Tuesday, January 7, 2020

අජාතසතෘ ගේ ප්‍රශ්නය 1




අපේ බුද්ධාගම අදහන පුද්ගලයන්ට බුද්ධාගමේ හරියටම නැවත ඉපදීම පැහැදිලිවම සිදුවන බව කියනවාද, එසේත් නැත් නම් නැවත ඉපදීමක් සිදුවන බවක් කියන්නෙ නැද්ද, යන ප්‍රශ්නය සැමවිටම සිතේ කොණක තිබේ.
මම සාමාන්‍යයෙන් මට තේරෙන කාලයේ සිට නැවත ඉපදීමක් පිළිගත්තේ නැත. එසේ පිළිගන්නට තරම් කරුණු සාක්ෂි මම දුටුවේ නැත. ඉඳහිට ඉතාමත් කලාතුරකින් කෙනෙකු තමන්ගේ පෙර ආත්මය පිළිබඳ කරුණු කිව්වද, 99.9% ක්  මිනිසුන්ට එවැනි මෙයට පෙර ජීවත් වූ ජීවිතයක් පිළිබඳව කියන්නට හෝ දැන ගන්නට හැකියාවක් නැත. ඒ අතින් බැලූ විට නැවත ඉපදුනත්, තාත්වික වශයෙන් බැලූ විට ඉපදීමක් නැතුවා සේය. මක් නිසාද අපේ යම් අත්දැකීමක් අපේ සිහියෙ නැත්නම්, ඒ අත්දැකීම අපට ලැබුණා යැයි කිව හැකිද. එවැනි අත්දැකීමකට අපට අත්දැකීමක් ඇතැයි  කිව හැකිද.

එහෙත් නැවත ඉපදීම පිළිගැනීමට නොහැකි යැයි මා සිතුවේ වූවද, බොහෝ පිරිසක් එසේ පිළිගන්නා හෙයින්, මට මේ ගැන තවදුරටත් සොයා බලන්නට අදහසක් ඇතිවිය.

විශේෂයෙන්ම අප කුඩා කල සිට අදහන බුද්ධාගමේ නැවත ඉපදීමක් ගැන හරියටම කියා තිබේද, මේ ගැන බුදුන් ප්‍රකාශ කළේ කුමක්ද යන්න මම සොයන්නට උත්සාහ කළෙමි.

මෙවැනි ප්‍රශ්නයකට, ඒ කියන්නේ බුද්ධාගමේ නැවත ඉපදීම පිලි ගන්නේද යන්න බවට, පිළිතුරු සොයා ගැනීමට හොදම විදිහ බුදුරදුන් ජීවත්වන කාලයට යාමයි. එය පරිසරය දෙස ටිකක් බැලීමෙන් අපට මෙම ධර්මය සහ ධර්මයේ කියවෙන දෑ පිළිබඳව වඩා හොඳ අවබෝධයක් ලබාගත හැක්කේය.

බුදුරදුන් ජීවත්වන කාලයේ එතුමාට වඩා වයසින් තරමක් අඩු ඔහුගේ මිතුරෙක්  මගධ රාජ්‍යයේ රාජ්‍යය කළේය. ඒ බිම්බිසාර රජ තුමායි.
ඔහු වයස්ගත වූ විට ඔහුගේ පුතා වූ අජාතසත්ත නම් වූ කුමාරයා පියා සිර කර තබා, පසුව මරා දමා රාජ්‍ය ලබා ගත්තේය. ඇත්තෙන්ම බුදුන් ජීවත් වූ ප්‍රදේශයද පසුව පාලනය කළේ ඔහු විසිනි. අප කුඩා කාලයේ බුද්ධාගම ඉගෙන ගන්නා විට අජාසත්ත නම් කුමරෙකු පිළිබඳව ඉගෙන ගත්තෙමු. ඔහු පිළිබඳව අපට එකල ලැබුනේ බොහෝ නරක හැඟීමකි. ඒ මේ අජාතසත්ත නම් කුමාරයායි. ඔහු එම ප්‍රදේශයේ තිබූ සියළු රාජ්‍යයන් අල්ලාගෙන; අප පසුගිය දවස්වල බොහෝ විට අහන්නට ලැබූ ලිච්ඡවී රජ දරුවන් පරාජය කළේද ඔහුය.  ඔහු මෙලෙස රාජ්‍ය අල්ලා ගෙන සක්විති රජ කෙනෙකු වෙන්නට උත්සාහ කළේය. අජාතසත්තෘ  රජවරයා බොහෝ නුවණින් එසේම රාජ්‍ය පාලනයේ දක්ෂ කමින් කටයුතු කළ කෙනකු බව පෙනේ. ඔහු තමන්ගේ යුද්ධවලට විශාල ගල් විදිය හැකි කැටපෝලයක්ද, අශ්ව කරත්ත වල රෝද වලින් එලියට දෑකැති වැනි ආයුධයක් කරකැවෙන යුධ රථයක්ද,  නිර්මාණය කළ බව ඉන්දියානු ඉතිහාසයේ සඳහන් වේ.

මේ රජතුමාද එකල සිටි බොහෝ නායකයන් මෙන්ම ජීවිතයේ මරණයෙන් පසුව කුමක් සිදුවන්නේදැයි නිතරම සොයා බැලුවේය. එසේම ඔහුගෙන් රාජ්‍ය අනුග්‍රහය ලබා ගැනීමට එකල තිබූ ප්‍රධාන ආගම් දෙක තරගයක යෙදුන බවකුත් පෙනෙන්නට තිබේ. ඒ බුද්ධාගම සහ මහාවීර ගේ නායකත්වය යටතේ පැවැත්වුන නිගණ්ඨ ආගමයි.

ඔහු වරක් එකල ජීවත් වූ ප්‍රසිද්ධ ආගමික ශාස්තෘවරයෙකු වූ අකිරියවාදය ධර්මය ඉදිරිපත් කළ පුරණ කස්සප ගෙන් මෙම ප්‍රශ්නය ඇසීය.
"
හැම විදිහකම වෙළදාම සහ රැකී රක්ෂා තිබේ. ඔවුහු ඒවායින් ලාභ ලබා ගනිති. එම ලාභයන් ගෙන් ලාභ තම පවුලේ අය සහ මිතුරන් සමග සුවසේ වෙසෙමින් බමුණන්ට දන් දෙති. එහි ප්‍රතිඵලයක් වශයෙන් ස්වර්ගයේ  පුනරුත්පත්තිය ලාභය ඔවුනට ලැබේ. පූරණ කස්සප පෙන්වා දෙන මාර්ගයේ එවැනි දෘෂ්ටිගෝචර ප්‍රතිපලයක් ලැබිය හැකිද?"

පව්කම් වල ප්‍රතිඵල වශයෙන් දුක් විපාක හෝ පින්කම්වල ප්‍රතිඵල වශයෙන් සුඛ විපාක හෝ නොලැබෙන බව පූර්ණ කස්සප කීවේය.


දෙවැනි කොටස https://lakshmanillangakoon.blogspot.com/2020/01/2.html

Sunday, January 5, 2020

වඩා කැමති කාටද




අපේ ගෙදර බල්ලෙකු සහ පූසෙකු සිටිති. බල්ලාට දැන් වයස අවුරුදු හයක් වන අතර පුසාට මාස තුනකි.

