Monday, November 4, 2019

19 මගේ දඹදිව වන්දනාව 19 මහාවංශය සහ ගවේෂකයෝ


ඉන්දියාවේ ඉංග්‍රීසි රජය හෝ ලෝකේ පුරා විසිරී සිටින බෞද්ධ රාජ්‍යයන්හි වැසියන්ට, බුදුරජුන් ගේ ඉන්දියාවේ ඇති සම්බන්ධය පිළිබඳ මුලින්ම එතරම් පැහැදිලි අදහසක් තිබුණේ නැත. පසුව ටර්නර්, විජේසිංහ මුදලියාර් සහ ගයිගර් විසින් මහාවංශය පාලි භාෂාවේ සිට ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කළ පසු, බොහෝ දෙනෙකුට බුදුන්ගේ මෙම ඉන්දියාවේ පිහිටි ඓතිහාසික ස්ථානයන්, ඒ පිළිබඳව සොයා බැලීමට අදහස් පහළ වුවා පමණක් නොව, ඒ සඳහා නොයෙකුත් ස්ථාන කොතැනක තිබිය හැකිදැයි අදහස් ලබාගැනීමටද හැකිවිය. ලංකාවේ සේවය කළ ඉංග්‍රීසි ජාතික සිවිල් සේවකයකු වූ ටර්නර්, මහාවංශයේ මුල් පරිච්ඡේද 38 ඉංග්‍රීසියට පරිවර්තනය කර ප්‍රසිද්ධ කරන්නේ 1837 වසරේය.
බුදුන් වහන්සේගේ ඉන්දියාවට ඇති සම්බන්ධය පිළිබඳව මෙතරම් ලිඛිත සාක්ෂි මීට පෙර හමු වී නොමැත. මේ පිළිබඳව නොයෙකුත් බෞද්ධ රටවල සහ බටහිර රටවලද විශේෂ උනන්දුවක් ඇතිවිය.

පෙර කියු පරිදි මේජර් ජෙනරාල් ඇලෙක්සැන්ඩර් කනිංහැම් සහ තවත් පිරිස්, ඉන්දියාවේ මෙලෙස පැරණි නටබුන් ගැන බොහෝ උනන්දුවක් දක්වන්නට පටන් ගත්හ. මුලින් නොයෙකුත් බටහිර රටවලින් ඉන්දියාවේ මහාරාජා වරුන් වෙත සේවයට පැමිණ සිටි යුරෝපීය හමුදා නිලධාරීන්ද, මෙවැනි නටඹුන් ප්‍රවේශමෙන් පරීක්ෂා කර, ඒවායේ තිබූ පැරණි කාසි යනාදිය සොයාගෙන විකුණා, ඒවායෙන් බොහෝ ධනපතියන් වූ බවටද කතාවක් තිබේ. එහෙත් මෙම සොයාගැනීම් විද්‍යාත්මක අයුරින් ඒවායේ පැහැදිලි වාර්තා ලිඛිතව ඇතිකළේ කනිංහැම් ජෙනරාල් වරයාය.
මෙම සොයාගැනීම් වලට තවත් ලොකු උදව්වක් වූයේ අශෝක රජුගෙන් පසු නොයෙකුත් කාල වලදී, බුද්ධාගම ගැන සොයා බැලීමට පැමිණි චීන ජාතික බෞද්ධ භික්ෂූන්ය. තම සංචාරයන්හිදී ලංකාවට පවා පැමිණි ෆාහියන් ඇතුළු මෙම භික්ෂූන්, ඔවුන්ගේ ඒ ගමන් සංචාර පිළිබඳව ලේඛන ලියා තැබූහ.

කනිංහැම් ඇතුළු බටහිර ගවේෂකයන්ට මෙම සිද්ධස්ථාන හඳුනා ගැනීමට  මෙම ලේඛනද, බොහෝ ප්‍රයෝජනවත් වී ඇති බව පෙනේ. දැනුදු මෙම සිද්ධස්ථාන හරියටම ඒවාදැයි පැහැදිලි කිරීමට, ඒ අසල ප්‍රදර්ශනය කරන පුවරු වල ෆාහියන් භික්ෂුව, අනගාරික ධර්මපාල තුමන්, ඉංග්‍රීසින් විසින් බොහෝ දුරට නැවත සොයාගත් බෞද්ධ සිද්ධස්ථාන පිළිබඳව, ලෝකය පුරා බෞද්ධයන් අතර සහ ඉන්දියානු නායකයන් තුළත් යම් අවබෝධයක් ඇති කළේය. ඔහු බටහිර රටවල සහ ජපානය ඇතුළු වූ බෞද්ධ රටවල සංචාරය කර, ඒ රටවල මේ පිළිබඳ යම් උනන්දුවක් ඇති කර, මෙම සිද්ධස්ථාන වල උන්නතිය සඳහා විශාල සේවයක් කළ බව පෙනේ.

