මහා වංශයේ මා
කැමතිම රජතුමා කවුරුන්ද?
දේවානම්පියතිස්ස
රජුගේ සෙනවියෙකු වූ දිග ඇඳුමක් අදින නිසා දීඝසන්ද සේනාපති යැයි ප්‍රසිද්ධ වූ සෙනවියෙකු
විසින්, මල්වතු ඔයේ ඉවුරක කරවන ලද දික්සද සෙනවි පිරිවෙනහි විසූ සංඝයා විසින් ලියූ මහාවංශය මහසෙන් (334 – 361) රජු දවස ලියා අවසන් විය.
චීනය හැරෙන්නට මෙතරම් ඈත අතීතයකට ලේඛන ගත ඉතිහාසයක් ඇති ජාතිය අපි වෙන්නෙමු. මෑත ඉතිහාසයේ සුද්දෙකු එය සොයා ගන්නා තෙක් අපි මේ අපගේ විශිෂ්ඨත්වය නොදැන සිටිම වෙනම කාරණයකි.
මහාවංශය ක්‍රිස්තු පූර්ව 483 සිට ක්‍රිස්තු වර්ෂ 361 දක්වා අවුරුදු 844 ක කාලය තුල අතර තුර ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනය හා සම්බන්ධ සිද්ධි, ලුණු ඇඹුල් ටිකක් සහිතව සිත් ගන්නා සුලු ආකාරයෙන් පැහැදිලි කරයි. එහි අඩු වැඩියෙන් රජවරු 58 කි. ඉන් දෙදෙනෙකු රැජිනන්ය. කාන්තා විමුක්තියද අමතක කර නැත්තේය.
මෙය මා හත් අට වතාවක් කියවා තිබේ. ඒ කියවන හැම විටම එක් රජෙකු සැම විටම මගේ හිත දිනා ගනී. ඒ මහාවංශයේ කතා නායකයා යැයි හැගෙන දුටුගැමුණු නොවේ. මාමාවරු දස දෙනාගෙන් නව දෙනෙකු මරා ඉතිරි මාමා රාත්‍රියට රජ කර වූ පණ්ඩුකාභයද නොවේ. මියගිය තම සහෝදරයා වූ බල්ලාටනාග රජුගේ බිසවව සිටි දැන් තමාගේ බිරිද වන අනුලා දේවිය යුද්ධයෙන් පැරද පලා යන විට, තම රථයේ ඉතිරි කරගෙන තම බිරිදවන සෝමා දේවිය කිරීටයත් සමග බස්සවා ගිය වට්ටගාමිණී අභයත් නොවේ.
ඒ අප බොහෝ විට කිසිම අවස්ථාවක කතා නොකරන රජ කෙනෙකුය. ඔහු නම් අනුලා දේවියගෙන් පසු රජ වූ මකලන්තිස්ස (ඒ කාලයේ රජ පවුලේ 80% ක් පමණ තිස්සයන් වූහ.) රජුය.
මෙම මකලන්තිස්ස රජු අනුලාදේවිය රජ වීමට පෙර රජකම් කල මහාකුලික රජුගේ කූටකන්නතිස්ස නම් දෙවෙනි පුතාය. අනුලා දේවියට බය වී මහණ වී සිට පසුව හමුදාවක් රැස්කරගෙන පැමිණ අනුලා රැජින මරා දමා අවුරුදු 22 ක් ඔහු රාජ්‍ය කලේය. සමහර විට ඔහුගේ නමේ විශේෂණ පදය වන මකලන් යන්න ඇති වී ඇත්තේ මූකලානයේ සැඟවී සිටි නිසා වන්නට පුලුවන. උදා: වන්කනාසික තිස්ස, දේවානම්පිය තිස්ස, මහදැලියා තිස්ස, දරකැටියා තිස්ස. මේ ඔහුගේ රාජ්‍ය කාලය තුල ඔහු කල කර්මාන්තයන්ය. ආගම සදහා සුලු දේවල් කලද ඔහු ජනතාවගේ අභිවෘද්ධිය සදහා බොහෝ නිර්මානාත්මක දේවල් කර ඇති බව පෙනේ.
චේතිය කන්ද මුදුනේ උපෝසත උත්සව සදහා ගොඩනැගිල්ලක් (ආගම)
එහිම ශෛලමය ස්ථූපයක් සහ බෝධියක් (ආගම)
අනුරාධපුර නගරය වටා අඩි දහය හමාරක් උස ගල් ආරක්ෂිත බැම්මක් සහ දිය අඟලක් (ජාතික ආරක්ෂාව)
අනුලා රැජින වාසය කල මාලිගාව ඇයත් සමගම ගිනිබත් කර, ඒ කිට්ටුව අලුත් රාජ මාලිගාවක් (ජුගුප්සාජනක දෙයින් හැකි තරම් ඈත්වීම)
ඔහුගේ මව මහණ වූ පසු ඇයට වාසය කිරීමට පුද්ගලික ඉඩමක දාන්තගෙය නම් ආරාමයක් සෑදීම (රාජ්‍ය දේපල අපරිහරනය නොකිරීම)