මේ බල්ලාගේ කාලයේ අපේ ගෙදර ජීවත් වන තුන්වන පූසාය. මුල්ම පූසා අවුරුදු දෙකක් පමණ ජීවත්වී අසනීපයකින් මිය ගියේය. දෙවන පූසා මාස අටක් පමණ ජීවත් වී රාත්‍රියේ දඩයම් කිරීම සඳහා පාරට ගොස් වාහනයකට යට වී මිය ගියේය. යම් හේතුවක් නිසා පූසා බල්ලන්ට වඩා මහා මාර්ග අනතුරුවලින් මිය යාමේ ප්‍රවණතාවයක් තිබේ. ඒ සමහර විට ඔවුන් රාත්‍රියට දඩයම් කිරීමට කැලෑ වදින නිසා විය යුතුය. ඔවුන් දඩයම් කිරීමේදී කොතරම් ප්‍රවේශම් වුවත්, ඔවුන්ගේ අත්දැකීම් වල හදිසියේම පැමිණෙන වාහන පිළිබඳව එතරම් මතකයක් නොමැති නිසා මෙලෙස සිදු වනවා විය යුතුය.

මම අපේ ගෙවත්තේ තණ පිටියේ වැරදි වල් ගලවමින් සිටියදී, බල්ලා සහ පූසා යන දෙදෙනාම ඒ අසලට වී සිටියහ.

මෙය සාමාන්‍යයෙන් දිනපතාම වාගේ සිදුවන දෙයකි. බල්ලා බොහෝවිට මා අසලින් හාන්සි වී මට හිතෙන විදිහට යම් සතුරෙකු පැමිණ මට කරදරයක් කරයිද, යන සැකයෙන් යුතුව වටපිට බලමින් අතිශය අවධානයකින් සිටී.
පූසා බොහෝවිට වේගයෙන් එහාට මෙහාට දුවමින් හැංගෙන්නට පුළුවන් පඳුරු අස්සේ හැංගෙමින්, හිටපු ගමන් වඩා වේගයකින් පැමිණ පොල් ගස් නගින්නට උත්සාහ කරමින්, මට හිතෙන විදිහට යම් විදිහක පුහුණුවක් තමන්ම ලබාගනී.

මම ළඟදී දවසක ගෙවත්තේ මෙසේ සිටිනවා දැක, මගේ පවුලේ සාමාජිකයකු මා මේ දෙදෙනාගෙන් වඩාත් කැමතියි කොයි සතාට දැයි නිකමට ඇසුවේය.

ඇත්තෙන්ම මාද මේ දෙදෙනාගෙන් වඩාත් කැමති කුමන සතාටද, මම කල්පනා කර බැලුවෙමි. බල්ලාගේ පහත සඳහන් කරුණු නිසා මා ඔහුට කැමැතිය.
1.  මා දකිනා විට වැඩියෙන්ම සතුටු වන්නේ ඌ බව මට සිතේ.

2.  මුළු දවසම ගත කරන්නේ මා හා මගේ පවුලේ සාමාජිකයින්ගේ ආරක්ෂාව ගැන කල්පනා කරමිනි.

3. එක් වරක් උගේ නම කියා අඬගැසූ විට, ඌ කෙලින්ම මා අසලට පැමිණෙයි.

4. ගෙවත්තට සර්පයකු පැමිණි විට කෙසේ හෝ ඔහු පැමිණි බව දැනගෙන, පැය ගණනක් හෝ මහන්සි වි තමන්ගේ පෞද්ගලික ආරක්ෂාවද නොතකා සර්පයා එළවා දමයි.

5. රාත්‍රියේ අප රූපවාහිනිය නරඹා අවසන් වනතුරු අප සමග ඉඳගෙන සිට, අප ආහාර ගන්නා තැනට ගොස් එය අවසන් වන තුරුත් එතැන සිට, අප නිදා ගන්නට යන විට ඔහුත් නිදාගන්නවා මිස, කවදාවත් ඔහුට කොතරම් නිදිමත පැමිණියත් අප නිදා ගන්නා තුරු නිදා ගන්නට යන්නේ නැත.

6. ඉතාමත් හොඳ මතක ශක්තියක් තිබේ.

7. අපේ ඇඟ පුරා පහුරු ගෑම් යනාදිය නොකරයි.

8. මැදුරේ කටුස්සන් මීයන් වැනි සතුන් අල්ලා ගෙන, ගේ තුළට ගෙනවිත් බිරින්දෑවරුන් ලවුවා මළකුණු එළියට දමා විසි කරන්නට යැයි අපට කරදරයක් වන්නේ නැත.

9. දවසකට දෙවරක් හෝ තුන් වරක් පුරුදු කල වේලාවන්ට අමතරව ඤාව් කියමින් කකුලේ ගැටෙමින් දෙවසකට අට පාරක් පමණ කාම ඉල්ලන්නේ නැත.  

මෙලෙස බල්ලාගේ ගුණ පමණක් වැනීමෙන් පූසන්ට අසාධාරණයක් වන නිසා නොව ඇත්තෙන්ම උගෙ ගුණ මොනවාදැයි සොයා බලමු.

1.  පූසා කුඩා කල සිටම ගෙමිදුලට දමා, ඌ කරන වැඩ දෙස බලා සිටීමෙන් අපට මහත් සන්තෝෂයක් ලැබේ.
2. බල්ලන් මෙන් නොව පූසන් අවදිව ගත කරන; පුසෙකු සාමාන්‍යයෙන් දවසකට පය 18 ක් පමණ නිදා ගනී, සෑම විනාඩියකම ඔහුගේ ජීවිතයට යම් අවස්ථාවක ප්‍රයෝජනයක් විය හැකි පුහුණු වීමක යෙදේ. බොහෝ විට ඔවුන් සතුරන්ගෙන් බේරීමට ගස් නැගීමට, ලඳු කැලෑ ආශ්‍රිතව සැඟවී සිටීමට පුහුණුවන දෙස බලා සිටීම ආශ්වාදයකි.

3. උන් නිශ්ශබ්දය, සෑම දෙයටම අපිව රාත්‍රියේ අවදියෙන් තබන්නේ නැත.

4.  පූසාට එළියට යාමට හෝ ඇතුළට ඒමට අපි දොරවල් අරින්නට අවශ්‍යතාවයක් නැත.

5. බල්ලන්ට මෙන් පූසාට වෙනම නිවාසයක් සදන්නට අවශ්‍යතාවයකුත් නැත.

6.  මලපහ කිරීම් වළක් හාරා කරන නිසා බල්ලන්ගේ මෙන් මල පහ dispose කිරීම අප විසින් කළ යුතු නැත.
මෙම ගුනා ගුණ කල්පනා කර බලන විට, මට නම් වඩා කැමති කුමන සතාට දැයි කියන්නට අපහසුය.

අපගේ ජීවිතයට වඩා ඉගෙන ගත හැක්කේ පුසා ගෙන් යැයි මට හිතේ.

Monday, December 23, 2019

පලිගැනීම






                         
                                            පලිගැනීම

මෙම කතාවේ සිටින පූසා සහෝදර සහෝදරියන් හතර දෙනෙකු සමග ඉපදුනේ නවයාලතැන්න දුම්රිය ස්ථානය අසල නිවසකය. බල්ලන් සහ පූසන් දහයකට වැඩි ප්‍රමාණයක් ජීවත් වූ එම නිවසේ ස්වාමියා, බල්ලන්ට සහ පූසන්ට ඉතාම ඇලුම් කළේය. විශ්‍රාමලත් රජයේ නිලධාරියකු වූ ඔහු බොහෝ විට නිවසේ සිටියේ තනියමය. බල්ලන්ගෙ සහ පූසන්ගේ වැඩ වලට අමතරව රූපවාහිනියෙන් ක්‍රීඩා තරග නැරඹීමත්, පොතපත කියවීමටත් ඔහුගේ අනිකුත් දෛනික කටයුතු විය.

