Wednesday, February 20, 2019

2 කුඩු ඛේදවාචකය 2 - බස්තියන් පයින් යාම

http://lakshmanillangakoon.blogspot.com/2019/02/blog-post_20.html සිට


මට හිතෙන විදිහට මේ සඳහා විවිද පැති ඔස්සේ කෙරෙන ක්‍රියාදාමයක් අවශ්‍යය වෙයි. පළමුවෙන්ම දරුවනට වයස 10 පමණ වද්දීම පාසල් වල සතියකයකට කාල පරිච්චේද දෙකක් හෝ තුනක් පමණ දුම්බීම සහ මත්ද්‍රව්‍ය පාවිච්චිය අධෛර්ය කිරීම සඳහා ඒවා පාවිච්චියෙන් සිරුරට මනසට සහ ඔවුන්ගේ අනාගතයට සිදුවන හානි පෙන්වාදිය හැක. දරුවන් තම දෙමව්පියන්ට වඩා විද්‍යාත්මක දැනුම තමනට තිබෙන්නේ යැයි පෙන්වන්නට කැමතිය. මෙලෙස අධ්‍යාපනය ලබාදෙද්දී ආගම් සහ වෙනත් කවි කතා කියනවාට වඩා විද්‍යාත්මක පැත්ත යොදා ගත්තොත් වඩා හොඳ ප්‍රතිපල බලාපොරොත්තු විය හැකියි මට සිතේ. මේ අනාගතයේ පාවිච්චිය නවත්වාලිමය.
දෙවැන්න කුඩු දුලබ කිරීමයි. ඒ සඳහා රූපවාහිනියේ පාරම්බානවාට වඩා බොහෝ දෑ කල හැක. පළමුවැන්න කුඩු මර්ධනය කිරීම සඳහා ජනතාව සතු සියලු සම්පත් සම්බන්ධීකරණය සඳහා එක් පුද්ගලයෙකු පත්කිරීමයි. අඩු වැඩි වශයෙන් පහත ආයතනයන්හි කුඩු මර්ධනය සඳහා යොදාගත හැකි සියලු සම්පත් ඒ පුද්ගලයා විසින් සම්බන්ධීකරණය විය යුතුය. ඔහුගේක්‍රියාකාරකම් පිළිබඳව පරීක්ෂාවෙන් සිටීමට විද්වත් කමිටුවක් පත්කළ හැක.
1.     රේගුව - රට ඇතුලට කුඩු පැමිණිය හැකි ගුවන් තොටුපල සහ වරාය වල කුඩු පැමිණීම වලක්වාලීම සඳහා ක්‍රමවේද යෙදීම.
2.     පොලිසිය - පොලිසියේ දැනට මත්ද්‍රව්‍ය මර්ධනය සඳහා යොදවා ඇති හෝ යෙදවිය හැකි සම්පත් යොදවා ගැනීම.
3.     නාවික හමුදාව - වෙරල හරහා රටතුලට කුඩු පැමිණීම වැලැක්වීම සඳහා නාවික හමුදා රේඩාර් උපකරණ සහ මුර යාත්‍රා යෙදවීම සම්බන්ධීකරණය කිරීම.
4.     ගුවන් හමුදාව - ඉතාමත් දියුණු වී ඇති එසේම මිලෙන් ඉතාම පහල ගොස් ඇති ද්‍රෝන තාක්ෂනය වෙරල ආරක්ෂණයට කුඩු මර්ධනයට යොදවාගැනීම.
5.     යුධ හමුදාව - යෙදවිය හැකි සම්පත් සම්බන්ධීකරණය කිරීම
6.     ධීවර අමාත්‍යංශය - මුහුදේ නිරන්තරයෙන්ම සිටින ධීවර යාත්‍රා වලින් සැක සහිත යාත්‍රා පිළිබඳව වාර්තාවන් ලබාගෙන එම තොරතුරු විශ්ලේෂණය කර ගැලපෙන ප්‍රතික්‍රියාවන් සිදුකිරීම.
