Friday, June 2, 2017

තුආන් කිචෙල් නොහොත් පාර තනන්නා




කඩුගන්නාව දුර්ගයේ ගමන් කරද්දී එම මාර්ගය දැක විශ්මයට පත් නොවන්නකු සිටි දැයි සිතන්නට අපහසුය. උදලු, කැති, පොරෝ හැරෙන්නට  දැන් තිබෙන පාර සැදීමේ උපකරණ කිසිවක් නොමැතිව  1820 දී මෙම මාර්ගය සාදන ලද්දේ කිසිම ඉංජිනේරු පුහුණුවක් නොමැති වයස 16 ක තරුණයෙකු බව දන්නේ නම් අප තවත් කොතරම් පුදුමයට පත්වේද?අනික් විශ්මයජනක කාරණය නම් මේ පාර සැදෙන්නේ කොළඹ නුවර දුම්රිය පාර තනන්නට අවුරුදු 60 කට පෙර වීමය.

මෙම දුර්ග මාර්ගය ලෝකයේ 34 වෙනියට ලස්සන මාර්ගය බව බොහෝ කලකට පෙර මේ ප්‍රදේශය කිට්ටුව පදිංචිව සිටි ජෙනරාල් රණතුංග වරක් කිවූ බවත්, ඒ අවස්ථාවේ ඔහුගෙන් ඇසීම සුදුසු නොවුවත් ඒ තරම් දුරකට - 34 දක්වා , ලස්සනම පාර කෙසේ තෝරන ලද්දේ දැයි මම නිශ්ශබ්දව කල්පනා කල බවත් මට මතකය.

 ඔහු මේ බව කිවේ කඩුගන්නාව පාරේ  බැවුම පැත්තට බතලේගල දෙසට තිබු දර්ශනය වසා ගනිමින් කොළඹ සිට එනවිට පාරේ දකුණු පැත්තේ තිබු කඩ පෙළ අනික් පැත්තට ගන්නට ඔහු විසින් දෑරූ උත්සාහයක් විස්තර කරද්දීය. 

මේ විශ්මිත දුර්ඝ  මාර්ගය තැනීම, විශේෂයෙන්ම කඩුගන්නාව දුර්ගය හරහා යන සැතපුම් 11 සෑදීම බාරව කටයුතු කරන්නේ ලුතිනන් තෝමස් ස්කිනර්ය. 

1820 දී  බ්‍රිතාන්‍ය ලංකාවේ අග්‍රාන්ඩුකාරයා වුයේ ශ්‍රීමත් එඩ්වඩ් බාන්ස්ය. ඔහු වයස 16 ක් වූ තෝමස් ස්කිනර් නම්  මේ හමුදා නිලධාරියාට කඩුගන්නාව දුර්ගයේ සැතපුම් 11ක් වූ දුර්ග මාර්ගය සාදන්නට උපදෙස් දුන්නේය. ඔහුට ලැබුණු අනෙක් උපදේශය නම් එම පාරේ නැගීම අඩි 20 කට එකකට වඩා සිග්‍ර නොවිය යුතු බවය - අහෝ ඛේදයකි ! ඔහු එය 1/10 යයි කිවේ නම් පාර මිට වඩා බොහෝ කෙලින් වන්නට ඉඩ තිබිණ.    

තෝමස් ස්කිනර් ගේ පියා ලංකාවේ සේවය කරන්නේ ඉංග්‍රීසි හමුදාවේ කර්නල් වරයෙක් ලෙසය. ඔහු ත්‍රිකුණාමලයේ සේවය කරද්දී වයස 14 ක් වූ තෝමස් එංගලන්තයේ සිට ලංකාවට පැමිණෙයි. පියා ඔහුව ඉගෙන ගැනීමට ආපසු එංගලන්තයට යැවීමට සුදානම් වුවද, ත්‍රිකුණාමලයේ සේවය  කරන නාවුක නිලධාරින් දෙදෙනෙකුගේ නිර්දේශ මත බ්‍රව්න්රිග්  ආණ්ඩුකාරයා මෙම දරුවා දෙවන ලුතිනන් වරයකු ලෙස අධිකාරයට පත්කරයි - ආණ්ඩුකාරයා 1949 ජිනීවා සම්මුතියට අනුව ළමා සොල්දාදුවෙකු බඳවා ගැනීමෙන් යුධ  අපරාධයක් කර ඇත්තේ වුවද මෙය සිදුවන්නේ 19 වන ශත වර්ෂයේ  නිසා ප්‍රශ්නයක් නැත.