ඔහුගේ තවමත් ආශ්‍රය කරන පාසල් මිතුරෙකු පූස් පැටියෙකු සොයා දෙන ලෙස ඉල්ලා මුහුණු පොතේ දමන ලද පෝස්ට් එකක් දැක, ඔහු තමන්ගේ එක පූස් පැටියෙකු එම මිතුරාට දීමට තීරණය කළේය.

   ඉන්පසු ඔහු මිතුරාට එම තීරණය දුරකතනයෙන් දන්වා, ඔහු පැමිණ පැටියා රැගෙන යාමට ඉදිරිපත් වුවද, තමන්ම පැටියා ගෙන ගොස් දුන්නොත් ඔහු වඩා හොඳට පුස් පැටියා බලාගන්නා බව සිතුණු නිසා, ඔහුම ගෙන ගොස් පැටියා තම මිතුරාට භාර දුන්නේය.


පූස් පැටියා පුරුදු පරිදිම බෞතීස්ම කෙරුනේ නිවසේ දියණිය විසිනි. ඇය ටිමි   යන නමින් ඌ නම් කළේය. ඇයගේ පියා එම නමට එතරම් කැමැත්තක් නොදැක්වූ නිසා, පූසාට ඔහු ජිමී යනුවෙන් ආමන්ත්‍රණය කරන්නට පුරුදු විය. ඇත්තෙන්ම පූසා ටිමි යන නමට වඩා ජිමී යන නමට වඩාත් සතුටෙන් ප්‍රතිචාර දක්වන බව ඔහුට සිතුණි.

පූසා ගෙදරට ගෙනෙන විට ගෙදර වයස අවුරුදු හයක් වන ෆ්‍රෑන්ක් නැමති ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ බල්ලෙක් සිටියේය. ඔහු මීට කලින් නිවසේ පුසන් දෙදෙනෙකු සමග ජීවත් වී තිබුණි. ඔහුගේ ඔවුන් සමග තිබූ ආශ්‍රය ‘ඉවසීම සහ ආරක්ෂා කිරීම’ යන ප්‍රධාන කරුණු දෙක මත රැඳී තිබුණි.

ඒ කියන්නේ ඔහු නිවසේ පූසන් පිටින් එන තර්ජන වලින් ආරක්ෂා කළ අතර, ඔවුන් සමග වැඩි බජනයකට ගියේ නැත. පිටතින් එන තර්ජන වලින් පුසන් ආරක්ෂා කළත්, ෆ්‍රෑන්ක් ගේ දින චර්යාවේ එක් නිශ්චිත ක්‍රියාකාරකමක් සිදුවෙද්දී, එයට නිවසේ පූසෙකු හෝ කරදරයක් බාධාවක් කරන්නෙ නම්, ඔහු බොහෝ කෝපයට පත්විය. ඒ ඔහු හෝ නිවසේ අය ආහාර ගන්නා වේලාවන් විය.

ඔහු ආහාර ගන්නා අවස්ථාවේ ඔහුගේ දර්ශන පථයට පූසෙක් ඇතුල් වුවහොත්, ඔහු බොහෝ කෝපයට පත්වී පුසාට පහරදී තුවාල කරන්නට ඉඩ ඇත්තේය. එයට අමතරව ගෙදර අය කෑම කාමරේ කෑම කමින් සිටියදී එතනට ගොස් දිග හැරී ඉඳගන්නා ෆ්‍රෑන්ක්, පූසා ඒ පැත්තට පැමිණියහොත් තමන්වත් පාලනය කර ගැනීමට නොහැකි තරමට කෝපයට පත්වේ. පූසා වෙතට පැන ඌව තුවාල කරන්නටද ඉඩ තිබේ. තමන් හෝ තම හාම්පුතුන් ආහාර ගන්නා වෙලාවට එයට බාධා කිරීම ඔහුට ඉතාමත් කෝප ගෙන දුන්නේය.

නිවැසියන්ද මුලින්ම පූසා රැගෙන ආපසු ඔවුන් මේ දවස් වල නිවසේ නොමැති පවුලේ සාමාජිකයකුගේ කාමරයේ දමා, එය තුළට කෑම බීම දී මාසයක් පමණ ෆ්‍රෑන්ක් පූසා ගේ ගඳ පුරුදු වෙනතුරු සිටියහ. මාසයක් පමණ ගිය පසු හවසට නිවැසියන් රූපවාහිනිය නරඹද්දී පූසා එළියට රැගෙන විත්, බල්ලාට  පෙනෙන්නට හරින්නට ඔවුහු කටයුතු කළහ. මෙලෙස මාස දෙකක් තුනක් පමණ ක්‍රමයන් පුරුදු කිරීමෙන් පසුව පූසා කාමරයේ සිරභාරයෙන් මිදුණු අතර,  නිවසේ සංචාරය කරමින් ක්‍රීඩා කරන්නටත් තවත් ටික කලක් ගිය පසු නිවැසියන් මිදුලේ සිටිය දී මිදුලට පැමිණ ඔවුන් සමග කාලය ගත කිරීමටත් ජිමී පුරුදු විය.

නිවසේ කුස්සියෙ ෆ්‍රෑන්ක්ගේ පිඟානත්, ජිමීගේ පිගානත් තබා තිබුණේ කිට්ටුවෙනි. ඔවුන් දෙදෙනාටම වතුර බීමට තබා තිබුණේ පොදු වතුර භාජනයකි. කෑම කන විට මේ තරම් තමන්ගේ පෞද්ගලිකත්වය අපේක්ෂා කරන ෆ්‍රෑන්ක්ගේ පිඟාන පුසාගේ පිඟන් අසලින් තැබීම නිවැසියන් විසින් කරන ලද ලොකු වැරැද්දකි. මේ නිසා මේ දෙදෙනා අතර නොයෙක් වර ආරවුල් ඇතිවිය. ෆ්‍රෑන්ක් ගොරවාගෙන පැමිණ පූසා හපන්නට උත්සාහ කරන අවස්ථාවලදී, පූසා බේරාගෙන ෆ්‍රෑන්ක්ට  කෑ ගසා එම අවස්ථාව සමථයකට පත් කරනවා මිස, කෑම කන්න වේලාවේම ඔවුන් දෙදෙනා වෙන් කර තැබීමට මූලික අවධානය යොමු කරන්නට, මෙම නිවැයන්ට සිතුනේ නැත. සාමාන්‍යයෙන් ලංකාවේ බොහෝ දෙනෙකු සේ මොවුන්ද බැලුවේ ප්‍රශ්නයෙන් ඇතිවන ප්‍රතිඵල සමනය කර ගැනීම මිස, ප්‍රශ්න ඇති නොවීමට කටයුතු යෙදීම නොවේ.

 සාමාන්‍යයෙන් පිලිගත් මතයට අනුව ප්‍රශ්න විසඳීමේ මූලධර්මයන් අදියර හතරකට බෙදා ඇත.
එහි පළමු වැන්න ප්‍රශ්නය හරියට අර්ථ දැක්වීමයි, තේරුම් ගැනීමයි. මෙහිදී කරුණු, මතයන්ගෙන් වෙන් කර ගැනීම ඉතාමත් වැදගත්ය.
ඊළඟ අදියරේදී සිදු විය යුත්තේ මෙම ප්‍රශ්නය සඳහා විසඳුම් ලෙස සිතිය හැකි සියලුම විකල්ප විසඳුම් ලිවීමයි.
ඉන් පසු  එක් එක් විසඳුම එකිනෙකට සංසන්දනය කර වඩාත්ම හොඳ වඩාත්ම ගැළපෙන විසඳුම තෝරා ගත හැක. මෙතැනදී ඒ අවශ්‍යතාවය බල්ලා කෑම කන මොහොතේදී පූසා ඔහුට නොපෙනෙන තැනක තැබීමයි. වතුර භාජන සහ පූසාගේ කෑම පිඟාන X,Y,Z නමැති එකිනෙකට නොපෙනෙන ස්ථාන තුනක ස්ථාන ගත කරන්නේ නම්, ඔවුන් දෙදෙනා මේ වඩාත්ම සංවේදී අවස්ථාවේ හැකිතරම් දුරට මුණ නොගැසීමට පිළියෙල කර ගන්නට ඉඩ තිබිණ. නමුත් නිවැසියන් එසේ කළේ නැත. එසේ කළේ නම් මෙවැනි ශෝකාන්තයක් ඇති නොවන්නට බොහෝ දුරට ඉඩ තිබුණු බව අපට කතාව අවසාන වන විට තේරුම් යන්නට ඉඩ තිබේ.