7.     විශ්ව විද්‍යාල, ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය වැනි ආයතන - වරින්වර ඇතිවන නව තාක්ෂනයන් මේ සම්බන්ධයෙන් යොදාගැනීමට උපදෙස් ලබාගැනීම.
මෙම සම්බන්ධීකරණය සඳහා තිබෙන ජාතික සම්පත් බොහෝ වෙයි. අපට මේ සියල්ලම ගැන කතා කරන්නට අපහසු නිසා උදාහරණ කිහිපයක් පමණක් දෙස බලමු.
ලංකාවේ තිබෙන ජනතාවගේ මුදල් වියදම් කර පුහුණු කළ බල්ලන් ප්‍රමාණය අප නිකමට පරීක්ෂාකර බලමු. පොලිසිය යුධහමුදාවේ නොයෙකුත් අංශවල, ගුවන් හමුදාවේ, නාවික  සහ සමහරවිට තවත්  රාජ්‍ය ආයතන වල බල්ලන් පුහුණු කරන ඒකක තිබේ. පොලිසියේ හැරෙන්නට අනික් ඒවා පටන්ගත්තේ යුද්ධ කාලයේ නොයෙකුත් අවශ්‍යතාවයන් සඳහාය. කඳවුරු ආරක්ෂාව සහ බිම් බෝම්බ ඉවත් කිරීම මෙයින් මුල්තැනක් ගත්තේය. දැන් ඒ දෙකම කරන බවක් නොපෙනේ. එසේනම් මෙම සම්පත් දැන් අපට තිබෙන යුද්ධයටත් වඩා භයානක මත්ද්‍රව්‍ය මර්ධනය සඳහා පහසුවෙන්ම යොදාගත හැක්කේය. සෑම ගුවන්තොටුපලකම වරායකම පුහුණුකළ බල්ලන් කිහිපදෙනෙකු යොදවන්නේ නම් එම මාර්ග වලින් කුඩු රට ඇතුලට එම විශාල වශයෙන් අඩුකර ගත හැක්කේය
බල්ලන් කුඩු සොයාගැනීමට 100%ක් කාර්යක්ෂම නොවිය හැක. (මේ ළඟකදී  කරන ලද පරීක්ෂණයකදී එම ප්‍රතිශතයන් 87% නිවැරිදි සහ 6% වැරදි ලෙස පෙනී ගොස් ඇත.) එහෙත් පර්යන්තයන් අවට බල්ලකු විපරමින් සිටීම පමණක්ම කුඩු රට තුලට ගෙන ඒම 80% කින් වත් අඩුකරලීමට ඉවහල් වනු ඇතැයි උපකල්පනය කිරීමේ වරදක් නැත.
තවත් පහසුවෙන්ම සම්බන්ධීකරණය කල හැකි සම්පතක් වනුයේ අපගේ ධීවර යාත්‍රාවන්ය. මේවායින් අති විශාල ප්‍රමාණයකට ධීවර අමාත්‍යංශය සමග සන්නිවේදන ක්‍රම වේද තිබේ. එම සන්නිවේදන ක්‍රමයන් මනාව සම්බන්ධීකරණය කර මුහුදේදී යම් කුඩු ගෙනෙනවා යැයි සැක සිතෙන යාත්‍රාවක් දුටුවිට එය වාර්තා කරන ලෙස ඔවුනට දැන්විය හැක. පරීක්ෂා කිරීමෙන් සනාත වන එක ඔත්තුවකට රුපියල් මිලියනයක තෑග්ගක් ලබාදෙන බවට ප්‍රසිද්ධ කල හැක. එවැනි ඔත්තුවක් ලැබුණු විට එම යාත්‍රාව පිළිබඳව පරීක්ෂාවෙන් සිට අපගේ වෙරළට කිට්ටු වනවිට නාවික මුර යාත්‍රා වලින් පරික්ෂා කල හැකි අතර වෙරළේදී බල්ලන්ගෙන්ද පරීක්ෂා කරන්නටද  පුළුවන.
තවත් සම්පත් ඊළඟ බ්ලොග් එකෙන්

No comments:

Post a Comment

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...