Saturday, January 5, 2019

සතියේ ඇසු දුටු දෑ - ජනවාරි පළමුවැනි සතිය.




පසුගිය සතියේ ඇසු දුටු දෑ

මේ අවුරුද්දේ ,මම සෑම සතියකම අවසානයේ; බොහෝ විට සෙනසුරාදා, එම සතිය තුල මට අසන්නට සහ දකින්නට ලැබුණු ප්‍රවෘත්ති මාතෘකාවන් 5 ක් සම්බන්ධව කෙටි විග්‍රහයක් කරන්නට සිතුවෙමි. මුළු බ්ලොග් එකම වචන 500 කට සීමා කරන්නට වෙරදරන මගේ ප්‍රතිපත්තිය නිසා එක විග්‍රහයක් වචන 100 කට සිමා කරන්නටත් සිතුවෙමි. මේ එහි පළමුවැනි එපිසෝඩ් එකයි.
1.කුමාර ගේ ඉතිහාසය පිළිබඳව වූ හෙළිදරව්ව සහ ඔහු පසුව එම චෝදනාව පිළිගැනීම පසුගිය සතියේ අපගේ ප්‍රවෘත්ති අතර මුල් තැනක් ගත්තේය. ඔහු පෙනෙන විදිහට 3 වරක් හමුදා රවට්ටා ඒවාට බැඳී පැනගොස් ඇත. අපොස විභාගයේ ඔහුගේ නියම ප්‍රතිපලය වූ s 3 ඉතා ඉහක ප්‍රතිපලයක් ලෙස කූට සහතික මඟින් වෙනස් කරගෙන ඇත. මෙම හෙළිදරව්ව අපේ හමුදා වල පරිපාලනයෙත් බොහෝ දුර්වල කම් පෙන්වා දෙයි. වරක් දෙවරක් නොව 3 වරක්ම හමුදාවන් රවටන්නට මෙවැනි බොහෝ පිටිසර ඉතාමත් දුර්වල අධ්‍යාපනයක් තිබෙන කෙනෙකුට හැකි වීම හමුදාවල counter intelligence පිළිබඳව බොහෝ දෑ කියයි.
2.දෙවැනි විග්‍රහයත් නාමල් කුමාර සම්බන්ධයෙන්ම ලියන්නට සිතුනේ ඔහු හඳුන්වාදීමට මාධ්‍ය ආයතන පාවිච්චි කරන තරාතිරම පිළිබඳවය. බොහෝ නාලිකා ඔහුව හඳුන්වා දෙන්නේ දුෂණ මර්ධන බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂක වරයා ලෙසය. මෙම හැඳින්වීම දුටුවිට ඕනෑම කෙනෙකුට එක්වරම හිතට නැගෙන්නේ රජයේ යම් පත්වීමක් බවය. මෙය අන්තර්ජාතික මාධ්‍ය සඳහා කෙනෙකු වෙනත් භාෂාවකට පරිවර්තනය කළහොත් එය director operations,anti corruption brigade වැනි තේරුමක් පහසුවෙන්ම දෙන්නට පුළුවන. එය මොහු විසින් ප්‍රසිද්ධියේ කියන දෑ සමග ගත්තොත් මේ හෙළිදරව්ව කරනුයේ රජයේ උසස් නිලධාරියෙකු බව නිතැතින්ම සිතනු ඇත. මෙය අප රටට ඉතාමත් අහිතකර ප්‍රවෘතියක් වනු ඇත. අප නව පන්නයේ බනානා රිපබ්ලික් එකක් යැයි ඔවුන් සිතනු අනිවාර්යවේ. මෙවැනි ප්‍රවෘත්ති කියන විට මාධ්‍ය ආයතන මීට වඩා ප්‍රවේශම් විය යුතු බව අප කිවයුතු නොවේ.
3.තුන්වැන්නත් නාමල් කුමාර ගැන ලියන්නට කරුණු තිබුනත් ඔහු වැනි ප්‍රසිද්ධිය සොයා ඕනෑම දෙයක් කරන්නෙකුට තවත් ස්වල්ප හෝ ප්‍රසිද්ධියක් ලබාදීම නොනිසි නිසා මම ඊයේ ප්‍රවෘත්ති වලට දුටු සේනා දළඹුවා මර්ධනය සඳහා අපේ කෘෂිකර්ම නිලධාරින් අධි තාක්ෂණය යොදාගැනීම ගැන ලියන්නට සිතුනි. මෙම වසංගතය මර්ධනය කිරීම සඳහා drone තාක්ෂණය යොදා ගැනීම පිලිබඳ ක්ලිප් එකක් මම දෙරණේ නිව්ස් වල දැක්කෙමි. එහෙත් ඒ ඉසින්නේ මොනවාදැයි ඔවුහු කිසිවිටෙකත් හෙළි කලේ නැත.
