Saturday, August 10, 2019

ප්‍රශ්න විසඳීමේ ස්මාර්ට් ක්‍රමවේද; ලෝකෙට නය නොවී නගරයට යෑම.




මේ ලඟකදී මම ඇමෙරිකාවේ වර්මන්ට් ප්‍රාන්තයේ, එම ප්‍රාන්තයට ජනයා පදිංචියට ගෙන්වා ගැනීමට කරන ලද දැන්වීමක් ටයිම් සඟරාවේ දුටිමි. මමද නිව්පෝර්ට් නගරයේ යුධ විද්‍යාලයේ ඉගෙන ගන්නා සමයේ මෙම නගරය වෙත ගොස් ඇති නිසා, මෙම කුඩා ප්‍රවෘත්තිය ටිකක් උනන්දුවෙන් කියවුවෙමි.
එම ප්‍රවෘත්තිය මෙලෙස මෙම සඟරාවේ පලකල තිබුනේ එහි ඇති යම් විශේෂ බවක් නිසාය. එහි කියා තිබුනේ ඇමෙරිකානු පුරවැසියෙක් වර්මන්ට් ප්‍රාන්තයට ස්ථිර පදිංචියට පැමිණෙන්නේ නම්, ඇයට එම ප්‍රාන්තයෙහි පදිංචිය පහසු කිරීම සඳහා එම ප්‍රාන්තය $ 10000 (අප මුදලින් ලක්ෂ 20 ක් පමණ) ක් ගෙවීමට සුදානම් බවය.
ඔවුන් මෙම ක්‍රියාව කරන්නට තීරණය කර ඇත්තේ වර්මොන්ට් ප්‍රාන්තයේ දැනට මුහුණදෙන ප්‍රශ්න තුනකට විසඳුමක් ලෙසය. එම ප්‍රශ්න නම්
1.    ජනගහනය අඩුවීම වලක්වා ගැනීමට.
2.    වැඩකරන ප්‍රතිශතය වැඩිකර ගැනීමට.
3.    දර්ශනීය එහෙත් වයස්ගත වන ජනගහනයක් සිටින ප්‍රාන්තයක් බවට ප්‍රසිද්ධ වීම වලක්වා ගැනීමට
ඒ රටවල ප්‍රාන්ත තමන්ගේ අනාගතය දෙස බලන ආකාරය සහ ඒවාට විසඳුම් හොයන ආකාරය, මෙම ප්‍රශ්නය විසඳන්නට උත්සාහ කරන ආකාරයෙන් අපට මොනවට පැහැදිලි වෙයි.
දැන් මෙම දිරි දීමනාව ලබාදීමේදී එක කැච් එකක් ඇත්තේය. ඒ ඔබ කරන රැකියාව නිවසේ සිට කරන රැකියාවක් වීමයි. මෙම අවශ්‍යතාවය ඇතුලත් කර ඇත්තේ එක්කෝ ඔබ ගොවියෙකු කිරීමටය, එසේත් නැත්නම් වාහනයක දිනපතා වැඩට නොයා රැකියාවක් කරන්නෙකුටය. ඒ අනාගතය සඳහාය. ප්‍රශ්න වලට ස්මාර්ට් විසඳුම් මේවාය.
මෙසේ ඔවුන් මෙවැනි කොන්දේසියක් දමා ඇත්තේ පාරේ වාහන අඩුකිරීමටය. මාර්ග තදබදය සහ පරිසර හානිය අවම කිරීමටය.
මෙම සිද්ධියෙන් අපට උගත හැකි පාඩම් මොනවාද? අප ඉගෙන ගත යුතු පලවෙනි පාඩම නම් සෑම ප්‍රශ්නයකටම විසඳුම් කිහිපයක් තිබෙන බවය. දෙවැන්න ප්‍රශ්නයකට තිබෙන ප්‍රධාන විසඳුම් දෙකෙන් එකක් කොන්ක්‍රීට් සහ යකඩ වලින් ඇති අතර, අනික් විසඳුම මොලය පාවිච්චි කර සිදුකල යුතු බවය.
උදාහරණයකට කොළඹ නගරයට; වෙනත් ඕනෑම නගරයකට මෙන්ම, මිනිසුන් හා වාහන ඇතුළු වෙනවා වැඩි නම් නගරයේ යටිතල පහසුකම් වලට දරාගන්නට බැරිනම්, එය විසඳාගැනීමට ක්‍රම දෙකක් වෙයි. පළමුවැන්න ගතානුගතික ක්‍රම වේදය වන පාරවල් පළල කිරීමය, මොනෝ රේල් සැදීමය, වැඩිපුර වැසිකිලි ඇතුළු යටිතල පහසුකම් වැඩි කිරීමය. ඒ පැරණි ක්‍රමය වෙයි. ප්‍රශ්නය මතුවූ ගමන්ම අපට හිතට නැගෙන විසඳුම මෙය වෙයි.
අනික ස්මාර්ට් විසඳුම වෙයි. එම විසඳුමෙන් කරන්නේ නගරයට එන මිනිසුන් සහ වාහන අඩුකරන්නේ කෙසේදැයි සිතීමය. එම විසඳුම් සඳහා තාක්ෂණය පාවිච්චි කර මොඩල් සාදා පිළිතුරු සෙවීමය.
උදාහරණයකට මහනුවර නගරය ගමු. නගරයට වැඩියෙන්ම මිනිසුන් සහ වාහන එන්නේ ඇයි? ආරෝග්‍ය ශාලාව, පොලිසිය, පාසල් නගරයෙන් පිටතට ගෙන ගියහොත් කොපමණ දිනපතා නගරයට පැමිණෙන්නන් ප්‍රතිශතයක් අඩු වෙයිද? අප ගණන් බැලිය යුතුය.
ප්‍රධාන රජයේ පාසල් 4 ක් නගරයේ ප්‍රධාන දිසා හතරෙහි නගරයට කිලෝ මීටර 3 බැගින් දුරින් පිහිටුවා, සිසුන් එම පාසල් 4 ට බෙදා හැරියොත් මට හිතෙන විදිහට නගරයට උදේට ඇතුළුවන් වාහන 40 % කින් පමණ අඩුකරන්නට පුළුවන. එසේ වුවහොත් තව අවුරුදු 20 කට වත් අපට මහනුවර නගරයට අලුතින් පාරවල් හෝ බයි පාස් පාරවල් හදන්නට අවශ්‍ය වන්නේ නැත. මෙම වෙනස ශත 5 ක වියදමක් නොමැතිව කරගන්නට පුළුවන. පාරවල් හදන්නට මෙන් ලෝකයට ණය වන්නට උවමනාවක්ද නැත.
මේ එක උදාහරණයකි.
දැන් තිබෙන තාක්ෂණයත් සමග ප්‍රශ්න විසඳන්නට ලොකු ගොඩනැගිලි අඩි  සියේ පාරවල්, තට්ටු ගණන් අමාත්‍යංශ, බිලියන ගණන් වල පොදු ප්‍රවාහන පද්ධති හදන්නට අවශ්‍ය නැත.
අවශ්‍ය ගතානුගතිකත්වයෙන් මිදීම පමණි.