මොහුට ලැබෙන පළමුවන  රාජකාරිය ලංකා රයිෆල් හමුදාවේ, 19 සහ 83  ත්‍රිකුණාමලයේ තිබු හමුදා කාණ්ඩය  අලුතින් අල්ලාගත් මහනුවර හරහා කොළඹට රැගෙන යාමය. පාරවල් නොමැති  ඒ  කාලයේ වනයේ අත්දැකීම් නොමැති වයස 16 ක තරුණයෙකුට මෙය දුෂ්කර රාජකාරියක් වීම පුදුමයක් නොවේ. ඔහු යටතේ සිටි හමුදා කාණ්ඩයේ මැලේ සොල්දාදුවන් බොහොමයක් සිටින්නට ඇත. ඒ නිසා ඔහුට තුවාන් කිචෙල් (කුඩා නිලධාරියා) යනුවෙන් නමක්ද පට බැඳිණ. මේ නම තිබු මා දන්නා කෙනෙකු නුවර වාසය කළේය. මේ සිංහලෙන් පොඩි මහත්මය වැනි මැලේ නමක් විය යුතුය


කඩුගන්නා දුර්ගයේ පාර කපන්නට ඔහු යටතේ සේවය කරන්නට ඔහුට ලැබුනේ අවට ගම් වලින් රාජකාරී ක්‍රමය යටතේ සේවය කරන ගැමියන් 200 ක් සහ ඔහුගේ අණු කණ්ඩයේ සිටි සොල්දාදුවන්ය. සිංහල රජකාලේ සිට පැවති රාජකාරී ක්‍රමය -  තම ඉඩම් වලට බඳු ගෙවීම වෙනුවට රජයේ මාර්ග, වැව් හෝ ජල මාර්ග වැනි ව්‍යාපෘති වලට වසරකට සති දෙක තුනක් සහභාගි වීම, 1802, දී ඉංග්‍රීසින් විසින් ඉවත් කර ඒ වෙනුවට ගැමියන්ගේ ඉඩම්වල නිෂ්පාදනයෙන් කොටසක් බඳු ලෙස ගෙවීමට නියම කරන ලදි. එහෙත් මෙයට ඇති වූ ජනතා විරෝධය නිසා නැවත එම රාජකාරී ක්‍රමය ඇති කලේ වුවද 1832 දී රාජකාරී බඳු ක්‍රමය සම්පූර්ණයෙන්ම ඉවත් කරන ලද්දේය. 

වසර 50 ක් රජයේ සේවයේ යෙදුනු මේජර් ස්කිනර් ප්‍රථම වරට පාරවල් සෑදීම වැනි ඉංජිනේරු ව්‍යාපෘති සදහා අර්ධ හමුදාමය සාමාජිකයන් 4000 කින් යුත් පුරෝගාමී බලකාය පටන් ගත්තේය.   

ඔහු පොදු වැඩවල යෙදෙද්දී ව්‍යාපෘතිය තිබෙන ස්ථානයේම තල් අතු පහකින් සෑදූ කූඩාරමක ජීවත් වූයේය. පාන්දර 4 සිට රෑ 8 දක්වා වැඩෙහි යෙදුනේය. තමන්ගේ ශරීර ශක්තිය ගැන බොහෝ උනන්දු වූ ඔහු බොන ජලය සහ ආහාර ගැනීම බොහෝ අඩුකර කාය ශක්තිය ගැන නොයෙකුත් පරීක්ෂණ කලේය. මොහුගේ මේ කාය ශක්තිය පිලිබඳ උනන්දුව දැනගත් එක් සිංහල ගම්පතියෙකු ඔහුට සමනල කන්ද මුදුනට නැඟ පහලට එන්නට තරඟයකට අභියෝග කලේය. එම තරඟයේ නගිද්දී ගම්පති තැන ඉදිරියෙන් සිටියද, අවසානයේ ජයග්‍රහණය කලේ ස්කිනර්ය. 

වසර 50 ක රාජ්‍ය සේවයේ, රාජ්‍ය මැනුම්පති හා මහා මාර්ග කොමසාරිස් ලෙසද සේවය කර පසුව මේජර් ස්කිනර් විශ්‍රාම ගෙන ආපසු එංගලන්තයට ගියේය. 


  



  



5 comments:

  1. එතකොට කඩුගන්නාවෙ කුලුනෙ කැප්ටන් ඩෝසන් කව්ද ?

    ReplyDelete
  2. දුර්ගය හැර අනික් කොටස හදද්දි මියගිය කැප්ටන්

    ReplyDelete
  3. ඔහු විසින් ලියු පොතක සිංහල පරිවර්තනය මා කියවූවා. "පනස් වසරක් ලංකාවේ" යනුවෙන් මට මතක ඇති ඒ පොතේ ඔහු ලංකාවට පැමිණිදා සිට කල කටයුතු පිළිබඳව රසවත් විස්තරයක් ඇත.

    ReplyDelete
  4. මෙම දුර්ලභ ඉතිහාසගත කරුණු සොයා ඉදිරිපත් කිරීම් හරි වටිනවා.
    කඩුගන්නාවේ දුර්ග මාර්ගය තනද්දී ඉහල වංගුවේ තිබෙන විශාල කළුගල විදීම ගැනත් විස්තරයක් සොයා පළ කරන්න. එය විස්මිත වීර ක්‍රියාවක් ලෙස නම් කළ හැකි වේවි.

    ReplyDelete

කෘෂිකර්ම ඇමතිවරයා වෙත යෝජනාවක් ඉදිරිපත් කිරීම

  කෘෂිකර්ම ඇමතිතුමනි  මම විශ්‍රාම ගත්  රියර් අද්මිරාල්වරයෙක් වන අතර විනෝදාංශයක් වශයෙන්  ගොවිතැනෙහි සහ ගෙවතු වගාවෙහි යෙදෙමි.  මට පවුලෙන් ලැබු...