ඇත්තෙන්ම වගකීමක් ඇතිව වැඩකරන  කෘෂිකර්ම දෙපාර්තමේන්තුවක් හෝ මාධ්‍ය ආයතනයක් නම් ඔවුනට කරන්නට තිබුනේ එම armyworm ( හමුදාවක් මෙන් පැමිණ සියල්ල විනාශ කරන නිසා) දළඹුවා මර්ධනය කර ගැනීම සඳහා කුමන දෑ කලයුතු දැයි අප දැනුවත් කිරීමයි. මා සොයාගත් කරුණු අනුව මෙම සතාට සත්ව නාශක බෙහෙත් ඉසීම භයානකය. මක්නිසාද එවිට උන්ගේ බිත්තර කා දමා උන්ගේ පැවැත්ම නැති කරන ලේඩි බර්ඩ් වැනි කුඩා සතුන්ද එම බෙහෙත් වලින් විනාශ වන බැවිනි. එවිට සාමාන්‍යයෙන් සිසිල් දේශගුණික තත්වයක් ඇති කාලවල සිදුවන මෙම විනාශය නොනැවතී සිදුවීමට ඉඩ තිබෙන නිසාය.
4.අග්‍රාන්ඩුකාරවරුන් පත්කිරීම - මේ පත්කිරීම් දුටුවිට අපගේ රට තිබෙන්නේ ලෝකයේ කොතරම් පහල තත්වයක දැයි හිතාගන්නටත් බැරි සෙයකි. තමන්ගේ දේශපාලන සතුරෙකුට විරුද්ධව ඉඳහිට ප්‍රවෘත්ති සාකච්ඡා තබන නිසා පත්කළ වුන් දෙදෙනෙකි. තමන්ගේ මිතුරෙකුට මන්ත්‍රී ආසනයක් ලබාදීම සඳහා පත්කළ එක අයෙකි. බොහෝවිට තමන්ගේ පවුලේ කෙනෙකුට ඡන්දය ඉල්ලන්නට ඉඩ ලබාගැනීම සඳහා පත්කළ අයෙකි. කුමන හේතුවක් නිසා පත්කළේ දැයි සිතාගන්නට බැරි එක අයෙකි. මෙවැනි විහිළුකාර වැඩ වලට බිලියන ගණනක් වියදම් කර ජනතා මුදල් වියදම් කරන රටක් ලෝකයේ කොහෙවත් තිබේදැයි මට නම් සැක සහිතය.
5.අවසාන  ප්‍රවෘත්තිය සොනාලි නිලියට ගෙයක් දීමයි. අසරණ මිනිසුනට නිවාසයක් ලබාදීම ඉතාමත් ගරුකටයුතු වැඩකි. නමුත් ඒ තමන්ගේ මුදලින් දෙනවා නම්ය. එසේ නැත්නම් තමන් දන්නා හඳුනන කණ්ඩායමකින් තමන් කරන්නට යන මෙහෙය පැහැදිලි කර ඔවුන්ගේ කැමැත්තෙන් මුදල් එකතුකර අසරණ කෙනෙකුට නිවසක් ලබා දුන්නත් හොඳ වැඩකි. නමුත් ඊටත් වඩා අසරණ මිනිසුන්ගෙන් ලබාගන්නා නොයෙකුත් බදු මුදලින් තමන්ට සංතෘප්තියක් හෝ ලකුණු දා ගැනීමට එසේ කරන එක නම් හොඳය කියන්නට බැරිය. තමන් අඳුරන එවැනි හොඳ වැඩකට මුදල් යෙදවීමට කැමති කෙනෙකුගෙන් මුදල් ලබාගෙන එය කලේ නම් කාටවත් වැරද්දක් කියන්නට නොහැකිය.
මෙහි අනික් ප්‍රශ්නය කලාකරුවන් අසරණ වූ විට පමණක් මෙහෙම උදව් කිරීමට දේශපාලඥයන්ගේ ඇති කැමැත්තය. පොදු මුදලෙන් දෙනවා නම් ලැබිය යුත්තේ වැඩියෙන්ම අවශ්‍ය කෙනාට මිස දුන්විට වැඩියෙන්ම ප්‍රසිද්ධිය ලැබෙන කෙනාට නොවේ.

3 comments:

  1. සියල්ලටම එකගයි. ඇයි කියන්න ඕන නෑ අපි Banana republic තමයි.

    ReplyDelete
  2. එයා දූශණ බලකායේ අධ්‍යක්ෂක ජනරාල් කෙනෙක් මිසක් දූශණ මර්ධන බලකායේ වෙන්න බැහැ.

    ReplyDelete
  3. හිටං තවම මාඕ සේතුන්ගේ Four Pests Campaign එක ගැන අහල නැතුව ඇති,

    ReplyDelete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...