ප්‍රධාන තැන්වල බොහෝ පිළිගැනීමක් ඇති අද්මිරාල් වරයෙකු සිටින බවත්, ඔහුට අපගේ ව්‍යාපාරික කටයුත්ත පැහැදිලි කලොත් මේ සඳහා රාජ්‍ය අනුමැතිය ලබා ගැනීමට පහසු බවත්ය. කෙනෙකු මාර්ගයෙන් ඔහුට එදින අප සිටින හෝටලයට රාත්‍රී භෝජනය සඳහා ඉතා අමාරුවෙන් කැමති කරවා ගත්තෙමු. එසේ කැමති කරවා ගැනීම දුෂ්කර වුයේ රට ඇතුලත දුෂ්කර ප්‍රදේශයක ඔහු දැන් ගොවියෙකු ලෙස ජීවත්වන බව දැනගන්නට ලැබිණ.

බොහෝ භූමියට ලංව ජිවත්වන බව පෙනුණු ඔහු අපගේ ව්‍යාපාර යෝජනාව ගැන බොහෝ පැහැදුණු අතර, සුහද සාමිචිය අතරතුර ඔහු කිවූ කුඩා කතා දෙකක් මට තවමත් මතක තිබේ.

එකක් නම් ඔහු අපගේ යෝජිත ව්‍යාපෘතිය වැනි යෝජනාවක් පිළිබඳව සාකච්ඡා කරන්නට ඉතාමත් උනන්දු වූවත්, ඒ සඳහා එන්නට මැලිකමක් දැක්වුයේ ඔහු කාලයකට පසු සූට් එකක් අදින්නට දැක්වූ මැලිකම වීමය.

දෙවැන්න අප්‍රිකාවේ මෙයට පරම්පරාවකට පෙර මිනිසුන් ආහාරයට ගත්තේ කුරහන්, මෙනේරි, අමු, වැනි ධාන්‍ය වර්ග වුවත්, දැන් මිනිසුන් තනිකරම වාගේ බත් කෑමට පුරුදුව ඇති බවය. ඔහු මෙය අප්‍රිකාවට එතරම් හොඳ දෙයක් නොවන බවද කීවේය.     

1 comment:

ෆාහියන් ගේ ගොවිතැන

  පාහියන්ගේ ගොවිතැන සුප්‍රසිද්ධ පාහියන් භික්ෂුව         ශතවර්ෂයේ චීනයේ වුයෑන්ග් ප්‍රදේශයේ උපත ලැබුවේය. ඔහුට වැඩිමහල් සහෝදරයන් හතර දෙනෙකු ස...