මාස තුනක් හතරක් කාලයකදී මෙවැනි සමීප ඝට්ටන කීපයක්ම සිදුවිය. ඝට්ටන දෙකක් තරමක් බැරෑරුම් වූ අතර, එම අවස්ථා දෙකෙහිදීම පූසාට තුවාල සිදුවී බෙහෙත් දමන්නටත් අවශ්‍යතාවයන් ඇතිවිය.

විද්‍යාත්මකව බලන විට සාමාන්‍යයෙන් බල්ලෙකුගේ මොලයේ නියුරෝන  මිලියන 530 ක් පමණ තිබේ. පුසෙකුගේ  එම ප්‍රමාණය මිලියන 250 ක් පමණි. ඇත්තෙන්ම මස් කන සතුන් අතරින් ලෝකයේ වැඩියෙන්ම මොළයේ නියුරෝන තිබෙන්නේ බල්ලන්ගේය. නමුත් වැදගත් නියුරෝන; බුද්ධිය තිබීමට වඩාත් බලපාන නියුරෝන, මේ දෙවර්ගයේම තිබෙන්නේ දළ වශයෙන් එකම ප්‍රමාණයකි. එසේනම් මෙතැනදී වඩාත් මොලේ තිබිය යුත්තේ ෆ්‍රෑන්ක්ටය.

එහෙත් ජිමී සාමාන්‍ය පූසෙකු ලෙස පෙනුනද, ඔහුගේ මොළයේ නියුරෝන 350 ක් පමණ උපතේදීම ඇතිවුණු සාමාන්‍ය පූසෙකුට වඩා තරමක් වෙනස් පූසෙකි. ඔහුට තරමක් සැලසුම් කර වැඩ කරන්නට පුළුවන් හැකියාවක් මේ විකෘතියෙන් ලැබී තිබුනි.

අවසාන වර තමන්ට තුවාල සිදු කිරීමෙන් පසු, මේ බල්ලා නිවසෙන් ඉවත් කිරීමෙන් මිස, තමන්ගේ මනසට සාමයක් ඇති කර ගත නොහැකි බව ජිමීට සිතුනි.

ඌ ෆ්‍රෑන්ක් ගෙන් පළි ගන්නා ආකාරය සැලසුම් කළේය. මුලින්ම ඌ කල්පනා කළේ ෆ්‍රෑන්ක් කෑම කමින් සිටියදී, යම් වරදකට පටලවා ගෙදර නිවැසියන් විසින් ඔහුට දඬුවම් කරවීමටය. ඇත්තෙන්ම ගෙදර නිවැසියන් ඌට පෙනුනේ කකුල් දෙකේ ලොකු පුසාන් ලෙසටය.

මේ සඳහා ඔහු තෝරා ගත්තේ දවල් කෑම වේලාවය.  ඔහු දවල් කෑම කන අවස්ථාවේ ෆ්‍රෑන්ක්  කෑම කන තැන අසළ, මිරිස් ගල උඩ දහවල් කෑම සමගම පිළියෙල කරන ලද ඔහුගේ රාත්‍රී කෑම එක, තබා යෑම ගෙදර ස්වාමිදුවගේ සිරිත නිසාය.

ඇය මෙම භාජනය මිරිස් ගලේ නොයෙකුත් තැන්වල තබයි. ජිමී සෑම දිනම කුස්සියේ අනිත් මේසය මතට වී, ඇය මෙම කෑම එක මිරිස් ගලේ කෙළවරක තබන අවස්ථාවක් එනතුරු බලා සිටියේය. ඔහුට එතරම් දීර්ඝ කාලයක් බලා සිටින්නට සිදු වූයේ නැත. හය වන දවසේ මට එවැනි අවස්ථාවක් ලැබුණු අතර,  බල්ලා කෑම කා අවසන් වන විටම වාගේ මිරිස් ගල මතට පැන, ඔහුගේ රෑ කෑම එක බිමට පෙරළා පූසා එළියට පැන අසල නවතා තිබූ කාරෙක යට සැඟවෙන අයුරු ෆ්‍රෑන්ක් වත් දැක්කේ නැත.

කෑම භාජනේ මහා හඬක් නංවාගෙන බිමට වැටුණු අතර, එය කෑලි වලට කැඩෙන ශබ්දය නිවසේ සාලයේ සිටි නිවැසියන්ට මහා හයියෙන් ඇසුණි. ස්වාමිදුව දුවගෙන කුස්සියට පැමිණෙන විට, බල්ලා ඒ දෙස බලා සිටි අතර, කෑම භාජන බිම වැටී කැඩී විසිරී තිබිණ.

ඇයට හොඳින්ම තරහ ගියේය. මේ නිසාවෙන් කරන්නට තිබෙන වැඩ ලැයිස්තුව ඇයට එකින් එක මතක් විය. ඇය ෆ්‍රෑන්ක්ට හොඳින්ම බැන්නේය. එහෙත් වෙනත් දඬුවමක් ෆ්‍රෑන්ක්ට ලැබුණේ නැත.

ජිමී මෙම සැලසුමම නැවත වරක් ක්‍රියාවට නැගුවේ මාසයකට පමණ පසුවය. එහෙත් ප්‍රතිඵල මුල් පරිදිම විය. මෙයින් පසු නිවසේ කාන්තාව දවල් ඉතුරු වන බල්ලාගේ කෑම කොටස ගෙදර තිබුණු පරණ වැඩ නොකරන ශීතකරණයක් ඇතුලේ තබන්නට පුරුදු විය. මේ නිසා මෙම පළි ගැනීමේ සැලසුම නැවතත් ක්‍රියාත්මක කරන්නට ජිමීට හැකියාවක් ලැබුණේ නැත. මේ අතර නැවත වරක් ඌ කෑම කමින් සිටියදී, යම් වැරදීමකින් කුස්සියට පැමිණි ජිමීට නැවත වරක් තුවාල කළේය.

මේ නිසා ෆ්‍රෑන්ක් ගෙන් මීට වඩා දරුණු ලෙස පළිගත යුතු යැයි යන සිතිවිල්ල ජිමි ගේ මනසට  නිතරම ඇතිවිය. එහෙත් එයට සැලසුමක් සාදා ගැනීම පලිගැනීමේ චේතනාව ඇති වීම තරම්ම පහසු වූයේ නැත.