2 comments:

  1. එකඟයි. ඇත්ත වශයෙන්ම කල යුත්තේ අදාල විදුහල් වල ප්‍රාථමික අංශය නගරයෙන් ඉවත් කිරීමයි. බොහෝ විට පෞද්ගලික වාහන වල එන්නේ ප්‍රාථමික ශ්‍රේණි වල දරුවන් නිසා. තව කල හැකි දෙයක් තමයි සියළුම රජයේ කාර්‍යාල වල සෑහෙන ගොඩනැගිල්ලක් දුම් රිය ස්ථානයක් පහල මහලට සිටින සේ ඉදිකිරීම. එවිට සේවකයන්ට වගේම ඒ ස්ථාන වලට එන අයටත් දුම්‍රිය ස්ථානයෙන් පිට නොවී ඔවුන්ගේ කාර්‍යය සිදු කර ගතහැකිවීම.

    ReplyDelete
  2. ළඟම පාසැල හොඳම පාසැල කියා සංකල්පයකුත් තිබෙනවා නේද? මේ ක්‍රමය සාර්ථක වනවානම් වෙන කිසිම නවීකරණ අවශ්‍ය නැහැ.
    'SMART' කියා තාක්ෂණයේ භාවිත වන ක්‍රමය හරියටම ක්‍රියාත්මක කළහොත් ප්‍රශ්න සියල්ලම ඉබේට වාගේ විසඳෙන බවයි මගේ අදහස. (SMART - Self Monitoring Analysis and Reporting Technology.)

    ReplyDelete

The truth

 He lived in a palace, in a big city where ,  market places were frequented by large caravans. Palaces were  full of laughter , merry making...