ඒ අතරම ඉංග්‍රීසි ආණ්ඩුව, ශ්‍රී නේරු වැනි ඉන්දියානු නායකයන්ද, එයට අමතරව හින්දු භක්තිකයන්ගේ ඇති විශ්වාසයක් වන, බුදුහාමුදුරුවන් විෂ්ණු දෙවියන්ගේ නැවත ඉපදීමක් යැයි සිතීම, මෙම බෞද්ධ ඓතිහාසික සිද්ධස්ථාන මේ තත්වෙන් හෝ බේරී තිබීමට මහත් පිටුවහලක් වූවා විය හැක.

මේවා ගැන සාකච්ඡා කරමින් සිටින විටෙකදී, අපගේ මාර්ගෝපදේශකයා ගැනත් මට යම් උනන්දුවක් ඇති වන කරුණක් දැනගන්නට ලැබිණ. ඔහු  උත්‍රාකාන්ද් ප්‍රදේශයේ බ්‍රහමින් පවුලක උපත ලබා, ඔරිස්සා ප්‍රාන්තයේ  අධ්‍යාපනය ලබා විශ්ව විද්‍යාල උපාධියක් ලබාගෙන, මෙලෙස මෙම සමාගමේ මාර්ගෝපදේශකයකු ලෙස සේවය කරයි.
ඔහුගේ පියා වෘත්තියෙන් ඉඩම් හිමි ගොවියකු වන අතර, ඉන්දියාවේ ඉතාමත් ඉහල කුලයක් යැයි සැලකෙන බ්‍රාහ්මණ කුලයේ ප්‍රධානියකුද වෙයි. පියාට බොහෝ අනුගාමිකයන්ද සිටින බව ඔහු මට කීවේය. ඒ තමාටද එක් අනුගාමිකයකු සිටින බවද, තමන් ඉඳ හිට නිවාඩුවට ගමේ ගිය විට එම අනුගාමිකයා පැමිණ තමන්ගේ සියලු වැඩ කටයුතු කර දෙන බවද, මාර්ගෝපදේශකයා පැවසීය. මේ සඳහා ඔහුට තමන් යම් වැටුපක් ගෙවන්නේද යනුවෙන් මා ඇසූවෙමි.
අප මාර්ගෝපදේශකයා එවිට පැවසුවේ ඔහු තමාගේ අනුගාමිකයකු නිසා, ඔහුට තමන් වැටුප් නොගෙවන අතර, ඔහු තමන් බැලීමට එන විට යම් ‘දැකුම්’ (ත්‍යාගය) කොටසක් තමන් වෙත රැගෙන එන බවයි. ඒ බොහෝවිට ඔහු ගේ වගාවන්ගේ යම් අස්වැන්නේ කොටසක් බව ඔහු කීවේය.
මෙම මාර්ගෝපදේශකයා ඉගෙන ගත්තේ ඔරිස්සා ප්‍රාන්තයේ යැයි දැනගත් විට, මට හමුදාවේ සේවය කරද්දී හිටපු එල් ටී ටී ඊ  සාමාජිකයෙකු විසින් කරන ලද ප්‍රකාශයක් මතක් වුනි.

ඔහු මුල්කාලයේ ඉන්දියාවෙන් පුහුණු කරන ලද එල්ටීටීඊ සාමාජිකයකු වූ අතර, ඔවුනට එම පුහුණුව ලබා දී ඇත්තේ ඉන්දියාවේ ඔරිස්සා ප්‍රාන්තයේ දීය. සමහර විට මෙයට හේතුව වන්නට ඇත්තේ, ඒ පුහුණුව රහසක් ලෙස තබා ගැනීම සඳහා ඉන්දියාවේ බොහෝ උතුරින් පිහිටා ඇති, අපෙන් සහ තමිල්නාඩුවෙන් බොහෝ දුර ප්‍රාන්තයක මෙය සිදු කරන්නට අවැසි බව ඔවුනට හැඟුනු නිසා විය හැක.
ඉතිරිය ඊළඟ එපිසෝඩ් එකෙන්





 


1 comment:

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...