මාස දෙකකට පමණ පසු ඔහුගේ මොලේ සියලුම නියුරෝන ක්‍රියාත්මක වී තිබෙන දුර්ලභ මොහොතක ඔහුගේ මොළයට අපූරු අදහසක් පහළ විය. එහෙත් මෙම සැලසුම ක්‍රියාත්මක කිරීමට බොහෝ ආයාසයක් ගත යුතු බව ඔහුට පැහැදිලි විය. දවසකට දෙතුන් වතාවක් ඔහු කුස්සියේ සිට හැකි වේගයෙන් දුව ගොස් ගේට්ටුවෙන් එළියට පැන පාරෙන් එහා පැත්තට දුව ගොස් , එහා පැත්තේ ඇති ඇලේ සැඟවුණේය. මෙය ක්‍රියාත්මක කිරීමට බලපාන ප්‍රධාන සාධකය වන්නේ නිවසේ ගේට්ටුව විවෘත කර තිබීමය. සැලසුම ක්‍රියාත්මක කරන අවස්ථාවේ පාරේ වේගයෙන් වාහනයක් පැමිණීම තවත් ප්‍රධාන අවශ්‍යතාවයක් වුවද, එය සිදුවන තෙක් සැලසුම කිහිප වතාවක් ක්‍රියාත්මක කිරීමටද අවශ්‍ය වන්නට පුළුවන.

එක් දිනක් ගේට්ටු හැර තිබෙනවා දැක ජිමී එදින සැලසුම ක්‍රියාත්මක කරන්නට තීරණය කළේය. ෆ්‍රෑන්ක් කෑම කමින් සිටින අවස්ථාවේ සැඟවී සිට එතැනට පැමිණ, පිඟානෙන් මාළු කැබැල්ලක් රැගෙන හැකි වේගයෙන් ගේට්ටු පැත්තට දිව්වේය. බල්ලාට මෙය දරාගත නොහැකි තත්වයක් විය. ඔහු කෑ ගසමින් ගොරවමින් පූසා පසුපසින් දිව්වේය. පූසා පාරෙන් එහා පැත්තට පැන කානුවේ සැඟවිණි, බල්ලා ගේට්ටුව ළඟට ගොස් ඔහුට පුරුදු කර තිබෙන අන්දමට ගේට්ටුව ළඟ බ්‍රේක් ගසා ආපසු හැරී ගෙදරට ආවේය.

පූසා විසින් මෙවැනි අවස්ථාවක් ලැබුණු දෙවැනි දිනයේද සැලැස්ම ක්‍රියාත්මක කරන ලද අතර, බල්ලා ඌ පසුපස පන්නාගෙන ගොස් ගේට්ටු ලඟ නොනැවතී  පූසා පසුපස පාර හරහා පැන්නේය.
මහ හඬින් නලාව නාද කරමින් ආ  වේගයෙන්ම කන්ද ඇද ගන්නට උත්සාහ කරන බස් රථයේ රියදුරු බල්ලා දකින විටත් ඌ මියගොස් තිබුණේය.
නිවැසියන් කොතරම් කණගාටුවට පත් වූයේද යත් ඔවුන් දවස් දෙක තුනක් ගෙදර කෑම හැදුවෙත් නැත. විශේෂයෙන්ම ගෙදර ස්වාමිදුව සතියක් පමණ හැඬූ කඳුළෙන් ගත කළේය. එහෙත් කිසිවෙකුටත් ජිමී ගැන කිසිම සැකයක් ඇති වන්නට හේතුවක් තිබුණේද නැත.

මේ කතාව මෙතනින් අවසන් වන්නට යන බවක් ඕනෑම කෙනෙකුට සිතෙන්නට පුළුවන. 
නමුත් අවසානයේ සිදුවන්නේ තවත් මාසයකට පමණ පසුවය.

ෆ්‍රෑන්ක් මියගොස් හරියටම මාසයකට පසුව, රාත්‍රියට එළියට ගොස් පසුදින පාන්දර නිවැසියන්  ඒ සඳහාම විවෘතව තබන ජනේලයෙන් ජිමී  නිවස තුලට පැමිණ සිටියේ නැත. අවදි වී පැයක් පමණ ගිය පසු ඔහු මෙලෙස උදයේ නිවසට නොපැමිණීම අසාමාන්‍ය දෙයක් නිසා ස්වාමිදුව ඔහුට අඬගසා කතා කළද, ඔහු පැමිණියේ නැත. දහවල් වන විට ආපසු පැමිණ නොසිටි නිසා නිවැසියන් සියලු දෙන එකතුවී සොයා බැලූහ. දහවල් 2 ට පමණ යම් සතකු විසින් තුවාල කර මරා දමා සිටී ජිමිගේ මළ සිරුර නිවැසියන්ට හමුවුණේ නිවසට උඩින් තිබූ කුඩා කඳුගැටයක් වැනි ස්ථානයක දීය.

සාමාන්‍යයෙන් මරණයෙන් පසු නැවත ඉපදීම හෝ එසේත් නැත්නම් ස්වභාවයෙන්ම වැරදි වලට දඬුවම් ලැබීම සත්‍යයක් යැයි පිළිගන්නා මිනිසුන්ට නම්, බළලාගේ මිය යාමට මූලික වූ නිසා පූසාට මෙලෙස  දඬුවම ලැබී ඇතැයි සිතන්නට ඉඩ තිබිණ.

එහෙත් ඇත්තෙන්ම සිදු වූයේ කුමක්ද, එය ගැන දන්නා කිසිම කෙනෙක් නැත. නමුත් පුසාගේ මරණය සිදුවී ඇත්තේ බල්ලා මියගිය නිසා බව සැබෑවකි. එහෙත් එය යම් අද්භූත බලයක් නිසා සිදුවු බවයේ නම් කිසිම සත්‍යයක් නැත.

ෆ්‍රෑන්ක් මියගිය පසු ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේම තවත් බලු පැටවකු ගෙන එනවද නැද්ද යන සාකච්ඡාවේ නිවැසියන් පසුවූහ. අසල්වැසි නිවෙස් දෙකක ජීවත් වූ ෆ්‍රෑන්ක්ට බයේ සැඟවී සිටි පිරිමි පූසන් දෙදෙනකුම ටිකෙන් ටික ෆ්‍රෑන්ක්ගේ ගන්ධය අඩු වී යන බව වැටහුණ අතර, ඔවුන් ක්‍රමයෙන් ජිමී  සිටි නිවස පැත්තට දවසින් දවස කිට්ටු වන්නට එඩිතර වූහ.

පූසන් බල්ලන් මෙන් කලබල කාරයන් නොවේ. උන් යමක් කරන්නට පෙර බලා සිටින්නෙකුට වත් එපා වන තරමට වේලාව ගනිති. මහ දවාලක වුවත් දොරකින් එලියට යාමට පැමිණෙන පූසකු දොරේ පැත්තකින් සැඟවී, බොහෝ වේලාවක් අවට පරිසරය නිරීක්ෂණය කරයි. ඒ අවට පරිසරයේ තමන්ට යම් තර්ජනයක් විය හැකි සතෙකු හෝ වෙනත් චලනය වන යමක් තිබේදැයි දැනගන්නා තෙක්ය. ඒ අවස්ථාවේ ඔවුන් ගේ පෙනීම සහ නහය දෙපැත්තේ තිබෙන කෙඳි වලින් ලැබෙන අවට පරිසරය කම්පනයන් පිළිබඳව, තොරතුරු එකට එකතු කර සංසන්දනය කර පරීක්ෂා කරනු ලබයි. මෙම සංවේදක තොරතුරු පෙර තමන්ට ලැබුණු සංවේදක තොරතුරු හා සංසන්දනය කර, දොරෙන් ඒ අවස්ථාවේ පිටතට යාමේ අවධානමක් තිබෙන්නේ දැයි පරීක්ෂා කර බලයි. අපගේ ඇස් වල මෙන් හය ගුණයක් සංවේදී වන බළලාගේ ඇස් වලට පරිසරයේ සිදුවන වෙනස්කම්, අප මෙන් හය ගුණයක් හොඳින් අවබෝධ කරගන්නට පුළුවන.

