Tuesday, April 30, 2019

කපිතාන් මාරසිංහ


වයස 45 ක පමණ කොට මහත කොණ්ඩය තරමක් සුදු පැහැ වුණු කරුණාවන්ත එහෙත් තේජවන්ත පෙනුමකින් යුත් සෙනරත් රජතුමා මාලිගාවේ වැරැන්ඩාවේ හාන්සි පුටුවක වාඩිවී සිටියේය. ඔහුගේ ප්‍රධාන නිලමේවරුන් හතරදෙනකු ඔහු අසලින් මිටි ආසනවල වාඩිවී ඔහු කියන යමකට බොහෝ ඕනෑකමින් ඇහුම්කන් දෙමින් සිටියහ.

ඔවුන් හතරදෙනාම මේ උනන්දුවෙන් බලා සිටින්නේ මේ සාකච්ඡාවේ ප්‍රධානතම අරමුණ කුමක්දැයි දැන ගැනීමටය.  රජතුමා මුණ ගැසීමට මාලිගාවට එදින හවස පැමිණෙන ලෙස රජුගේ කාර්යමණ්ඩලයේ පණිවුඩ බාර නිලමේ දන්වා තිබුණද, ඒ කුමන කාරණයක් සාකච්ඡා කිරීමට ද යන්න, ඔවුනට දන්වා සිටියේ නැත. ඇත්තෙන්ම මෙහි අමුත්තක් නැත. රජුගේ සෑම පණිවිඩයක්ම ලැබෙන්නේ මේ ආකාරයටය.
"මහා සාගරයට ගිය අපේ නාවික හමුදාව පෘතුගීසි නැව් කීපයක්ම අල්ලාගෙන, බොහොමයක් වස්තුවත් එකතුකරගෙන ආපහු ත්‍රිකුණාමලය තොටුපොළට ආවා කියලා තමුන්ට ආරංචි වෙලා ඇති මයේ හිතේ"
"පස්වාන් දහසකට බුදුවන්ට ඊයෙ හැන්දෑවෙම ආරංචිය ලැබුණා. තිරිකුනාමලේ ඉඳල  ආපු පණිවුඩය ඊයෙම මුළු නුවරම පැතිරිලා ගියා, තමුන්නැහැ ඔටුනු පලන්දපු ගමන්ම මේ වගේ ජයග්‍රහණයක් ලැබිච්ච එක ගැන මුළු රාජධානියම බොහොම සතුටට පත් වෙලා"
අලුත් නුවර යූධ් නැව් කණ්ඩායම සදවන්නට මුල්වූ විමලධර්ම රජතුමා ගේ නම සඳහන් වුවෙත් නැත.
“සතුටු වෙන එක අහන්නත් දෙයක් යෑ, ටොන් හයකට වැඩිය වස්තුවක් රාජ භාණ්ඩාගාරයට ගෙනල්ලා තියෙනවා"
සෙනරත් රජතුමා ආඩම්බරයෙන් කීවේය.
“උඩගම්පහ ඕං එහා පැත්තෙ ශාලාවේ ඉන්නවා අපේ නාවික හමුදාවේ මහ අද්මිරාල් ඌවේ කුමාරයා, උන්නැහැට ඩිංගක් මේ පැත්තට එන්ට කිව්වනම්" ඌවේ කුමාරයා ගෞරව සම්පන්නව පැමිණ ඉඳගැනීමට ආසනයක් නොතිබුණු නිසා වටපිට බැලුවේය. සේවකයෙකු විසින් ගෙනත් දුන් කුඩා පුටුවේ ඉඳගත්තේය.

"දැන් අපි ආයෙත් පාරක් මේ වගේ නාවික හමුදාවක් හදලා මහා සාගරයට අරින්ඩ ඕනේ, ඌවේ මහා රාළ දැන් සෑහෙන කාලෙක ඉදලා මේ වැඩේ කොරනවා , අපි දැන් අලුත් මනුස්සයෙක්ට මේක බාර දෙන්ට ඕනෑ , ඌවේ මහා රාළගෙන්ම අහල බලමු කවුද මේකට සුදුස්සා කියලා" රජතුමාගේ මේ ප්‍රකාශයෙන් තමන මෙතනට කැඳවා ඇත්තේ කුමන හේතුවකට දැයි සියලු නිලමේවරු තේරුම් ගත්හ.

"අවසරයි දේවයන් වහන්ස මටනම් එක පයින්ම යෝජනා කරන්නට පුළුවන් මගේ දෙවැනියා විදිහට මෙතෙක් කල් වැඩ කරපු වන්ඩිගෙ නේරාළ, මයේ හිතේ කවුරුත් ඒකට විරුද්ධ වෙන එකක් නෑ" ඌවේ මහා රාළ අසුනෙන් නැගිට පිළිතුරු දුන්නේ තමන්ගේ රජුට ඇති ගෞරවය තවදුරටත් පෙන්වා දීමටය.
එහෙත් රජතුමා එම යෝජනාවට එතරම් සතුටකින් ඇහුම්කන් දුන්නේ නැත. ඔහු තම සහෝදර මාතලේ කුමාරයා දෙස බැලීය.
"මම නම් හිතන්නේ කපිතාන් සුන්දර අප්පු තමයි වඩාත් සුදුසු, උන්නැහැගේ අපිට ඥාති සම්බන්ධයකුත් තියෙනවා" මාතලේ කුමාරයා පිළිතුරු දුන්නේ ය.
"එහෙම බලන කොට සුදුසු කීපදෙනෙක්ම ඉන්නවා වගේ, මං කියන්නද අපි මෙහෙම කරමු, ඔය නැවක ඉන්නවා කපිතාන් මාරසිංහ කියල කෙනෙක්, උන්නැහැ අපේ මහ බිසෝ වගේම බොහොම තදින් කතෝලික ආගම අදහනවලු, අපි උන්නැහේට අවුරුද්දක් දෙකක් වත් ඕක දෙමු, මට හැමදාම රෑට බුදියන්ට ගියාම මහරැජිනගෙන් පුදුම කරදරයක් තියෙන්නේ කපිතාන් මාරසිංහ ඕකට පත්කරන්න කියලා"
"මාරසිංහ කපිතාන් බොහෝම දක්ෂයෙක්, අපි උන්නැහැ පත් කරමු” සියලු දෙනා එකහඬින් රජුගේ යෝජනාවට එකඟ වූහ.

3 comments:

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...