Friday, June 28, 2024

3 උතුවන්වන්කන්දේ සරදියෙල් 3

 

“මොකද වුනේ?” මම දැරිවි ගෙන් ආහුවා.

“හිකනලෙක් කෑවා”, ළමිස්සි බොහොම අමාරුවෙන් කියලා මගේ අතින් අල්ලා ගත්තා.

 මට කලින් කියන්ට බැරිවුනා මගේ අම්මයි, ආච්චි අම්මයි, දෙන්නම වෙදකම් කෙරුවා. මං හිතන්නේ අම්මගේ පැත්තෙන් අපි පරම්පරාවෙන් වෙදකම කරන්ට ඇති කියලා. මම මිදුලට ගිහින් කන්ද දිහාවට ගියා, දැකපු බෙහෙත් කොළ ටිකක් කඩාගෙන ඇවිදින් මිරිස් ගලේ අඹරලා තුවාලේ හොඳට ගාලා, පොල්කිරි ටිකකුත් මිරිකලා පෙව්වා, නිකන් අනුමානෙට වගේ.

 ඒ කාලේ කතාවට කියනවා හිකනලෙක් කෑවොත් අහසේ තරුයි මුහුදේ වැලියි ඕනෑ කොරනවා කියලා ප්‍රතිකර්මෙට, නමුත් ළමිස්සි මේ ප්‍රතිකර්මෙට සුටුස් ගාලා සුව අතට හැරුනා, ඇඳේ ඉඳගත්තා. එදා පන්සලේ උත්සවයක් තියෙන හින්ද ගමේ මිනිස්සු ඔක්කොම පන්සලට ගිය විත්තියත්, මේ ළමිස්සි හදලා තිබ්බ දැහැත් වට්ටියක් අමතක වෙලා හින්ද, මඟක් ගොහිල්ල ආපහු ගේන්ට ගෙදරට ආවහම, වට්ටිය යට හිටපු සිකනලෙක් ගෙන් මේ ඇබැද්දිය සිද්දවුන බවත් මට කිව්වා. ඕන් ඔහොමයි මට පිචෝහාමි මුලින්ම මුණගැහුනේ. එතකොට පිචෝහාමිට වයස අවුරුදු 16 යයි.

උන්දැගේ දෙමව්පියන්ගේත් කැමැත්තෙන් අපි එදා ඉඳලම පවුල් කෑවා. ඊළඟ වාරේ ඉඳල මම වෙළඳාමේ ආවහම කෙලින්ම එන්නේ උතුවනට, ඇවිල්ලා එතන ඉඳල තමයි වෙළඳාම අහවර කොරන්නේ. අපේ කසාදෙන් ළමයි 5 යි. මුලින්ම හම්බවුනේ කොල්ලෙක්. ඌ ඉපදෙන කොට මම හිටියේ හලාවත, මම ඊළඟ පාර එනකොට කොල්ලට මාස තුනක් වයසයි. මමත් බොහොම සන්තෝස වුනා හුරුබුහුටි කොල්ල දැක්කහම.

ඒ වුනාට පිචෝහාම් නම් ඒ තරම් සන්තෝසෙන් නෙවෙයි හිටියෙ. කොල්ලගේ උපන් වෙලාව හාමුදුරුවන්ගේ ලඟට ඇරන් ගියහම වේලා කොලේ හදල කියල තියෙනවා, කොල්ලට කාලසර්ප යෝගයක් තියෙනවා කියලා. කාලසර්ප යෝගයක් තියෙනවා කියන්නේ පවුලට විතරක් නෙවෙයි, ගම රටටම මහා වින්නැහියක් කොරන්ට පුළුවන් එකෙක් කියලත්, හාමුදුරුවො කියල තියෙනවා.

මම මේ කතාව මගේ යාලුවන්ට කිව්වහම, උනුත් මට නොයෙකුත් බය හිතෙන කතා කිව්වා. මට කොල්ල දකින ගානට මේක මතක් වෙනවා. මගේ ඌත් එක්ක කතා බහත් අඩුවුනා. කොල්ලත් එන්ට එන්ටම දඩබ්බර වෙන්ට ගත්තා. මගෙයි පිචෝහාමිගෙයි අතර නිතර අඬදබර ඇති වෙන්ට පටන් ගත්තා. ඒ ගෑනි සැක කොරනවා මම තව ගෑනියෙක් අරගෙන කියල හලාවතින්. මෙහෙම කාලයක් ගතවුනා, තවත් ළමයි හතර දෙනෙක් අපේ පවුලට එකතු වුනා.

මේ අතරේ කොල්ල ගමේ වැදගත් ගෙදරක කොල්ලෙකුට ගහල උගෙන් මාලයක් හොරකම් කෙරුව කියලා, පිස්කල් බාරෙට අරගෙන දවස් කීපයක් අච්චු කෙරුවා කියල මට දැනගන්ට ලැබුනා. ඒ මම අන්තිමට උතුවන ගමට ගිය වෙලේ.

මම මේ කලබගෑනි වලින් පස්සේ වෙළඳාමේ යෑමත් අඩුවුනා. මම පල්ලියේ නැවතුනා ස්වාමිට ආවතේව කාරයෙක් විදිහට.

ඊට පස්සේ මට සරදියෙල් කොලුව මුණගැහෙන්නේ 1862 අවුරුද්දේ, එතකොට ඌට වයස අවුරුදු 30 යි. මම දවසක් පල්ලියේ ඉන්න කොට හවස් වරුවක ඇවිල්ලා කිව්ව ඌව පොලිසියෙන් හොයනවය, පොලිසියෙන් හැංගෙන්ට තැනක් හොයලා දෙන්ටයි කියලා. මට සර්දියෙල් එක්ක කතාකරන කොටම තේරුනා ඌ හොඳටම හැබිචොල් කාරයෙක් වෙලා ඉන්න විත්තිය. මට උදව් කරන්ට බැරි තරම් ඔබ්බට ගිහිල්ල විත්තිය. මම ඒක ඌට කෙලින්ම කිව්වා, ඌ ආපහු ගමට යනවා කියල ගියා. මගේ අතේ තිබ්බ රුපියල් 10 ක් මන් ඌ අතට දුන්නා. ඒ මම කොල්ලව දැකපු අන්තිම දවස.

 


1 comment:

  1. සරදියෙල්ගේ අප්පද මේ කතාව කියන්නේ...

    ReplyDelete

3 උතුවන්වන්කන්දේ සරදියෙල් 3

  “මොකද වුනේ?” මම දැරිවි ගෙන් ආහුවා. “හිකනලෙක් කෑවා”, ළමිස්සි බොහොම අමාරුවෙන් කියලා මගේ අතින් අල්ලා ගත්තා.  මට කලින් කියන්ට බැරිවුනා මගේ අම්...