මෙයට අවුරුදු මිලියන 11 කට පෙර අනෙක් මස් කන සතුන් ගෙන් ජානමය වශයෙන් වෙන් වූ පූසන්ට, අනෙක් බොහෝ සතුන්ට මෙන්ම දෙවැනි නාසයක් තිබේ. ජේකබ්සන් නාසය යනුවෙන් හැඳින්වෙන මෙම නාසයෙන් කෙරෙන්නේ වෙනත් සතෙකු තමන්ගේ පරිසරයට ඇතුළු වී ඇත්දැයි දැන ගැනීමයි. මෙම නාසයෙන් වෙනත් සතෙකුගේ ආඝ්‍රහණය කැටි කරගත් දියර ස්වල්පයක් සාදා, එය පුසාගේ කට ඇතුලට යවයි. එයින් තමන් අවට වෙනත් සතෙකු ඇත්දැයි දැනගැනීමටද එම සතා මිතුරෙකුද සතුරෙකුද ආහාරයක්ද එසේත් නැත්නම් ප්‍රේමවන්තයෙක් විය හැක්කේද යනුවෙන්, සොයා බැලීමට සහ තීරණයක් ගැනීමට පුළුවන. මිනිසුන්ටද මෙම ඉන්ද්‍රිය ඇත්තේ වුවද එය බොහෝදුරට අකර්මණ්‍ය වී ඇති බවක් පෙනේ.

එදින පාන්දර දෙකට පමණ නිවසේ වහළයේ නැගෙනහිර පැත්තට වන්නට මීයෙකු පිළිබඳ ආඝ්‍රහණය මෙම ග්‍රන්ථියෙන් ලැබී ජිමී සියලු සංවේදී ග්‍රන්ථයන් ඒ මත නාභිගත කර ගෙන, මුදුන් උළු වකට ආවරණය වී සැඟවී සිටියේය. අසල්වැසි නිවසක විසූ කළු තඩි පූසා ඔහු පිටුපසින් ළඟටම එන තෙක් ජිමීට දැනුණේ නැත. හරියටම 1982 වසරේ ෆෝක්ලන්ඩ් යුද්ධයේදී ෂෙෆීල්ඩ් යුධ නැවට සිදුවුවා සේය. කොතරම් සංවේදීක උපකරණ තිබුනත් මොහොතකට අවශ්‍යම තැන, තර්ජනය හඳුනාගැනීමට අවශ්‍යම තැන අවදියෙන් සිටියේ නැත.
 ජේකබ්සන් නාසය හරහා තර්ජනය දැනෙන විටත් ජිමී  අවසන් හුස්ම හෙළමින් සිටියේය.

Wednesday, December 18, 2019

ගස් වැවීම සහ තාක්ෂනය



අපගේ ගෙදර තිබෙන්නේ කන්දක සිට පාර දෙසට එන බෑවුමක කෙළවරට වන්නටය.  ගෙදරට පහලින් පාරට මෙහා පැත්තෙන් තවත් ගොඩනැගිල්ලක් තිබෙන නිසා, අපගේ උද්‍යානයේ ඒ පැත්තට කෙළවරේ තිබෙන කොස් ගස් හා එම ගොඩනැගිල්ලට අනතුරුදායක නිසා, කපා දමන්නට තීරණය කළෙමි.

මේ සඳහා ග්‍රාම සේවා නිලධාරි වෙත  දැන් වූ පසු ඇය පැමිණ එය පරීක්ෂා කර කපන්නට අනුමැතිය දී, කපන දිනයේ දී නැවත වරක් දුරකථනයෙන් ඇයට දන්වන ලෙසට උපදෙස් දුන්නාය.

මම දැන් ගහ කපන්නට කෙනෙකු සොයන්නට පටන් ගත්තෙමි. මා සිතා සිටියේ ගහ රුපියල් විසිපන්දාහකට පමණ විකුණා ගත හැකි බවයි. ගමේ ගස් මිලට ගන්නා කෙනෙකු නොමැති නිසා කිට්ටුව ගමක මිත්‍රයෙකුට කතා කළෙමි. ඔහු පසු දින උදෑසනම දෙදෙනෙකු අප නිවසට එව්වේය. ඔවුන් ගස පරීක්ෂා කර බලා එය තිබෙන තැන අනුව කපන්නට ලොකු මුදලක් වියදම් වන්නේ යැයිද, කොස් ලී වලට දැන් එතරම් ඉල්ලුමක් නැති නිසාත් එය මිල දී ගැනීමට තරමක මැලිකමක් දක්වන බව මට පෙනුනි. මගේ මිතුරාට  ඇති ගෞරවය නිසා එය එක් වරම කියන්නේ නැතිව, නිවසට ගොස් ගණන් හදා දුරකථනයෙන් මා වෙත කියන බව පවසා පිටව ගොස් නැවත දුරකථන පණිවිඩයක් දුන්නේ නැත. මෙය විකුණා ගැනීමට හැකියාවක් නොමැති බව පෙනුණු නිසා, මම මිතුරාට කතා කර ඒ ගස නොමිලේ කපා ගෙන යන ලෙස ගස් මුදලාලිට දන්වන ලෙසට කීවෙමි.

එම පණිවිඩය ලැබුනායින් පසුවත් ඔවුන් පැමිණියේ නැත. දැන් මේ ගස මගේ අතින් වියදම් කර කපා දැමිය හැකි තත්ත්වයකට පැමිණ ඇති බව, මට වැටහෙන්නට වැඩි කාලයක් ගියේ නැත.

ඉන්පසු මෙසේ මට ගසක් කපන්නට අවශ්‍යතාවක් ඇතිවී තිබෙන බව ආරංචි වුණු ගස් කපන පුද්ගලයෙකු පැමිණ, මේ ගස පිළිබඳව කතා කර ගස් කැපීම සඳහා මගින් රුපියල් අටදාහක් ඉල්ලා සිටියේය. රුපියල් පන්දාහකට පමණ එය කළ නො හැක්කේ දැයි මම ඔහුගෙන් ඇසුවෙමි.
"
එහෙනම් පන්දාහක් දෙන්න මහත්තයා කැපුවට පස්සේ බලලා තවත් කීයක් හරි දෙන්න" යනුවෙන් ඔහු කිව්ව නිසා ගණන රුපියල් 6000 යි කියා නිශ්චය කර ගත්තෙමි.
එහෙත් ඔහුත් සතියක් පමණ ආවේ නැත. මේ අතරේ මම දවසක් මිතුරෙකු සමග නගරයට ගොස් පැමිණෙන විට අපගේ ගේට්ටුව ළඟ තිදෙනෙකු රැඳී සිටියහ.
එහෙයින් මා අඳුනන අපේ ගමේ පුද්ගලයා වාහනය හරවන විට මා වෙතට පැමිණ මට ගසක් කපන තිබෙන බව ඔහුට ආරංචි වුණ බවත්, එය රුපියල් පන්දාහකට කපා දිය හැකි බවත් පවසා සිටියේය.
එසේනම් තව දවස් දෙකකට පමණ පසු ගස් කපන්නන් රැගෙන පැමිණෙන ලෙසට මා ඔහුට කීවෙමි. එහෙත් ඔහු කියා සිටියේ දැනටමත් ඒ දෙදෙනා ඇවිත් සිටින බවත්, දැන්මම ගස කපා දිය හැකි බවත්ය. මට ඒ වෙලාවේ වැඩ කිහිපයක් තිබුණ නමුත් ලැබුණු අවස්ථාව අතහරින්නට අකැමැති වූ නිසා, ඔහුට එසේනම් ගස කපන ලෙසට දන්වා සිටියෙමි.
කෙන්ගල්ලෙන් ත්‍රීවිල් එකකින් පැමිණ සිටී දෙමළ ගස් කපන්නන් දෙදෙනකු, ඉතාමත් වෘත්තීය ආකාරයෙන් ගස කපා බිම හෙළුවේය. ඔවුන් මීට පෙරද මගේ වැඩ කිහිපයක් සඳහා පැමිණි පුද්ගලයන් පිරිසක් බව මම දැක්කෙමි.

