Thursday, August 29, 2019

biopics - රෝහණ විජේවීර සහ චාර්ලි විල්සන්





මම පසු ගිය දිනක බිරිඳ රැගෙන තැන්නෙකුඹුර ෆුඩ් සිටියට ගියෙමි. ඇයට බඩු ගැනීමට වෙලා ගත වන නිසා මම බ්‍රැන්ඩි බෝතලයක් ගැනීමට ඒ අසළ ඇති බීම හලට ගියෙමි . ritz brandy බෝතලයක්ද මිලදීගෙන ආපසු එන ගමනේදී, එක කඩේක ඩීවීඩී වැල් එල්ලා තිබෙනවා දැක ඒ අසලට ගොස් ඒ පිළිබඳව විපරම් කළෙමි.

එහිදී නොයෙකුත් ඉංග්‍රීසි චිත්‍රපට පරීක්ෂාකළ ද උනන්දුවක් ඇති නොවූ හෙයින් ආපසු එන්ට ලෑස්ති වන විට, ළඟකදී සෑදූ රෝහණ විජේවීර පිළිබඳ චිත්‍රපටිය පැත්තකින් තබා තිබෙනවා දැක එහි මිල ගනන් ඇසුවෙමි. ඉංග්‍රීසි චිත්‍රපටයක් රුපියල් 75 ක් වුවද, මෙම චිත්‍රපටය රුපියල් 150ක් වුවත්, මම එය මිලට ගත්තෙමි.

ඇත්තෙන්ම මම එයට උනන්දුවක් දැක් වූ නිසා, වෙළඳසලේ හිමිකරු එහි මිළ වැඩි කළ බවට මට සැකයක් ඇති වුනද, 150 ත් සාධාරණ ගණනක් නිසා, මම ඒ සඳහා ඔහුත් සමග කතා කිරීමට ගියේ නැත.

ඊයේ චිත්‍රපටය බැලුවෙමි. චිත්‍රපටය මම කාලයකට පසු බැලූ සිංහල චිත්‍රපටයක් විය. විශේෂයෙන්ම පසුබිම සකසා තිබූ ආකාරය ඉතාමත් වෘත්තීය මට්ටමෙන් කර තිබුණි. නිවාස, මිනිසුන් ඇඳුම් අඳින ආකාරය, කතාබහ කරන ආකාරය, හැසිරෙන ස්වාභාවය, රැස්වීම් යනාදිය, එක්දහස් නවසිය අසූ ගණන්වලට ගැලපෙන ආකාරයට ඉතාමත්ම අපූරුවට කර තිබුණි. විශේෂයෙන්ම කොළඹ නගරයේ ජුලි කලබල සිදුවන අවස්ථාවේ ඒ මැදින් විජේවීර වාහනයකින් ගමන් කරන දර්ශන ඉතාමත් තාත්වික ලෙස නිර්මාණය කර තිබුණි.  

සෑම නළුවෙකුම පාහේ අති දක්ෂ අන්දමින් ඔහුගේ චරිතයට ඇතුල් කර ගැනීමට අධ්‍යක්ෂකවරයාට හැකි වී ඇති බව, සෑම රූප රාමුවකින්ම පැහැදිලිව පෙණුනි. මේ අතර විශේෂයෙන්ම මෙහි ප්‍රධාන චරිතයට පණ දුන් කමල් අද්දරආරච්චි කැපී පෙනුණි. අන්තර්ජාතිකව සම්මාන දිනන්නට පවා සුදුසු ලෙසට ඔහු මෙම චරිතයෙහි යෙදුණු අතර, මට හිතෙන විදියට ලංකාවේ මෙතෙක් කල් මා දුටු සිංහල චිත්‍රපටයක චරිතාංග නළුවෙකු ලෙස දුටු හොඳම රඟපෑමයි.

නමුත් චිත්‍රපටයේ අඩුපාඩුද නොතිබුණාම නොවේ. උදාහරණයක් වශයෙන් මේ චිත්‍රපටය බලන විට, රෝහණ විජේවීර බෝසත් ළමා සමාජයක සභාපතිවරයකු තරම් හොද සහ අහිංසක කෙනෙකු බව පෙන්වීමට උත්සාහ කර ඇති බව පෙනේ. ඔහු දස දහස් ගණන් අහිංසක ගම්වැසියන් මරා දැමූ ත්‍රස්තවාදී සංවිධානයක නායකයෙකු බව කිසිසේත් සිතන්නට චිත්‍රපටය අපට ඉඩ නොදේ.

සිල්ලර කඩයක මුදලාලි කෙනෙකු ඝාතන කරනු ලබන දර්ශනයක් හැරෙන්නට, ජනතා විමුක්ති පෙරමුණේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් මේ චිත්‍රපටයේ පෙනෙන්නට නැති නමුදු, රජයෙන් හමුදා සහ පොලිසිය මගින් කරන ලද අපරාධ පමණක් ඉස්මතු කර පෙන්වන්නට සැම විටම උත්සාහ කරයි.

Biopic
චිත්‍රපටි හදද්දී චරිතයන්ට සුදුහුණු ගෑම එම චිත්‍රපටය තත්වය බාල කරන බව කිව යුත්තක්ද නොවේ. මම මේ ලඟකදි මෙවැනි biopic එකක් වන charlies war  නම් චිත්‍රපටිය බැලුවෙමි. මෙම චිත්‍රපටයේ ඇමෙරිකානු කොංග්‍රස් සභිකයකු වන චෙකු වන චාල්ස් නැමැත්තා, ඇත්තෙන්ම ඇෆ්ගනිස්තානයේ රුසියානු ආක්‍රමණික හමුදාව පරාජය කර රටින් නෙරපා හරින්නට මූලික වන තැනැත්තාය. එහෙත් ඔහුගේ චරිතයේත් ලොකු අඩුපාඩු තිබේ. ඔහු නිතරම බීමතින් කල් ගෙවයි. බොහෝ කාන්තාවන් ඇසුරු කරයි.

එහෙත් මෙම චිත්‍රපටය ඔහුගේ චරිතයේ තියෙන අඩු පාඩු නොපෙන්වා, ඔහුගේ චරිතය සුදුහුණු ගාන්නට උත්සාහ කරන්නේ නැත. ඒ කාලේ සිදුවූ දෑ ඇති සැටියෙන්ම පෙන්වයි. ප්‍රසිද්ධ බීම හලක තවත් කාන්තාවන් කිහිප දෙනෙකු සමග, අමු නිරුවතින් ලොකු වතුර බේසමක සිටින ආකාරය පවා චිත්‍රපටයේ පෙන්වයි.

ගින්නෙන් උපන් සීතල චිත්‍රපටය මෙය අතින් බොහෝ දුර්වල බව පෙනේ.  චිත්‍රපටයෙන් උත්සාහ කරන්නේ විජේවීර සහ ඔහුගේ ජනතා විමුක්ති පෙරමුණ සියළුම වැරදි කළේ රජයේ හමුදාවල මර්ධනයට එරෙහිව බව පෙන්නුම් කරන්නට උත්සාහ කරයි.

ඇත්තෙන්ම එවැනි කටයුත්තක් කරන්නට උත්සාහ කරන දර්ශන මාලාවකට චිත්‍ර පටයක් යැයි කිව නොහැක්කේය. එය දේශපාලන ප්‍රකාශනයකි. ඉතිහාසය වැරදි ලෙස ඉදිරපත් කරන්නට දරණ උත්සාහයකි.

2 comments:

The truth

 He lived in a palace, in a big city where ,  market places were frequented by large caravans. Palaces were  full of laughter , merry making...