මේ සඳහා උදව් කළ ගමේ පුද්ගලයා මේ ගස කපන කියතෙන්ම පරාල කැපිය හැකි බවත්, රුපියල් 15,000 කට පමන කට පමණ පරාල විකිණිය හැකි බවත් මට කියා සිටියේය. ඒ සඳහා දික් අඩියක් කැපීමට රුපියල් 60 ක කුලිය වන බවද කියා සිටි අතර, මම එයටද කැමති වී මට ඉදිරි දින දෙකේදී කොළඹ යන්නට තිබෙන නිසා එදින අතහැර පැමිණෙන ලෙසට කීවෙමි. එහෙත් මගෙන් කිසිදෙයක් අසන්නේත් නැතිව, ඔවුහු  පසු දිනම පැමිණ ගස ඉරන්නට මගෙන් අවසර ඉල්ලා සිටියහ. එයටත් ඉඩ දුන්නෙමි.

පස්සේ මෝරපු පැත්තෙන් අවසාන කුට්ටිය පමණක් 3 x 4 පරාල කිහිපයක් ඉරා එහි දික් අඩි 50 ක් තිබෙන බව කියා, මගෙන් රුපියල් තුන්දාහක් ඉල්ලා සිටියහ. මම ඔවුන්ට රුපියල් තුන්දාහක් දුන්නෙමි.
දැන් පරාල ටික මා වෙත තිබෙන අතර විකුණා දෙනවා කියූ පුද්ගලයා නැවත පැමිණියේ නැත. මෙලෙසම ඒ පාර අයිනට තිබෙන නිසා අවුරුදු කිහිපයකට පෙර කපන ලද ගසක ටුනා ලී ද මෙලෙසම මඩුවක ගොඩ ගසා තිබේ.
මට පෙනෙන්නේ කොස් ලී ටිකට වෙන්නට යන්නෙත් ඒ සන්තෑසිය මය.

ඉස්සර සාමාන්‍යයෙන් කොස් ගහ හොඳට මෝරා එන විට ලී වෙළෙන්දන් පැමිණ, ගෙවල් වලින් එම කොස් ගස විකුණන්නේ දැයි අසති. එසේත් නැත්නම් අලුතින් ගෙවල් හදන මිනිසුන් පැමිණ අසති. සාමාන්‍යයෙන් දැන් අවුරුදු විස්සකට විසි පහකට පෙර, හොඳ කොස් ගහක් රුපියල් දහදාහකට පමණ විකුණන්නට හැකියාවක් තිබුනි. දැන් නිකන් දුන්නත් ගන්නේ නැත. මෙයට හේතුව කුමක්දැයි මම සොයා බැලුවෙමි.

පළමුවන හේතුව අන්තර් ජාතික වෙළදාම දියුණුවීම බව පෙනේ. පිලිපීනයෙන්, මැලේසියාවෙන්, ඉන්දුනීසියාවෙන්, පැමිණෙන red balau ලී වල ඉහල කොලිටිය සහ පාවිච්චි කිරීමට ඇති පහසුව. ඒවා රටේ සෑම තැනම පාහේ මිලදී ගැනීමට ඇති හැකියාව, මේ සඳහා ප්‍රධාන එක් හේතුවක් වී ඇති බව පෙනේ. මෙම ගස ගැන විපරම් කරද්දී මට දැනගන්නට ලැබුණු කාරණයක් නම් වඩුවන් කොස් ලී වලින් වැඩ කිරීමට අකමැති බවයි.

ගණන් වැඩි ලී වලට ඇති ඉල්ලුම අධික ලෙස අඩු වීම තවත් හේතුවක් බව පෙනේ. පෙර කාලයේ මෙන් මිනිසුන් තේක්ක, බුරුත, කොස්, වැනි ලී වලින් සාදන ගෘහ භාණ්ඩ සොයා යන්නේ නැත, ඔවුන් කෙළින්ම ගොස් දම්රෝ වැනි ආයතනයකින් ගෘහ භාණ්ඩ මිලදී ගන්නා අතර, ඒවා කිසිවක් මිල අධික බොරු සෝබන ලී වලින් නොව, පදම් කළ ලී ඉතාම අඩු ප්‍රමාණයක් දමා සාදන ඒවාය.

වහල සෑදීමට යකඩ පාවිච්චියත් ශක්තිමත් ලී වලට ඇති ඉල්ලුම අඩු කිරීමට හේතු තවත්සාධකයක්  වී තිබේ.

එසේම ප්ලාස්ටික් ඇලුමිනියම් වැනි දේවල් මෙයට කලින් ලී පාවිච්චි කළ කාර්යන් සදහා යොදා ගැනීමද,  මෙයට හේතුවක් වී තිබේ.

මේ සියල්ලම සිදු වී ඇත්තේ තාක්ෂණය දියුණු වීම නිසා බව පෙනේ. අපි විශේෂයෙන් ගස් වවන්නට එතරම් මහන්සි වෙන්න උවමනාවක් නැති බව පෙනේ, ඒ ඉදිරියේදී ගස් කැපීම කිසිසේත්ම අවශ්‍යතාවයක් නොවන තත්ත්වයට පැමිණෙන නිසාය.

දැනටමත් තේක්ක වැනි ගස් විකුණා ගැනීමට ඉතාමත් අපහසුය. වටිනාකම දහ ගුණයක් වේ යැයි විසි ගුණයක් වේ යැයි කියමින් විකුණූ තේක්ක වගාවන් සියල්ල බංකොලොත් වී හමාරය.
කොළඹ අධිමිල නිවාස සදා විකුණන මගේ මිතුරෙකු ගෙන් මම මේ පිළිබඳව ඇසුවෙමි. ඔහු කීවේ ඔහුට හොඳ ලීයක් අවශ්‍ය වූ විට පමණක් ප්‍රසිද්ධ ලී මඬුවට ගොස්, මුලතිව් සිට ගෙනෙන ලද තේක්ක අවශ්‍ය ප්‍රමාණයට කඳක් මිලදී ගෙන එය පාවිච්චි කරන බවය. අනෙක් ප්‍රදේශවලින් එන තේක්ක එතරම් ශක්තිමත් හෝ පෙනුම නොමැති බව ඔහු කීවේය.

මට පෙනෙන්නේ තාක්ෂණය නිසා ලී වලට තිබෙන ඉල්ලුම අඩු වී ගොස්, එය සැපයීමට වඩා අඩු වී අවසානයේ ගස් කැපීම බොහෝ දුරට අඩුවී යන බවය. අපේ රටේ බොහෝ ගස්  කිසි කෙනෙකුගේ උදව්වක් නැතුව නිකම්ම හැදෙන ඒවා නිසා, තවත් කාලයක් යන විට අපේ වතු  ස්වභාවිකව කැලෑ ලෙස හැදෙන්නට යන බවත් පෙනේ.

කොස් ගස් බොහෝ විට පැළවන්නේ ඇට වැටීමෙනි. අවශ්‍ය නැති තැන්වල වතු අයිතිකරුවන් ඒවා ගලවා දමනු ලැබේ. එහෙත් එතරම් ඒ තරම් පාවිච්චියක් නොමැති ඇල්ල පල්ල වල් වල, වනාත වල, මේවා නිකම්ම වැවෙන්නට අරින අතර, කාලයක් යනවිට මහ ගස් බවට පත්වෙති. කොස් ලී විකුණා ගැනීමට නොහැකි නම් කපන්නට රුපියල් දහදාහක් පමණ වියදම් කරන්නේ කවුද, මේ යන විදිහට තාක්ෂණයක් දියුණු වන්නේ නම්, මෙලෙස ලී වලට ඇති ඉල්ලුම අඩුවීම තවත් සීඝ්‍ර වනු ඇත. මේ ලඟකදී ඉන්දියානු ඉංජිනේරුවන් පිරිසක් යකඩ තරම්ම ශක්තිමත් ප්ලාස්ටික් වර්ගයක් නිපදවා ඇති බව කියවන්නට ලැබුණි. එවැනි ප්ලාස්ටික් වර්ගයකින් ලී පරාල වලට ඇති ඉල්ලුම තවත් අඩු වන්නට බොහෝ විට ඉඩ තිබේ.

මේ අනුව මට නම් පෙනෙන්නේ වෙන කිසි හේතුවකට වඩා තාක්ෂණය දියුණු වීම නිසා, අපගේ කැලෑ සහ ගෙවතු වල මහ ගස් දැන් තියෙන ප්‍රමාණයටත් වඩා වැඩි වන්නට බොහෝ දුරට ඉඩ තිබිමය 

Saturday, December 14, 2019

පේර සහ උන්ඩුක පුච්චය






අප කුඩා කාලයේ අප ගෙවත්තේ හොඳට පලදාව ලැබෙන පේර ගස් කිහිපයක් තිබුණි. ඇත්තෙන්ම දැන් ඊට වඩා පේර ගස් තිබේ. මම දකින අමුතු පේර වර්ග වල ඇට හෝ පල ලබාගෙන, වර්ග කිහිපයක පේර ගස් වවා ගෙන ඇත්තෙමි.
අප කුඩා කාලයේ පේර කන එක වැරදි වැඩක් ලෙස මිනිසුන් අතර මතයක් තිබුණි. පේර කෑවිට බඩේ කැක්කුම හැදෙන බව මෙයට හේතුවයි.
නමුත් අපේ ගෙදර එය පළතුරක් නිසා කෑමට ඉඩ දී තිබුනද, ඒ එක් කොන්දේසියකට යටත්වය. එනම් කිසිම අවස්ථාවක පේර ගෙඩි වල ඇට කෑමට නොගත යුතු බවය. එයට හේතුව ලෙස කීවේ පේර ඇට කෑ විට ඇපෙන්ඩිසයිටිස් සෑදෙන බවය.
අපේ අම්මාගේ පාසලේ ටීචර් කෙනෙකුගේ සැමියා වෛද්‍යවරයෙකු වූ අතර, ඇපෙන්ඩිසයිටිස් සෑදී උණ්ඩුක පුච්චය කපා ඉවත් කල විට, ඒ ඇතුලේ තක්කාලි සහ පේර ඇට තිබෙන බව අයගේ සැමියා දැක ඇති බව, මේ ටීචර් අම්මාට කියා ඇත. මේ අනුව පේර ඇට සහ තක්කාලි ඇට කෑ විට මෙම ව්‍යාධිය වැළදෙන බව සක්සුදක් සේ එකල පැහැදිලි වී තිබුණි.
මෙලෙස කුඩා කාලයේ ඇතිවුණු පුරුද්ද මට ගිය මාසය වෙනකන් තිබුණි. පේර ඇට වලින් ඇපෙන්ඩිසයිටිස් වැළදෙන බවට මට කිසිම සැකයක් තිබුනේ නැත.
ගිය මාසයේ සිට මගේ ගෙවත්තේ ඇඹුල් පේර ගස් තුනකම ගෙඩි පිරි තිබෙන අතර, දැන් ඉදෙන්නට පටන්ගෙන ඇත. අනික් පේර මෙන් නොව ඇඹුල් පේරවල ඇට වලට පිටින් තිබෙන මස කා ඇට බෝලය විසිකරන්නට තාමත් අපහසු බව, ඇඹුල් පේර කෑමට පුරුදු අයට අලුත්  ප්‍රවෘත්තියක් නොවේ. මම මේ නිසා උදයේ නැගිට කෝපි කෝප්පයත් පානය කරමින් ගෙවත්තේ ගස් පරික්ෂා කරන විට ඇඹුල් පේර ගස ලඟට පැමිණි පසු, ඉදුණු ගෙඩි 10 ක් පමණ කන්නට පුරුදු වුයෙමි. එහෙත් ඒවායේ ඇට වෙන් කරමින්  ඉන්නට ඇති අපහසුව නිසා ගෙඩි පිටින්ම කන්නට පටන් ගත්තෙමි.
එහෙත් ඇට ප්‍රශ්නය මගේ සිතේ තදින් බලපෑවේය, මේ පිළිබඳව අන්තර් ජාලයේ පරීක්ෂා කල යුතු යයි සිතාගෙන සිටියද, දෛනිකව බලපාන වැඩක් නොවන නිසා දවසින් දවස කල් ගියේය.
එහෙත් අද උදේ මෙය කරන්නම ඕන වැඩක් නිසා, පේර කනවිටම එය මතක් වනවිට එතනදීම පේර ඇට ගැන ගූගල් කර පරීක්ෂා කලෙමි.
එම ප්‍රතිපල මා පුදුමයට පත් කළේය. ඉන්පසු මම උණ්ඩුක පුච්චයේ ඉතිරිවන පේර සහ තක්කාලි ඇට කතාව ඇත්තක් දැයි පරීක්ෂා කලෙමි. එහි ඇත්තක් තිබේ. එහෙත් එම ඇට නිසා ඇපෙඩිසයිටිස් හැදෙන්නේ නැත. ඒවායෙන් ඇපෙන්ඩිසයිටිස් හැදෙනවා යැයි කීම හරියට අර ලෙඩාගේ ඇඳ යට කොස් කටු දැක, කොස් නිසා බඩේ අමාරුව හැදුන බව කී වෙදමහතා වැනි කතාවකි.
කෙසේ වුවත් මෙම හොඳ ප්‍රවෘත්තිය එනම් පේර ඇට අප සෞඛ්‍යට ඉතාමත් හොඳ බවත්, අප කන හැම පේර ගෙඩියකම ඇට කා යුතු බවත්, එලෙස පේර ඇට කෑමෙන් පහත ප්‍රයෝජන ලැබෙන බවත් අප සිත්හි තබාගත් යුතුය.
ගුණ
රුධිර පීඩනය අඩුවෙයි.
බර අඩු කිරීමට උපකාරී වෙයි.
බඩ වියලීම අඩුකරයි (constipation).
රුධිර සීනි පාලනයට උදව් කරයි.
කොලෙස්ටරෝල් අඩු කරයි.
හදවතට හොඳයි.
ඊළඟ පාර පේර ගෙඩියක් කන විට ඇට ටිකත් හපා කන්න.  


බන්ධනාගාර කළමනාකරණය සම්පූර්ණයෙන් වෙනස් කරමුද

 බන්ධනාගාර ප්‍රතිසංස්කරණය: රාජ්‍ය වගකීම සහ පෞද්ගලික කාර්යක්ෂමතාව සුසංයෝග කරන "PPP" ආකෘතිය ​මෑතකදී මීගමුව බන්ධනාගාරය ආශ්‍රිතව වාර්ත...